දෙවැනි නිදහස රැක ගැනීම

දෙවැනි නිදහස රැක ගැනීම

ප්‍රධාන කාරනා දෙකක් නිසා රටක හෝ යම් ජන කොට්ඨාසයකට හෝ නිදහස අහිමි වෙනවා. ඉන් එකක් පිටතින් සිදුවන ආක්‍රමණයක් මඟින් යටත් වීම. අනෙක තමන්ගේ රට තුළම සිදුවන නොසන්සුන්තාව නිසා නිදහස අහිමි වීම. පිටස්තර ජාතීන්ගේ ආක්‍රමණ නිසා විටින් විට අපේ රටේ නිදහසට බාධා ඇති වුණා.

එහෙත් සම්පූර්ණයෙන්ම රටක් විදියට යටත් වුනේ 1815න් පසුවයි. 1815 සිට 1948 පෙබරවාරි 4 වැනිදා දක්වා පැවැතියේ පරදේශක්කාරයන්ගේ යටත් භාවයට එරෙහිව නිදහස උදෙසා කළ සටනයි. 1948 පෙබරවාරි 4 වැනිදා ඉන් නිදහස ලැබුවා.

එතැන් සිට උදා වුණේ කිසිදු ජාතියකට යටත් නොවූ නිදහස් රටක ජීවත්වීමේ වාසනාවයි. එය මේ රටේ පුරවැසියන් වූ කාගේත් ප්‍රාර්ථනාවයි. 1948 පස්සෙ රටක් විදියට අපව යටත් කර ගැනීමේ ආක්‍රමණයක් සිදු වුණේ නැහැ.

එහෙත් ආර්ථික සාමාජීය හා සංස්කෘතික වශයෙන් විවිධ යටත් භාවයන් අපේ ජන ජීවිතය අනියමින් ආක්‍රමණය කළ බව අසන්නට ලැබෙනවා. ඒ සඳහා විවිධ ආර්ථකතන තිබෙනවා.

එසේ ම 1948 අප ලැබූ නිදහස ඉන්දියාව මෙන් ගැඹුරක් සහිතව ලබා නොගත් බවට විවිධ විග්‍රහයන් අසන්නට ලැබෙනවා. සැබෑ නිදහස 1956න් පසුවත්, 1972 පසුවත් ලබාගත් බවටද අර්ථකතන තිබෙනවා. මෙම අර්ථකතනද ඉදිරිපත් වන්නේ විවිධ දේශපාලන කෝණවලින්. කොහොම වුනත් 1948 අප නිදහස ලැබූ බවට ප්‍රබල ජන සම්මතයක් පවතිනවා. එතැන් සිට අපේ වැඩ අපට ඕනෑ විදියට කරගෙන යෑමේ මූලික නිදහස අපට හිමි වුණා.

මෙම නිදහස බුක්ති විඳීමේ ප්‍රධාන වරප්‍රසාදය මේ රටේ ජාතීන් තුනක් අතර බෙදී ගියා. ඉන් සිංහල ජනසමාජය ප්‍රධානයි. දෙමළ, මුස්ලිම් ප්‍රජාවද අමතක කරන්න බැහැ. මේ ජාතීන් තුනටම අඩු දියුණු සංවර්ධනය හා පන්ති බෙදීම බලපෑවා. සිංහල, දෙමළ , මුස්ලිම් ඉහළ ධනවත් පන්තියට වඩා පහළ නිර්ධන පන්තිය අතර දුප්පත්කම හා සුව සංවර්ධිත භාවය වර්ධනය වී තිබුණා.

ඊට පිළියම් වශයෙන් මුළු රටම වෙලාගත් සංවර්ධන වැඩ සටහනකට යා යුතුව තිබූ අනගි අවස්ථාවක් නිදහසින් පසු අප නැතිකර ගත්තා. ඒ සඳහා ඉස්මතු කරගතයුතුව තිබූ දේශීය චින්තනය වෙනුවට මතු කරගනු ලැබුවේ ජාතිවාදයයි. සිංහල ජාතිකත්වයට දෙකටම එරෙහි සිංහල ජාතිකත්වය ඉස්මතු කර ගත්තා. මීට සමගාමීව සමහර ප්‍රදේශවල අඩු දියුණුභාවය නොසලකා හැරීමක් ලෙස අර්ථකතනය වුණා.

එය සිදු වූයේ මහ ජාතියට එරෙහිව. ඊට නායකත්වය දුන් දෙමළ නායකයන් සිටියා. එසේම ජාතික සමඟියට හා අඩු දියුණු සංවර්ධනයට එරෙහිව කටයුතු කරනවා වෙනුවට සිංහල ජාතිකත්වය පමණක්. ඉස්මතු කරගත් සිංහල ජාතිකයන්ද සිටියා. තම ජන වර්ගයට හිතෛශීවීම වරදක් නැහැ.

එහෙත් ජාතිවාදීවීම වහා ගිනි ඇවිලෙන සුළුයි. අඩු දියුණු ග්‍රාමීය සංවර්ධනයට හා දිළිඳුභාවය එක් ජාතියකට ජන වර්ගයකට සීමා වූවක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාර්ගික කොටස් තුනටම පොදුයි. 1971 හා 1989 කැරලි දෙකම එහි ප්‍රතිඵලයක්. එය හට ගනු ලැබුවේ සිංහල ප්‍රදේශ මුල්කර ගනිමින්. දෙමළ ප්‍රදේශවල කැරලි කාරීත්වය මතු වන්නේ නිදහසින් පසු ඇරැඹි තුන්වැනි කැරැල්ල ලෙස.

තුන්වැනි කැරැල්ල ඊට පෙර පැවැති කැරලි දෙකට වඩා ප්‍රබලයි. බලගතුයි. එය ප්‍රදේශ දෙකක ස්ථාපිත වූ දෙමළ ජනවර්ගය පදනම් කරගෙන හටගත් බෙදුම්වාදී කැරැල්ලක් වුණා.

1948න් පසු ඇරැඹි නිදහස් ස්වෛරී යුගය නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් මුළු ශ්‍රී ලාංකිකයන්ම එකම ජාතියක් ලෙස සලකා එකට අත්වැල් බැදගෙන ගමන් නොකිරීමේ වරදට ප්‍රථමයෙන් ම වන්දි ගෙවීමට සිදු වූයේ එම නිදහසින් වසර 23කට පසුව.

එනම් 1971 දී. එතැනින් ඉගෙන නොගත් පාඩම නැවත 1988 - 89 දී හැදෑරීමට අපට සිදු වුණා. එතැනින් නොනැවතී නැවතත් පැරැණි දෙයම වෙනස් ආකාරයකට සිදු වූයේ ලැබූ නිදහස නිසි ලෙස පරිහරණය කිරීමට නොදත් කමින්. ඊට වගකිව යුත්තේ මේ රට පාලනය කළ දේශපාලඥයන්.

ජනතාව නිදහසින් පසු ලැබූ නිදහස ඉදිරියට ගෙනයෑමටත් ඒ වන විට තමන් සිටි තැනට වඩා හොඳ තැනක් ලබා ගැනීමේ කාර්ය දේශපාලඥයන්ට බාර කළා.

එම ගමන තීන්දු කිරීමට ආණ්ඩු පක්ෂවලටත් එහි නිවැරැදිතාවය අධීක්ෂණය කර අඩුපාඩු පෙන්වාදී හරි මඟ යැවීමටත් විපක්ෂයට බාර කළා. එදා මෙදා තුර ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් මේ රට පාලනය කළා.

එහෙත් යටත් විජිත බාවයෙන් මිදී නිදහසේ තමන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ කාර්ය ඉදිරියට ගෙන යෑමට ජනතාව වෙනුවෙන් රටේ පාලන බලය බාරගත් අය අසමත් වුණා. අභ්‍යන්තර කැරැලි 3කට අප මුහුණ දුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

මේ නිසා ජනතාව ලබාගත් නිදහස රිසිසේ බුක්ති විඳීමට බාධා පැමිණියා. ඉන් වඩාත්ම පීඩාවට පත් වූයේ 1983න් පසුව. 1983න් පසු නැවත මුහුණ දීමට සිදු වූයේ නිදහසින් පසු ඇරැඹි දරුණුම යුගයකට. 1948 නිදහස ලැබූ රට බෙදා වෙන්කර ගැනීමේ බෙදුම්වාදී කැරැල්ලකට අප මුහුණ ජන්නා. එම අභ්‍යන්තර කැරැල්ලට වැරැදි දේශපාලන ආර්ථික හා සාමාජීය කලමනාකරණයේ ප්‍රතිඵලයක්. ඊට එදා මෙදා තුර රට පාලනය කළ ප්‍රධාන දේශපාලන ධාරාවත් දෙකම වගකිව යුතුයි.

මේ නිසා සියල්ල පසෙකින් තබා රට එක්සේසත් නැත්නම් තනි රටක් කර ගැනීමේ සටන ජයගත යුතු වුණා. එය හැඳින්වූයේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනක් ලෙස. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නේ දෙපාර්ශ්වය කතා බහ කර ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසයි. එහෙත් සාමය හා සාකච්ඡාව මඟින් ප්‍රශ්නය විසඳා ගැනීමට සූදානම් වූ අය ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වුණා.

ඔවුන්ට සාමය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වූයේ ජීවිත වලින්. මේ අය අතර රාජ්‍ය නායකයන් ආණඩුවල හා විපක්ෂයේ දේශපාලඥයන්, බුද්ධිමතුන්, විවිධ ක්ෂේත්‍රවල නායකයන් සිටියා. බෙදුම්වාදීන් සාමය ගැන කතා කළේ තමන් දුර්වල වූ විට ශක්තිමත් වීමට. ශක්තිමත් වූ හැටියේ ම නැවත යුද්ධ ප්‍රකාශ කළා. මෙම ක්‍රියාදාමය වසර 30ක් තිස්සේ පැවැති බව රටට රහසක් නොවෙයි. සමහර ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්‍රස්තවාදීන්.

මේ නිසා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහි තීරණාත්මක සටනට අණ දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට සිදු වුණා. ඒ සඳහා අණ දෙනු ලැබුවේ 2005 දී ඔහු මේ රටේ ජනාධිපතිවරයා වීමෙන් පසු. ඊට හේතුව ජනාධිපතිවරයා රටේ සේනාධිනායකයාද වන බැවින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ වුවද මානුෂිය මෙහෙයුමක් මඟින් බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටන ඇරැඹුවේ එල්.ටී.ටී.ඊ. ය සමඟ සාකච්ඡා වට දෙකක් පැවැත්වීමෙන් පසු. නැතිනම් බැරිම තැන.

අනතුරු මාවිල්ආරුවලින් ඇරැඹි මානුෂිය මෙහෙයුම මීට වසරකට පෙර නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළේ, මුළු රටම එක්සේසත් කරමින්. නැතිනම් නිදහස් කරගනිමින්. මෙය හැඳින්වෙන්නේ දෙවැනි නිදහස් අරගලය ලෙස. ආරක්ෂක අංශ පමණක් ජීවිත 23000ක් පමණ මෙම නිදහස් සටනට බිලි වූ බවයි වාර්තා වෙන්නේ. ඊට අමතරව විනාශ වූ දේපලවල වටිනාකම කෝටි ගානක්. අහිමි වූ සිවිල් ජීවිත දහස් ගානක්. සමස්තයක් ලෙස ගත් කල දැඩි විනාශයකින් පසු උදා වූ නිදහසක්.

මෙය දෙවැනි නිදහස් අරගලය ලෙස හැඳින්වෙන්නේ දෙකඩ වීමට ගිය රටක් නැවත එක් කිරීම නිසයි. ඊට නායකත්වය දුන් නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ඒ නිසාම මේ දෙවැනි නිදහස වසරින් වසර සැමරීමද වැදගත්.

එවන් සැමරීමකින් පමණක් රටක් වශයෙන් අපට තෘප්තිමත් වෙන්න බැහැ. පළමු වැනි නිදහසින් ප්‍රයෝජනය නොගත් අප දෙවැනි නිදහසින් පසුව සිදු කරන්නේ කුමක් දැයි කල්පනා කිරීමද වැදගත්. එහි වගකීම රජය හා විපක්ෂය සතුයි.

ජනතාව දෙවැනි නිදහස දිනා දුන් නායකයාට හා එතුමාගේ කණ්ඩායමට තමන්ට හැකි ඉහළ මට්ටමින්ම ප්‍රතිචාර දක්වා අවසන්. ප්‍රාදේශීය සභාවේ සිට ජාතික තලය දක්වා ඇති සියලු දේශපාලන ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට ලබාදී අවසන්. ජනාධිපති, පාර්ලිමේන්තුව , පළාත් සභා හා පළාත් පාලන බලය දරණු ලබන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

දිනන්න බැහැ කීව යුද්ධය ජය ගත්තා. එසේ ජයගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව මඟින්. ඊට ජනතාව ප්‍රතිචාර දැක්වූයේ සමානුපාතික නියෝජන ක්‍රමයක් යටතේ. තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දෙමින්. එයත් කිසි දිනක සිදු නොවූ දෙයක්.

දැන් අවශ්‍ය වන්නේ ලැබූ බලය පදනම් කරගෙන දෙවැනි නිදහසවත් අර්ථවත් කර ගැනීමයි. මේ දෙවැනි නිදහසින්වත් යළි මෙවන් අර්බුද හට නොගන්නා පරිසරයක් නිර්මාණය කර ගැනීමයි. එය ආරක්ෂක අංශවලට පමණක් ඉටු කළ හැකි කාර්යයක් නොවෙයි. ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමෙන් තොරව රියනින් රියන බංකර් ඉදිකළත් පලක් නැහැ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන සොයා බැලීමේ කොමිසමක් පත්කර තිබීම ප්‍රසංසනීයයි. එවැනි සොයා බැලීමක් වැදගත්. මෙවන් කොමිසමකින් එන නිර්දේශ ඇසුරින් ගතු ක්‍රියා මාර්ග අතපසු නොකර ක්‍රියාත්මක කිරීමද වැදගත්. එසේ නොවන්නේ නම් මේ දෙවැනි නිදහසත් අපතේ යන්න පුළුවන්. එසේ නම් එය රැක ගැනීම කාගේත් වගකීමක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා