යුද්ධය හා සාමය

යුද්ධය හා සාමය

“අප යුද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යනුවෙන් ඇරිස්ටෝටල් පඬිවරයා ප්‍රකාශ කර තිබේ. ඇරිස්ටෝටල් පඬිවරයා විසූ ක්‍රි. පූ. 4 වෙනි ශතවර්ෂයේ සිට මේ දක්වා ගත වූ සියවස් ගණනාව සැලකූවිට මෙය යථාර්ථවත් දැයි විමසා බැලිය යුතු ය. ඒ පමණට ම ලෝක ඉතිහාසයේ මේ කියමන සනාථ වන අවස්ථා සුලබ නො වේ. පැවැති බොහෝ යුද්ධයන් අවසන් වූයේ සාමයෙන් නොව ඊටත් ඔබ්බට ගිය ඛේදවාචකයකිනි.

එහෙත් අප රට ලබා ඇති පශ්චාත් යුද අත්දැකීම ඊට වඩා හාත්පසින් ම වෙනස් ය. 1970 දශකයේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරය තම ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් රජයට එරෙහිව ත්‍රස්තවාදී කටයුතු ආරම්භ කළේ ය. විවිධ ප්‍රශ්න මතුකරමින් ඔවුහු රජයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගත්හ.

එම ත්‍රස්තවාදය දශක හතරක් ම ලංකාවට පිළිලයක් විය. ත්‍රස්ත ව්‍යාපාරය වනසා දැමීමට ගත වූ කාලය තුළ ගත් රාජ්‍ය ක්‍රියාමාර්ගද එකින් එක බිඳවැටිණි.

එම ක්‍රියාමාර්ගයන්හි තිබූ අදූරදර්ශී බව එයට හේතු විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ 2009 වර්ෂයේ මැයි 19 වෙනි දින ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම මුලිනුපුටා දැමීමට හැකියාව ලැබිණි. එතැන් පටන් ගෙවුණු වසරක කාලය තුළ අප රට කිසි ම ගැටුමක් අත්වින්දේ නැත. මෙයින් පෙනී යන්නේ අප සැබෑ ලෙස යුද වැද නිය ම ජයග්‍රහණයත් සැබෑ සාමයත් ලද බව ය.

දැන් අපට ඇත්තේ ඊටත් ඔබ්බට ගිය බැරෑරුම් ඉලක්කයකි. ඒ සංවර්ධනය යි. අප හා සමකාලීනව නිදහස ලැබූ ආසියාතික රටවල් ගණනාවක් සංවර්ධිත ඉලක්ක සපුරාගත් බව නො රහසකි.

එහෙත් අපට සංවර්ධන ඉලක්කයට යාමට අවස්ථාවක් නො ලැබිණි. අපට නොයෙකුත් බාධා එල්ල විය. පරිපාලනයේ පැවැති අකාර්යක්ෂමතාව මෙන් ම ත්‍රස්තවාදය ද ඊට ප්‍රබල ලෙස බලපෑවේ ය. දැන් මෙරට ත්‍රස්තවාදය අවසන් ය. බහුතර ජනතාවක් අනුමත කළ ආකර්ෂණීය නායකත්වයක් ද රටට ලැබී තිබේ. එසේනම් දැන් අප කළ යුත්තේ යටකී සංවර්ධන ඉලක්කය කරා යෑම ය.

ආර්ථික සංවර්ධනය යනු සැබෑ සංවර්ධනයක් නො වේ. එය එක් අංශයක් හෝ එක් පාර්ශ්වයක් හෝ පිළිබඳ වර්ධනයක් හෝ ප්‍රගතියක් හෝ පමණක් ගෙනහැර දක්වන සංකල්පයක් නො වේ. සංවර්ධනය හුදෙක් සමාජ ව්‍යූහයේ, පොදු ආකල්පවල හා පොදු ආයතනවල සමාජ විපර්යාසයක් මෙන් ම ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම, සමාජ විසමතා බැහැරකරලීම හා දුගී දුප්පත්කම මුලිනුපුටා දැමීම ආදිය ඇතුළත් වන්නා වූ සම්පූර්ණ ක්‍රියාවලියකි.

ඉඳුරා ම විවිධ පුද්ගලයන්ගේ මෙන්ම විවිධ සමාජ කොටස්වල අවශ්‍යතා සහ අපේක්ෂාවන් සාක්ෂාත්කර ගැනීමට තුඩුදිය යුතු ය. එමෙන් ම පවතින අස්ථීර සමාජ තත්ත්වයන්ගෙන් මිදී යහපත් හා ශුභවාදී සමාජ හා ආර්ථික තත්ත්වයක් කරා ළඟා වීමට හේතුකාරක වන තත්ත්වයක් සංවර්ධන ක්‍රියාදාමයට ඇතුළත් විය යුතු යි. එය බැරෑරුම් ඉලක්කයක් වනුයේ එහෙයිනි.

මෙලෙස සලකා බැලීමේ දී සංවර්ධනයේ දී අප සැලකිල්ලට ගතයුතු කරුණු රැසකි. 48න් පසුව අප සංවර්ධනය උදෙසා ගත් ක්‍රියාමාර්ගයන්හි දුර්වලතා රැසක් තිබේ. සංවර්ධනය කරා යාමේ දී ඇති වූ මේ දුර්වලතා ද ජනවාර්ගික අසමගියට හේතුකාරක වූ බව නොරහසකි. ඒ මක්නිසාද යත් ඇති වූ බොහෝ සංවර්ධන ව්‍යාපාර රටේ දකුණු ප්‍රදේශයට පමණක් සීමාවීම ය. ගංගාධාර සංවර්ධනය, ආයෝජන ප්‍රවර්ධන කලාප මහවැලි ව්‍යාපාරය මේ සඳහා නිදසුන් ය.

මේ අනුව රටට ම ඒකාකාරීව ප්‍රතිලාභයන් උරුමවන ක්‍රියාමාර්ගයන්ට යා යුතුව පවතී. වත්මන් රජය එය අවබෝධකර ගත්තේ අද ඊයේ නො වේ. යුදමය වශයෙන් නැඟෙනහිර මුදාගැනීමේ සිට ම ඒ තත්ත්වය දක්නට ලැබිණි.

ඒ අනුව නැඟෙනහිර නවෝදය, උතුරේ වසන්තය ආදී වැඩසටහන් උතුරු - නැඟෙනහිර ජන ජීවිතයට නව බලාපොරොත්තු ඇති කරවන්නක් විය. එබැවින් ම එය ජනතාව ද අනුමත කර තිබුණු බව පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි. දෙමළ ජනතාවගේ නියෝජිතයන් ලෙස පෙනී සිටි පක්ෂවලට වඩා වැඩි විශ්වාසයක් උතුරු, නැඟෙනහිර ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි දක්වා ඇත.

මේ අනුව අපට පෙනීයන්නේ දෙමළ ජනතාවගේ විශ්වාසය ඉතිහාසයේ කවරදාටත් වඩා වත්මන් ආණ්ඩුව දිනා ඇති බව ය. මේ සමඟ ම රජය දේශපාලන යෝජනාවලියක් පිළිබඳ අදහස් දක්වා තිබේ. මෙය ද සුබවාදී අනාගතයකට ප්‍රවේශයක් වනු ඇත.

සංවර්ධනය කරා යාමට අපට මානව හෝ භෞතික සම්පත්හි හිඟයක් නැත. අප දැන් කළයුත්තේ යථාර්ථවත් සැබෑ සංවර්ධන ක්‍රියාවලියකට රට යොමුකිරීම ය. යුද්ධයකින් පසු ලැබූ සාමය වඩාත් ප්‍රායෝගික වනුයේ එවිට ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා