තායිලන්ත උප අගමැති අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

තායිලන්ත උප අගමැති අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

බැංකොක් නගරය වටලා සිටින රතු කමිසකරුවන්ට එරෙහිව එරට උප අගමැති සුතෙප් තවුන් සුබාන්ගේ මෙහෙයවීම යටතේ ඉකුත් අප්‍රේල් 10 වැනි දින අසාර්ථක ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ සම්බන්ධයෙන් රතු කමිස කරුවන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පෙරේදා ඔහු බලධරයන් ඉදිරියට කැඳවා තිබිණි.

මේ විමර්ශනය මෙහෙය වනු ලබන්නේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව විසිනි. දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා පවසන අන්දමට උප අගමැතිවරයා තමා මේ සම්බන්ධයෙන් වරදකරු නොවන බව සනාථ කළ බව පවසයි. එම නිසා, ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් නොකිරීමට තීරණය කර තිබේ.

උප ජනාධිපතිවරයා පොලිස් බාරයට පත්වන තුරු බැංකොක් නගරයේ දියත් කර ඇති උග්‍ර අරගලය දිගින් දිගටම පවත්වාගෙන යන බවට රතු කමිස කරුවන් ප්‍රතිඥා දී තිබේ.

අලුත් රජයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස බලකරමින් රතු කමිසකරුවන් මාස දෙකක් පුරා විරෝධතා දක්වයි. රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ද මොවුන් විසින් නොතකා හැර තිබේ.

දසක දෙකක කාලයක් ඇතුළත තායිලන්තයේ හටගත් උග්‍රතම දේශපාලන අර්බූදකාරී තත්ත්වය දැන් උද්ගතවී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ ගැටුම්කාරී තත්ත්වය නිසා දැනට පුද්ගලයන් 28 දෙනෙක් මිය ගොස්, 1000 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. අප්‍රේල් 10 වැනිදා ගැටුමේ දී මිය ගිය සංඛ්‍යාව 25 කි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා