මාඕවාදීන්ගේ බලපෑමට මා ධූරයෙන් ඉවත් වන්නේ නෑ

මාඕවාදීන්ගේ බලපෑමට මා ධූරයෙන් ඉවත් වන්නේ නෑ

- නේපාල අගමැති

කත්මන්දුහිදී - ඒ.එෆ්.පී.

නේපාලයේ මාඕවාදී විරෝධතා ඉකුත් සතිය තිස්සේම පැවැති නමුත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තමා ධූරයෙන් ඉවත් නොවන බව අගමැති මදාව් කුමාර් නේපාල් පෙරේදා ප්‍රකාශ කළේ ය.

අගමැතිවරයා මාඕ නායක පුෂ්ප කමල් දාල් වෙත යොමු කළ ලිපියකින් වර්ජන හා උද්ඝෝෂණ අත්හැර සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගැනීමට පැමිණෙන්නැයි ආරාධනා කැර තිබුණද ඒ සඳහා වුව ඔහු ඉල්ලා අස්විය යුතු බව මාඕවාදීන්ගේ මතය වී තිබේ.

එහෙත් පාලක නේපාල කොංග්‍රසය පවසන්නේ සාම සාකච්ඡාවලදී ඉදිරිපත් වුණු කොන්දේසි මාඕවාදීන් විසින් සපුරාලන තුරු අගමැතිවරයා ඉවත් නොවන බවය. සාම ක්‍රියාවලියේ අවසානයක් දැක්ම හා ව්‍යවස්ථාවක් සැකසීම මේ අනුව සිදුවිය යුතු බව ඔවුහු පවසති.

ගිවිසගත් පරිදි මැයි 28 දා වනවිට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ යුතුව තිබේ. එහෙත් මෙය එපරිද්දෙන් සිදු නොවනු ඇති බවට දැන් බිය පළව ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා