මුද්‍රණය සඳහා

 
රෝස තිරිවානා උයන අවපැහැවීම කාලගුණ විපර්යාස නිසා සිදුවන්නක්

රෝස තිරිවානා උයන අවපැහැවීම කාලගුණ විපර්යාස නිසා සිදුවන්නක්

- ආචාර්ය එන්. පී. විජයානන්ද

ඓතිහාසික නාමල් උයනේ රෝස තිරුවානා පව්ව අවපැහැයකට හැරීම කාලාන්තරයෙන් මුළුල්ලේ අව්වට වැස්සට හා විවිධ කාලගුණ විපර්යාසයන්ට නිරාවරණය වීම නිසා සිදුවන්නක් යැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්. පී. විජයානන්ද මහතා සඳහන් කරයි.

මෙම රෝස තිරුවාන කන්ද පොසිල වනාන්තරයක් හෝ සුවිශේෂි ඛනිජමය වටිනාකමකින් සමන්විත ස්ථානයක් වන බවද, ගෙවුඩ පිළිස්සූ විට පාට වෙනස්වන ආකාරයට තිරුවානා ගලේ පැහැයත්, දීප්තියත් වැසි සුළං වැදීම නිසා දුර්වර්ණ විය හැකි බව ද, වයසට යාම නවත්වන්න නොහැකි සේ මෙම ස්වභාවික වර්ණය දුර්වර්ණ විමත් වළක්වාලිය නොහැකි බව ද ආචාර්ය විජයානන්ද මහතා පවසයි.

නාමල් උයනේ රෝස තිරුවානා කන්ද වසර කෝටි 500 ක් පැරණි යැයි කීමෙන් එයට සුවිශේෂී තත්ත්වයක් උරුම වන්නේ නැතැයි ද, ශ්‍රී ලංකාවේ දක්නට ඇති පාෂාණයන්ගෙන් 90% ක් පමණ වසර මිලියන 2000 ට වඩා පැරණි යැයි ද ආචාර්ය විජයානන්ද ප්‍රකාශ කළේය. වසර මිලියන 600 ට වැඩි පැරණි පාෂාණ ප්‍රාග් - කේම්බ්‍රීය (Pre Cambrian) යුගයට අයත් පාෂාණ වශයෙන් හඳුන්වනු ලැබේ.

”ඉන්දියාවේ සුප්‍රකට “ටජ් මහල්” මන්දිරය තැනීම සඳහා ශ්‍රී ලංකාවේ මෙම රෝස තිරිවාන නිධියෙන් රෝස තිරුවානා පාෂාණය ගෙන ගිය බවට පැතිර ඇති කථාවත් සාවද්‍යයයි. “ටජ්මහල්” මන්දිරයේ කිසි තැනක රෝස තිරුවානා යොදා නැහැ. කිරිගරුඬ (Marble) ඒ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.

මේවා හුදු මතිමතාන්තර පමණයි. ඓතිහාසික පුරාවිද්‍යාත්මකව හෝ භූ විද්‍යාත්මකව සනාථ නොවන කරුණු සත්‍යය වශයෙන් පිළිගත යුතු නැහැ” භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]