මුද්‍රණය සඳහා

 
ගෝඩ්න් බ්‍රවුන් පක්ෂ නායකත්වයෙන් ඉවතට

ගෝඩ්න් බ්‍රවුන් පක්ෂ නායකත්වයෙන් ඉවතට
බ්‍රිතාන්‍ය දේශපාලන අර්බුදය තවදුරටත්

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පසු ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය ඊයේ පස්වැනි දිනට එළඹි අතර මැතිවරණ පරාජයෙන් පසු, තවදුරටත් කම්කරු පක්ෂය බලයේ රැඳවීමේ අටියෙන් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව අගමැති ගෝඩන් බ්‍රවුන් පෙරේදා ප්‍රකාශ කළේ කම්කරු පක්ෂය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සංයෝගයෙන් සභාග රජයක් ගොඩනැගීමේ සාකච්ඡා සඳහා මඟ පාදමිනි.

මේ අනුව කම්කරු - ලිබරල් පක්ෂ විධිමත් සාකච්ඡා වටයක් ඊයේ පැවැත්වෙන බවත් ඒ අනුව සාර්ථක ප්‍රතිඵල අත්වෙනු ඇති බව විශ්වාස කරන බවත් කම්කරු පක්ෂයෙන් කියැවී තිබිණ.

පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට පෙරේදා ගෝඩ්න් බ්‍රවුන් කළ අනපේක්ෂිත ප්‍රකාශයත් සමග බලය බෙදාගැනීම සම්බන්ධයෙන් කම්කරු ලිබරල් සාකච්ඡා ඇරැඹෙනු ඇති බවද ඔහු කියා සිටියේ ය.

මැතිවරණයට පූර්වයෙන්, ගෝඩන් බ්‍රවුන් අගමැතිධූරයේ සිටිනතුරු එම පක්ෂය සමග බලය බෙදා ගැන්මකට යොමු නොවන බව ප්‍රකාශ කැර තිබුණු ලිබරල් නායක නික් - ක්ලෙග්, අගමැති බ්‍රවුන් ඉවත්වන බවට කළ ප්‍රකාශය පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කළේ ය.

ඔහුගේ අස්වීම ස්ථාවර රජයකට මග පාදනු ඇතැයි ක්ලෙග් කියා සිටියේ ය.

බ්‍රවුන් සැප්තැම්බර් මාසය වනවිට පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමත් සමග ඔහුගේ අගමැතිධූරයද අහෝසිවන අතර පක්ෂ නායකත්වය අපේක්ෂා කරන්නන් අතර පෙරමුණේම සිටින්නේ විදේශ ඇමැතිධූරය දරන ඩේවිඩ් මිලිබෑන්ඩ් බව ප්‍රකාශ වී තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් දිනක් ජයග්‍රාහී කොන්සර්වැටිව් පක්ෂය සමග සාකච්ඡා කළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්, මතවාදි වශයෙන් වඩාත් සමීප කම්කරු පක්ෂයට නමුත් කම්කරු පක්ෂය සමග එකඟතාවකට පැමිණියද ස්කොට්ලන්ත හා වේල්ස් ජාතිකවාදී සුළු පක්ෂ වල සහායක් නොලැබ ඔවුනට ස්ථාවර සභාග රජයක් ගොඩනැගිය නොහැකිය.

කොන්සර්වැටිව් ලිබරල් සාකච්ඡා වලදී ඔවුනට එකඟතාවයක් ඇති කරගැනීමට තිබුණු ප්‍රධාන බාධකය වී තිබුණේ මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව අන්‍යොන්‍යව පවත්නා පරස්පර වෙනස්කම්ය.

පවත්නා කේවල ඡන්ද ක්‍රමය සංශෝධනය කළ යුතු බව ලිබරල් පක්ෂය පවසන නමුදු කොන්ස්වැටිව් පක්ෂය ඊට මුළුමනින්ම විරුද්ධය.

කෙසේ වෙතත් මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයකට යොමුවීමට කොන්සර්වැටිව් පක්ෂය දැන් යෝජනා කැර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]