දුෂ්ට කුමන්ත්‍රණ පිටු දකිමු

දුෂ්ට කුමන්ත්‍රණ පිටු දකිමු

දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම්

බෙංගමුවේ නාලක හිමි

තිස් වසරක් තිස්සේ පැවැති මිනීමරු එල්. ටී. ටී ඊ ත්‍රස්තවාදය නිම කිරීම තරම් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට සැනසිලි දායක වන වෙනත් කිසිදු දෙයක් අද නොමැත. එදා උතුරු හා නැඟෙනහිර පළාත්වල අහිංසක ජනතාවට හා රණවිරුවන්ට උපකාර කිරීමටත් රණවිරුවන්ට ධෛර්යය හා ශක්තිය ලබා දීමටත් නිතර ඒ ප්‍රදේශවලට ගිය අපට දැක ගන්නට ලැබුණු ප්‍රධාන කරුණු දෙකක් ඇත. එකක් නම් අපේ රණවිරුවන් දිවි පුදා හෝ ත්‍රස්තවාදීන්ගෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ඔවුන් තුළ තිබූ අධිෂ්ඨානශීලී කැපවීමය. අනෙක නම් එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල, දෙමළ, මුස්ලිම් අසරණ ජනතාවගේ මුහුණුවල පැවැති මරණ බියයි. අද අප එහි යන විට එම අහිංසක ජනතාවගේ මුහුණුවල ඇති සිනහවෙන් පෙන්නුම් කරන්නේ මරණ බිය මුළුමණින්ම ඉවත්ව ගොස් ඇති බවය. එදා ත්‍රස්තවාදීන් සමඟ යුද වැදුණු රණවිරුවෝ අද එම අහිංසක ජනතාවට නිවාස තනා දීමට හා වෙනත් පහසුකම් සලසා දීමට උපකාර වෙමින් සිටිති.

2009 මැයි 18 වැනිදා මිනීමරු ත්‍රස්තවාදී නායකයෝ සියලු දෙනාම පාහේ මානුෂික මෙහෙයුම් මගින් විනාශ කර දමනු ලැබූහ. එය ශ්‍රී ලංකා රජය විසින් පොදු ජන ජීවිතය හා දේපලත් මාතෘ භූමියත් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට කළ මෙහෙයුමක ප්‍රතිඵලයකි. එම සන්සිද්ධියත් සමඟ ත්‍රස්තවාදයට එරෙහි වූ සාමයට කැමැති වූ මෙරට මෙන්ම පිට රට සිටි ශ්‍රී ලාංකිකයෝ ද ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. සිංහ ධජ ලෙළවමින් හා මාර්ගවල ප්‍රීති ඝෝෂා කරමින් හැසුරුණා හ. එහෙත් කොටි ත්‍රස්තවාදයට පක්ෂපාති වූ අයට එය කිසිසේත්ම සතුටක් ගෙනදුන් කරුණක් නොවීය. ඔවුහු වැඩි දෙනා ප්‍රභාකරන් මිය ගිය බව පිළි නොගත්හ.

ත්‍රස්තවාදීන්ගේ මෙම අවසානය පිළිබඳ වඩාත්ම නොසතුටු වූයේ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් එකතු කළ විදේශ ගතව සිටි කොටි හිතවාදීන්ය. දෙමළ ඩයස්පෝරාව වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එදා සිටය. එම සංවිධානයේ මෙහෙයවීම මත විශේෂයෙන් බටහිර රටවල ශ්‍රී ලංකා රජයට හා හමුදාවට එරෙහි උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වූහ.

වෙනම දෙමළ රාජ්‍යයක් ශ්‍රී ලංකා භූමියේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල පිහිටුවීම සඳහා ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය 2009 මැයි 18දායින් අවසන් කළ නමුත් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවල ද ක්‍රියාත්මක වන දෙමළ ඊළාම් ජාතිවාදී වැඩපිළිවෙළ නතර වී නොමැත. ඔවුන්ට අවශ්‍ය වනුයේ් ශ්‍රී ලංකාව තුළ සමගිය සතුට හා දියුණුව ඇති කිරීමට නොව මිනිස් ඝාතන සිදුකර හෝ වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමටය. ඔවුන් තුළ ඇත්තේ දෙමළ ජාතිය පිළිබඳ අනුකම්පාවකට වඩා ලේ පිපාසිත හැඟීම්ය. ඊට ඉඩදීම හෝ අනුබල දීම රටට හා ජාතියට ද්‍රෝහිවන ත්‍රස්තවාදී ක්‍රියාවකි. එම ත්‍රස්තවාදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශවල හෝ පෙනී සිටින සියල්ලෝම මානුෂික හැඟීමෙන් තොරව මිනීමරු මිලේච්ඡ හැඟීම්වලින් ක්‍රියා කරන අය බව වටහා ගත යුතුª අතර ලෝකයටද ඒ බව වටහා දිය යුතුය.

ශ්‍රී ලංකා රජයේ හා රණවිරුවන්ගේ ප්‍රධානත්වයෙන් වියජග්‍රාහී දිනය සමරනු වස් මැයි 12 සිට 19 දක්වා විජයග්‍රාහී සතියක් නම් කරනු ලැබ ඇත. එය එසේ කළ යුතු දෙයකි. කුමක් හෙයින් ද යත් එම අවස්ථාව උදාකර දීමට ජීවිත පූජාවෙන් ක්‍රියා කළ රණවිරුවන්ට උපහාර හා ගෞරව දැක්වීම පළමු කාරණය කොට ගෙනය. දෙවනුව ඉදිරියට එවැනි ත්‍රස්තවාදයක් මොනම ආකාරයකින්වත් බිහි වීමට වැට බැඳීම සඳහා ද ජයග්‍රහණය සැමරිය යුතුය.

රට වැසි සෑම දෙනාටම ත්‍රස්තවාදය පැවැති සමයෙහි සිත්වල තිබුණු මරණ බිය හා විජයග්‍රහණය නිසා එය නැතිව ගොස් සැනසිල්ලේ ජීවත් වීමට හැකි වූ බව නැවත නැවතත් අවධාරණය කළ යුතුය. කාට නමුත් උසස් සතුටක් හා සැනසීමක් සිතෙහි ඇති වූ විට එය නැවත සිහි ගැන්වීමේ සතුට හා සැනසීම වැඩිවීමට හේතු වන්නකි. විජයග්‍රහණය සිහිපත් කිරීමෙන්ද රට වැසියන්ගේ සතුට හා සැනසීම වර්ධනය වීමට බොහෝ දේ කළ හැකිය. ඒ නිසා ද එය කළ යුතු දෙයකි.

මේ අතරතුර මේ වන විටත් යාපනයේ දෙමළ ඊළාම් හැඟීම් නව මුහුණුවරකින් මතු වෙන බවට ලකුණු පහළ වී ඇත. ඒ පිළිබඳ පෝස්ටර් යාපනයේ තැන් තැන්වල අලවා ඇත. ඒවා කරනුයේ හමුදාවට අල්ලා ගන්නට බැරි වූ කොටි ත්‍රස්වාදීන් හා රැඳවුම්, කඳවුරු තුළ සිට නිදහස් කර යවනු ලැබු කොටි ත්‍රස්තවාදීන් විය යුතුය. එවැනි දේට ආරම්භයේ දීම වැට බැදීම ආරක්ෂක අංශ විසින් කළ යුතු දෙයකි.

රජය එය හොඳීන් වටහා ගෙන අදාළ උපදෙස් දිය යුතුය. එසේ නොවුණොත් එය 1976 යාපනයේ නගරාධිපතිව සිටි දොරෙයිඅප්පා මහතා ඝාතනය කර ඇරැඹුණු ත්‍රස්තවාදය ඒ මොහොතෙහිම මර්දනය නොකිරීම නිසා වසර තිහක් තිස්සේ පැවැති බිහිසුණු ත්‍රස්තවාදයක් බවට පත් වූවාක් මෙන් ඒ ආකාරයේ හෝ වෙනත් ආකාරයේ ත්‍රස්තවාදයකට හෝ දෙමළ ජාතිවාදයකට ඉඩකඩ ලබා දීමක් වනු ඇත. එබැවින් ජාත්‍යන්තර බලපෑම් ඇගිලි ගැසීම් නොතකා උපන් ගෙහිම ත්‍රස්තවාදි බීජ විනාශ කර දැමීම රජයේ මෙන්ම සාමයට ලැදි සෑම පුරවැසියෙකුගේම වගකීම විය යුතුය.

යාපනයේ ත්‍රස්තවාදයට මුල පුරන පෝස්ටර් ඇලවෙද්දී ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙන්ම විශේෂයෙන් යුරෝපා රටවල දමිළ ඩයස් පෝරාව ප්‍රබල ලෙස ක්‍රියාත්මක වනු පෙනේ. ඔවුන්ගේ උද්ඝෝෂණ සම්මන්ත්‍රණ මෙන්ම දෙමළ ඊළාමයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම් ද යන මේ සියල්ලෙන්ම ප්‍රකාශ වනුයේ නැවත දෙමළ ඊළාමයක් වෙනුවෙන් නැගී සිටීමයි. ඒ සඳහා මුල දී උද්ඝෝෂණ සම්මන්ත්‍රණ හා ඡන්ද විමසීම් ක්‍රියාත්මක වුවද අවසානයේ යළිත් ත්‍රස්තවාදයකට නැඹුරු වී එමගින් අපේක්ෂිත දෙමළ ඊළාමය පිහිටුවා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

වසර තිහක් තිස්සේ පැවැති දෙමළ ත්‍රස්තවාදයට ඕස්ට්‍රේලියාව හා යුරෝපා රටවල සහයෝගය ලැබුණු සේ මෙම අලුත් වැඩපිළිවෙළට ද ඔවුන්ගේ සහාය ලැබෙන බව පෙනී යන්නකි. මානව හිමිකම් යන සංකල්පය අනුව තම රටවට කාට නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හා ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස එම ආණ්ඩු ද පිළිගනිති. ඒ අනුව තමන්ට ජීවත් වීමට රටක් බිහිකර ගැනීමේ අරමුණ ඉදිරිපත් කරගෙන පළමුව ශ්‍රී ලංකාවෙන් බැහැර ඊළාම් රාජ්‍යයක් පිහිටුවා එම පදනම මත පිහිටා ශ්‍රී ලංකාව තුළ ද ඊළාමයක් පිහිටුවීම දමිළ ඩයස් පෝරාව ඇතුළු විදේශවල ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී වැඩපිළිවෙළේ අරමුණයි.

ශ්‍රී ලංකා රජය හා ජනතාව එක් වී විජයග්‍රහණය සමරද්දී නව ඊළාමයක් බිහිකරලීමේ පෝස්ටර් යාපනයේ ඇලවෙද්දී ඕස්ට්‍රේලියාව හා යුරෝපා රටවල ක්‍රියාත්මක වන විනාශ වී ගිය කොටි ත්‍රස්තවාදයට ශක්තිය ලබා දුන් පිරිස් ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය අවසන් කරලීමේ විජයග්‍රහණය සැමරීම වෙනුවට එය ලෝක මිනිස් ඝාතනයක් ලෙස නම් කර ශෝක සතියක් හෝ දින කීපයක් හෝ එක් දිනයක් පැවැත්වීමට ක්‍රියා කරන බව දැනටමත් වාර්තා වී ඇත. මේ පිළිබද එම රටවල ජීවත් වන එදා පටන් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකිකයෝ අපට කරුණු සැලකළහ.

මෙහි දී ඔවුන් වාර්තා කළ ඉතා කනගාටුදායක සිද්ධිය නම් එම ශෝක දින පැවැත්වීමට ක්‍රියා කරන අයගේ ක්‍රියාකාරකම් පිළිබඳ එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇස්කන් පියාගෙන සිටීමය. බටහිර රටවල් එදා ත්‍රස්තවාදයට ඉඩ දුන්නා සේ අදත් ඉඩ දීම මුළුමනින් වලක්වා ලීමට නොහැකි වුවද අපේ තානාපතිවරුන්ට අඩුම තරමේ එම කටයුතුවලට එරෙහිව එම රටවල ආණ්ඩුවලට කරුණු දැක්වීම හෝ නොකළ හැකි දෙයක් නොවේ. එදත් ලෝකය පුරා ත්‍රස්තවාදීන්ට අනුකම්පාවක් ලබාගත හැකි වූයේ අපේ තානාපති කාර්යාල කොටි ප්‍රචාරක ජාල හා ක්‍රියාකාරකම් පිළිබඳ නිහඬව සිටි නිසාය. අදත් නිහඩව සිටියොත් විදේශ රටවල ශක්තිමත් වී එම ආණ්ඩුවල ද සහාය ලබා ගෙන කලින්ටත් වඩා ප්‍රබලව ශ්‍රී ලංකාවට එරෙහි ඊළාම් බලවේගයක් ;නාබෝ කලකින් මතු විය හැකිය.

එම නිසා විදේශ රටවල සියලුම ශ්‍රී ලංකා තානාපතිවරු හා එම කාර්ය මණ්ඩල ඊළාම් වාදය වෙනත් මුහුණුවරකින් නැගී සිටීමේ උපාය මාර්ග පිළිබඳ අවදියෙන් සිට එම රටවල ආණ්ඩු දැනුවත් කිරීමටත් එම ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ඉදිරිපත් විය යුතුය. එසේ නොමැතිව මොන හේතුවක් නිසා හෝ තමන්ගේ වැඩක් බලාගෙන නිහඩව සිටීම තානාපති නිලධාරීන් රට වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස සැලකිය නොහැක.

එවැනි අය ශ්‍රී ලංකාවේ මුදල් කාබාසිනියා කමින් පිට රටවල සැප විදින දේශද්‍රෝහීන් හා ජාතිද්‍රෝහීන් ලෙස නම් කළ යුතුය. ඔවුන් වහාම මවුබිමට ගෙන්වා රාජකාරී තනතුරුවලින් පහකරලීමටත් නැවතත් විදේශයට යාම වළක්වාලීමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සදහා විදේශ අමාත්‍යාංශය විශේෂ අවධානයකින් සිට ක්‍රියා කළ යුතුව ඇත. විදේශ අමාත්‍යාංශයේ ක්‍රියාදාමය දුර්වල වුව හොත් හෝ තානාපතිවරුන් රට වෙනුවෙන් ක්‍රියා නොකරද්දී නිහඩව සිටියොත් හෝ විදේශ අමාත්‍යාංශය ද එම ඇමැතිවරයා ද රටට හා ජාතියට ද්‍රෝහි වූවන් ලෙස සැලකීමට සිදු වෙයි.

විජයග්‍රහණය සමරන සතිය තුළ ආගමික වතාවක් සිදු කරමින් මියගිය අය සිහි කරන ලෙස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. එහි වරදක් නැත. සිංහල ජනතාව ද ආගමික වාතාවත් සිදුකරමින් රට වෙනුවෙන් දිවි පිදූ රුණවිරුවන් මෙන්ම තිස් වසරක් තුළ මියගිය අහිංසක ජනතාව ද සිහිපත් කරමින් සංවේගය පළ කිරීම හා පින් පෙත් අනුමෝදන් කිරීම කළ යුතු දෙයකි. එහෙත් විජයග්‍රාහී සතිය තුළ හෝ වෙනත් අවස්ථාවක හෝ කොටි ත්‍රස්තවාදීන් අවසන් කරලීම වෙනුවෙන් ශෝක දිනයක් හෝ ශෝක දින පැවැත්වීම කිසිසේත්ම සිදු නොවිය යුත්තකි.

එවැනි දේ කිරීම ඊට අනුබල දීම එවැනි දේ කරද්දී නිහඩව සිටීම යන සෑම ක්‍රියාවක්ම යළි දෙමළ ජාතිවාදයකට හා දෙමළ ත්‍රස්තවාදයකට ඉඩකඩ සැලසීමක් ලෙස සැලකිය යුතුය. එවැනි දේට එරෙහි වීම හැකිනම් ඒවා නවතාලීම මවුබිමට හා ජාතියට ආදරය කරන හැම දෙනාගේම යුතුකමකි. ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ පරිදි එවැනි ද්‍රෝහි ක්‍රියාවන්ට කැමැති වනුයේ රටට ආදරය නොකරන පිරිසය. අපි හැම කෙනෙක්ම එම ද්‍රෝහි ක්‍රියාවන්ට එරෙහි වන ඒවාට ඉඩනොදෙන රටට ආදරය කරන ජාතියක සාමාජිකයෝ වෙමු. එය සුබ අනාගතයක් සඳහා යහපත් වූ ක්‍රියාමාර්ගයක්ද වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා