කිලිනොච්චිය අද සන්සුන්

කිලිනොච්චිය අද සන්සුන්

සමස්ත ලංකාවම අද ත්‍රස්තග්‍රහණයෙන් ගලවාගෙන ඇත. එල්.ටී.ටී.ඊ. ය සිය අගනුවර ලෙස සැලකූ කිලිනොච්චිය ද අද නිදහස් බිමක් ය. එහි ජනතාව කාලය ගත කරනුයේ ඉමහත් සතුටෙනි. අද ඔවුනට මරාගෙන මැරෙන බෝම්බයක්, කාල බෝම්බයක්, ක්ලේමෝ බෝම්බයක් ගැන බියක් සැකයක් නැත. ජීවිතය ගැන නව බලාපොරොත්තු දල්වා සිටී. පසුගියදා අප කිලිනොච්චියේ කළ සංචාරයකදී මේ බව අපට පසක් විය. මේ එම ජනතාව අප සමඟ දැක්වූ අදහස් ය.

‘අද අපට බයක් නැහැ. කොහේවත් දුවන්න ඕන නැහැ. ගස්මුල් යට හැංගෙන්න ඕන නැහැ. දරුවන් නැතිව දුක්වෙන්න ඕන නැහැ. අපි සතුටෙන් ඉන්නේ. මේ සතුට ගෙනත් දුන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ත්‍රිවිධ හමුදාවට අපි සදා ණය ගැතියි”

“වෙනදා කිලිනොච්චි නගරය කියන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ පාරාදීසය. මෙහි තිබුණු නීති හරිම අසාධාරණ ඒවා. කිලිනොච්චි වැසියන් සිර කූඩුවක සිර කරා වගෙයි මෙහි ජීවත් වුණේ. අද ඒ සියලු දෙනාට නිදහසක් ලැබිලා තියෙනවා. ඔවුන් කාලය ගත කරන්නේ බලාපොරොත්තු පොදි බැදගෙන යැයි පම්පේ මඩු පදිංචි පුෂ්පරාසා සුබ්‍රමනියම් (42) මහත්මිය පැවසුවාය.

ඇය කිලිනොච්චි නගරයේ රාජ්‍ය ආයතනයක සේවය කරමින් සිට ඇති අතර කොටි ත්‍රස්තවාදීන්ගේ නොයෙක් බලපෑම් නිසා ඉන් ඉවත්ව ගොස් තිබේ. කිලිනොච්චි නගරයේදී පසුගියදා අපට ඇය මුණ ගැසිණි. කොටි ත්‍රස්තවාදය නිමා කර වසරක් ගතවී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිලිනොච්චි නගරයේ වැසියන් අදහස් රැසක් පළ කළහ.

පුෂ්පරාසා සුබ්‍රමනියම් එහිදී මෙසේ ද කීය

මගේ ජීවිතයේ වසර තිහකට වැඩි කාලයක් ත්‍රස්තවාදය අත්විදලා තිබෙනවා. මේ තුළින් අපට කිසිම දෙයක් ලැබිලා නැහැ. කොටි නායක මිනීමරු ප්‍රභාකරන් හැමදාම කීවේ ත්‍රස්තවාදය තුළින් දෙමළ ජනතාවට විමුක්තිය ලැබෙනවා කියලයි. ඒක මහ බොරුවක්. අපට විමුක්තිය ලැබුනේ කොටි ත්‍රස්තවාදය පරාජය කරාම තමයි. අපට අද විමුක්තිය ලැබිලා තිබෙනවා. අපි සතුටෙන් ඉන්නේ දැන් තමයි.

මේ නගරයේදී අහිංසක වැසියන් කීදෙනෙක් කොටි විසින් මරා තිබෙනවාද ළමුන් අමු අමුවේ පුලුස්සා මරා තිබෙනවා. එහෙත් අද අපිට එහෙම දේවල් දකින්න නැහැ. මේ නගරය තුළ කාලයකට පසු නිදහස ලැබී තිබෙනවා. අපි ගොඩක් සතුටෙන් ගමන් බිමන් යන්නේ. බෝම්බ පුපුරන්නේ නැහැ. ළමුන් පැහැරගන්නේ නැහැ. අපිට නිදහස ගොඩක් දැනෙනවා.

කේ.ප්‍රභාත් (36) විශ්වමඩු

“අපි කවදාකවත් හිතුවේ නැහැ කිලිනොච්චි නගරයේ මේ තරම් නිදහසකින් අපට ඇවිද යන්න පුලුවන් කියලා. මම රැකියාවට කරන්නේ වෙළඳාම. එකක් කියලා නැහැ. රෙදි, ප්ලාස්ටික් බඩු, ඔය හැම එකක්ම වෙළදාම් කරනවා. මේ නගරයේ වෙනදා මෙහෙම වෙළදාම් කරන්න බැහැ. කොටි ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවන්න ඕනේ. රුපියල් 50 සොයා ගත්තොත් රුපියල් විස්සක් ඔවුන් ගන්නවා.

අද ඒ තත්ත්වයක් නැහැ. කොටි පරාජය කරලා වසරක් වෙනවා. මේ නගරයේ මිනිස්සු ඉන්නේ බොහොම සතුටෙන්. ඔවුන් සැබෑ නිදහස, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිනවා. ඔවුන්ට එය ලැබිලා තියෙනවා.

අද කිලිනොච්චි නගරය දකුණේ නගරයක් වගේ තමයි. ඕනෑම තැනකට යන්න බස් රථ රජය අපට මේ දේවල් ලබා දී තිබෙනවා. ළමුන් පාසල් යනවා. මිනිස්සු තමන්ගේ රැකියාව කරනවා.

අද මේ නගරය සාමාන්‍ය නගරයක්. අපිට මේ වාසනාව ගෙනත් දුන්න ත්‍රිවිද හමුදාවට ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

ආර්.ඉරසංජා (16) කිලිනොච්චි මධ්‍යම විද්‍යාලය

“මගේ පදිංචිය කිලිනොච්චි නගරයේ සිට පොඩ්ඩක් ඇතුළට වෙන්න. මගේ පාසැලට මම යන්නේ වසර ගණනාවකින්. ඒත් මම දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අපේ පාසල දැන් ආරම්භ වෙලා මාස කිහිපයක් වෙනවා.

පාසලේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්න යුද හමුදාවේ අයියලා කටයුතු කරා අපට ගොඩක් සතුටුයි. මා වෙනදා පාසල් එනවිට කොටි ත්‍රස්තවාදීන් මාව උස්සගෙන යන්න හැදුවා. කිහිප සැරයක්ම උත්සහ කළා. ඒත් මගේ වාසනාවකට මා බේරුනා. එක සැරයක්මාව අරන් යන්න හැදුව කොටි සාමාජිකයින් දෙදෙනෙකු සමග මගේ මාමා රණ්ඩු කරා කොටි සාමාජිකයින් විසින් මගේ මාමා එහිදී වෙඩි තබා ඝාතනය කළා.

පසුගිය කාලයේ මමත් මගේ නංගිලා දෙදෙනාත් කැලේ තමයි සිටියේ. මොකද කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධ කරන්න අපව ගෙන යන නිසා.

අද අපිට මේ ගැටලු නැහැ. ජනාධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙනවා. අපිට මේ නිදහස ලබා දුන්නාට. අද අපි පාසල් ගිහිල්ලා ක්‍රීඩා කරනවා. යාලුවොත් එක්ක සතුටෙන් ඉන්නවා. ගෙදර අය සමග බියකින් තොරව ජීවත් වෙනවා. හොඳීන් අධ්‍යාපනය ලබලා හොඳ රස්සාවක් කරන්න බලාගෙන ඉන්නවා.

පනුෂා තංගේෂ්වරි (14) කිලිනොච්චි මධ්‍යම මහා විද්‍යාලය

“මම එළිය බලන්න බොහොම බයෙන් හිටියේ. මොකද මතක ඇති කාලයක එළියේ දුවලා පැනලා සෙල්ලම් කළේ නැහැ.

එහෙම එළියට ගියොත් කොටි මාව උත්සන් යනවා කියලා දන්නවා. මගේ අම්මා මට තියෙන ආදරයට මා සඟවාගෙනමයි සිටියේ.

“ අද මට එහෙම නැහැ. මට හිතෙන තැනක ඇවිදිනවා. මට හිතෙන දෙයක් කරනවා. බයිසිකල් පදිනවා. ගස් නගිනවා.

කැමති කෑමක් කනවා. ගොඩක් විනෝදෙන් සතුටෙන් ඉන්නවා. වෙනදා නැති සිසුවන් ගොඩක් ඉන්නවා. නගරයට යනවා. නැවත ගෙදර එනවා.

කිලිනොච්චි නගරයේ සරුවත් විකුණනවා. මම ඒවා බොන්න හරිම ආසයි. අපිට නැතිව තිබුණු බොහෝ දේ ලබා දුන්නේ ආමි එකේ මාමලා. එයාලට ගොඩක් පිං.

රවිකුමාර් (24) කිලිනොච්චි රුද්දපුරම්

“මම කසාද බැදලා ඉන්නේ. මට දැන් ළමයින් දෙදෙනෙක් සිටිනවා. මා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද මගේ ළමයින් හැමදාම මගේ ළඟ ඉදියි කියලා මා දන්නවා. වෙනදා අපේ ළමයින් කොටි පැහැරගෙන යනවා. ළමයින් මරනවා. ළමුන්ට නොයෙක් වද හිංසා කරනවා. කොටි ත්‍රස්තවාදීන්ගේ මේ අමානුෂික ක්‍රියා දැන් ඉවරයි. දැන් අපේ ළමයින්ට හොඳ අනාගතයක් තියෙනවා. ඔවුන්ට රටක් තිබෙනවා. හොඳ ජනාධිපතිවරයෙක් සිටිනවා. එතුමා සෑම ළමයෙකුටම තමන්ගේ දරුවෙකුට වගේ සලකනවා. එතුමාගේ නායකත්වය නැති වුනානම් අපට මේ නිදහස නැහැ.

කොටි පරාජය කරලා දැන් අවුරුද්දක් වෙනවා. ඒ ගැන ලොකු සතුටක් නැගෙනවා. මා හිතන්නේ මේ ශ්‍රී ලංකාව තුළ නැවත ත්‍රස්තවාදයක් නම් බිහිවෙන්නේ නැහැ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා