බෙංගාල බොක්කත් හරිම වදයක් !

බෙංගාල බොක්කත් හරිම වදයක් !

රට කරවන පාලකයන්ගේ කන්තෝරුවටත් වැසි තර්ජනය දැනී ඇත. පුවත්පත් එය වාර්තාකර තිබුණේ ‘අධික වර්ෂාව නිසා මැති සබයත් නවතී’ යන ශීර්ෂය යටතේ ය. දියවන්නා ඔය පිටාර දමන්නට පටන්ගත් නිසා දහඅට දා පාර්ලිමේන්තු රැස්වීම කල් තැබී ය.

ඉන්ටර් කූලර් වාහන පාර්ලිමේන්තු පාරේ දිය කපාගෙන විදුලි වේගයෙන් පියාඹා යනු දක්නට ලැබිණි. ඒ වන විට පළාත් ගණනාවක් පුරා වැසි තර්ජනය පැතිර තිබිණි. තව දින කිහිපයක් යන තුරු තර්ජනය පවතිනු ඇත. බෙංගාල බොක්කේ අව පීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පෙරැළී තිබේ.

මේ වන විට දුප්පත් - පොහොසත් භේදයකින් තොරව කාට – කාටත් වැසි තර්ජනය දැනී තිබේ. ලක්ෂ තුනකට අධික පිරිසක් අවතැන් ව සිටිති. විපතට පත් ජනතාව ට සහන ලබාදීම සඳහා රුපියල් ලක්ෂ එකසිය අසූවක් වෙන් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ය. වැසි වතුර හා ගංවතුර පැතිර ඇති ප්‍රදේශවල සහන කටයුතු වහා ම ආරම්භ කරන්නැ’යි ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒ සඳහා ඒකාබද්ධ සේවාවක් ආරම්භ කරන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා කියා තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම්වරුන් එහි පෙරමුණ ගත යුතු ව තිබේ.

බස්නාහිර, දකුණ හා සබරගමුව යන පළාත්වලට මේ තර්ජනය තදින් දැනී ඇත. ඇතැම් තැනෙක නාය යෑම් සිදු වී ගෙවල් යට වී ඇත. පාරවල් අවහිර වී ඇත. ගම්පහ, කොළඹ, කැලණිය, රාගම, යන ප්‍රදේශවල ගෙවල් දහස් ගණනක් වැසි වතුරෙන් යට වී තිබේ. පළමුව මේ පිරිසට නවාතැන් හා ආහාර ලබාදිය යුතු ය. මරණ කිහිපයක් ද සිදු වී ඇත. ඇතැම් විට එම ඥාාතීන්ට අවමංගල උත්සවයක් සිදු කිරීමට පවා හැකියාවක් නො වන්නට පුළුවන. බලධාරීන් ඒ ගැන සොයා බැලිය යුතු ය. ජල ගැලීම් පිළිබඳ සොයා බලන ප්‍රාදේශීය ලේකම්වරයකු අප තව ම දුටුවේ නැත.

මහ වැසි ඇද වැටෙන්නේ දේශපාලකයන්ගේ වරදක් නිසා නො වේ. එය ස්වභාව ධර්මයේ නියමය යි. වැස්ස ආශිර්වාදයක් මිස තර්ජනයක් නො විය යුතු ය. සොයා බැලිය යුත්තේ වැස්ස තර්ජනයක් වූයේ කෙසේ ද යන්න ය.

එහි දී දේශපාලකයන්ගේ පෙර වැරැදි සිහිපත් කරන්නට සිදු වේ. 1977 න් පසු එක්සත් ජාතික පක්ෂයේ පාලකයන් විසින් හිතුවක්කාරකම් කිහිපයක් කරන ලදී. පළමුවැන්න ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ය. දෙවැන්න විවෘත ආර්ථිකය හඳුන්වාදීම ය. තෙවැන්න ඉවක් – බවක් නැති ව පහත් බිම් ගොඩකිරීම ය. ඒ සඳහා රාජ්‍ය ආයතනයක් ද ස්ථාපිත කැරිණි.

1977 ට පෙර රටට ලැබෙන වැසි වතුර ගලාගෙන ගොස් තැන්පත් වන රටාවක් තිබිණි. වගුරුබිම් හා පහත්බිම් ලෙසින් හැඳින් වූ එම ඉඩම් වන සතුන්ගේ ප්‍රයෝජනය සඳහා අත්හැර තිබිණි. ඒ මගින් අපගේ පරිසරය ආරක්ෂා වූ අතර ජල හිඟයකින් තොරව ගොවිතැන් කටයුතු කර ගැනීමේ අවස්ථාව ද උදා විය.

එහෙත් රණසිංහ පේ‍්‍රමදාස මහතා මේ රටාව පිළිගත්තේ නැත. එතුමා ඇමැති බී. සිරිසේන කුරේ මහතා ද කැටුව පහත්බිම් ගොඩ කරන්නට පටන් ගත්හ. ගොඩ කළ ඇතැම් ඉඩම් ව්‍යාපාරිකයන් සඳහා වෙන් විය. තවත් ඉඩම් වල නිවාස ව්‍යාපෘති ඉදි විය. සිරිසේන කුරේ මහතා ද හොඳම ඉඩමක ගෙයක් තනා ගත්තේ ය.

මුළු රටේ ම බලය වමට ගියත්; කොළඹ නගර සභාවේ බලය යන්නේ අලියාට හෙවත් එක්සත් ජාතික පක්ෂයට ය. දීර්ඝ කාලයක් කොළඹ පාලන බලය හිමිකර ගෙන සිටි එක්සත් ජාතික පක්ෂය කොළඹ ට කළ දෙයක් නැත.

කොළඹ ප්‍රධාන වීථිවල පදික වේදිකාවේ අනවසර වෙළෙඳාම පටන්ගත්තේ එජාප කාලයේ ය. අන්තිමේ එය රට නසන ජාවාරමක් බවට පත් විය. කොළඹ අපිරිසුදු වීමටත්; කාණු පද්ධති හිරවීමටත් මේ තත්ත්වය බෙහෙවින් උපකාරී විය. කොළඹ ගැන කතාකරන කිසිවකුටත් පදික වේදිකා ශුද්ධ කිරීමට නො හැකි විය. අන්තිමේ එම වගකීමත් පැවරුණේ වත්මන් ආණ්ඩුවට ය.

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ස්ථාවර හා සාර්ථක වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය. නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ඉදිකිරීම් අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය වැනි ආයතන ඒකාබද්ධ වී මීට වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ක්‍රියාත්මක කළ යුතු ය.

දැනට සිදු වන්නේ ගංවතුර කාලයට පමණක් කුමක් හෝ සිදුකිරීම පමණි. වඳුරන් වැසි කාලයට ගෙවල් හදන න්‍යායෙන් බැහැර වී වගකීමකින් යුතු ව මේ තර්ජනයට මුහුණ දිය යුතු ය. අනවසර ගොඩකිරීම් වහා ම නැවැත්විය යුතු අතර ජලය බැස යන කාණු පද්ධතිය යළි ක්‍රමානුකූලව සකස් කළ යුතු ය. ඒවා නඩත්තු කළ යුතුª ය.

ඇද හැලෙන වැස්ස නිසා වඩාත් අබලන් වූයේ ප්‍රවාහනය යි. දුම්රිය ගමනාගමනය තව ම යථා පරිදි සිදු නො වේ. රාගම – හුණුපිටිය අතර දුම්රිය මාර්ගය මුළුමනින්ම ජලයෙන් යට වී ඇත. මාර්ග සංඥා පද්ධතිය අක්‍රීය වී ඇත. සුළු වැස්සකට වුව දුම්රිය මාර්ග සංඥා අක්‍රීය වේ.

මේ ගැන සොයා බැලීම ප්‍රවාහන අමාත්‍යවරයාගේ යුතුකම වේ. වැස්ස නිසා රටේ නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රවලට බලවත් පහරක් වැදී තිබේ. මේ අඩු ව පිරවීම සඳහා අලුත් ක්‍රමවේදයක් සකස් කළ යුතු ය. වැස්ස අපට තර්ජනයක් නො වන්නේ එවිට ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා