මුද්‍රණය සඳහා

 
විනිසුරු තීන්දු පිළිබඳ විවේචන මැද පොලිසිය 4-0කින් කොළඹ පිල පරදවයි

එෆ්.ඒ. කුසලාන පාපන්දු

විනිසුරු තීන්දු පිළිබඳ විවේචන මැද පොලිසිය 4-0කින් කොළඹ පිල පරදවයි

හොල්සිම් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පොලිස් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය අතර තරගයෙන් පොලිස් පිලට ගෝල් 4 – 0 ක ජයක් හිමිවිය.

පොලිස් ක්‍රීඩා පිටියේ පැවැති මේ තරගයේ දී තරග විනිසුරුවරයාට දෙපිලේම ක්‍රීඩකයන්ගෙන් උණුසුම් වාග්ප්‍රහාර එල්ලවීම විශේෂත්වයකි. තරග විනිසුරුගේ සමහර තීන්දු පිළිබඳ උරණ වූ ක්‍රීඩකයෝ පිටිය මැදදීම විනිසුරුට ඇඟිල්ල දිගුකරමින් විනිශ්චය විවේචනය කළහ.

එය ක්‍රීඩාවට යහපත් ක්‍රියාවක් නොවුනද ප්‍රථම පෙළ තරගවලට පළපුරුදු විනිශ්චය කරුවන් යොමු කළයුතු බව ක්‍රීඩා සමාජ දෙකේම නිලධාරීහු ප්‍රකාශ කළහ.

කෙසේ වුවද තරගය නියමිත කාලය පුරා පවත්වාගැනීමට විනිසුරුවන් සමත් විය.

 පොලිස් - කොළඹ ක්‍රීඩා සමාජය අතර තරගයේ උණුසුම් අවස්ථාවක්. ඡායාරූපය - ප්‍රින්ස් ගුණසේකර

තරගයේ ප්‍රථම භාගයේ දී දෙපිලම ගෝල් වාර්තා කිරීමට සමත්වූයේ නැත. 49 වැනි මිනිත්තුවේදී නදීක පුෂ්පකුමාර, 53 වැනි මිනිත්තුවේදී මොහොමඩ් රතීක් ගෝල් වාර්තා කළහ. නුවන්ත චරක පොලිස් පිල වෙනුවෙන් 55 වැනි හා 60 වැනි මිනිත්තු වලදී ගෝල් වාර්තා කළේය.

සෝන්ඩර්ස් පරදා ජාවාලේන් ජය ගනී

කැලණිය පාපන්දු සංකීර්ණ ක්‍රීඩා පිටියේ පැවැති සෝන්ඩර්ස් ජාවාලේන් අතර තරගයෙන් ගෝල් 1 - 0 ක ජයක් ජාවාලේන් පිලට හිමිවිය.. එම්.එන්.එන්.මීනාගෙන් හිමිවූ “ඕන් ගෝලයකින්” ජාවාලේන් ජයග්‍රහණය තහවුරු විය.

ස්ටෙන්වෝල්ගෙන් ගෝල් ත්‍රිත්වයක්

රත්නම් ක්‍රීඩා සමාජයේ ඩඩ්ලි ස්ටෙන්වෝල් ගෝල් ත්‍රිත්වයක් ලබාගැනීම හේතුවෙන් ඕල්ඩ් බෙන්ස් පරදා පහසු ජයක් හිමිකර ගැනීමට හැකිවිය.

සිටිලීග් පිටියේ පැවැති මේ තරගයෙන් රත්නම් ගෝල් 4 - 0 ක ජයක් ලැබු අතර තරිදු එරංග 17වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේය. ශ්‍රී ලංකා පාපන්දු පිලේ නායකයා ලෙස කලක් කටයුතු කළ ඩඩ්ලි ස්ටෙන්වෝල් 26වැනි, 30 වැනි හා 59 වැනි මිනිත්තුවලදී ගෝල් වාර්තා කළේය.

දොන් බෝස්කෝට ජය

මීගමුව දොන් බොස්කෝ පිටියේ පැවැති තරගයේදී මාලිගාවත්ත යූත් පිල පරදවා ගෝල් 1 – 0 ක ජයක් දොන් බොස්කෝ පිල හිමි කර ගත්තේය. ඩී.කුමාර 53වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]