රණවිරුවන් කළ කැපකිරීම් කිසිදා මිල කරන්න බැහැ

රණවිරුවන් කළ කැපකිරීම් කිසිදා මිල කරන්න බැහැ

මීට වසර තිහකට පමණ පෙර එනම් එදා මනිපායි දී කොටි වෙඩි උණ්ඩයකට බිලිවී මිය ගිය රණවිරුවාත් වසර තිහකට පසු පසුගියදා උතුරු මානුෂීය මෙහෙයුමේදී අවසන්වරට මිය ගිය රණවිරුවාත් ඇතුළු එම දශක තුන පුරාම මේ දේශය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ උතුම් පරමාර්ථය ඉෂ්ඨ සිද්ධ කරගනු වස් ඇස්, ඉස්, මස්, ලේ, ඇට නහර පූජා කළ වීර හමුදා සොයුරු සොයුරියන් මේ රටේ ජනතාවට තවත් වසර සිය ගණනකටවත් අමතක නොවන්නේය.

දෑතේ රැඳුණු ගිනි අවියත් පිට දිගේ ගලා හැලෙන පතරොම් වැලක් සහිතව සතුරුැ වෙඩි උණ්ඩය එන ඉසව්ව බලා මහා ගන අඳුරු කැලෑවේ සෙමින් සෙමින් පියවර තබන වීර හමුදා විරුවන්ගේ දර්ශනය තවමත් අපට මැවි මැවී පෙනෙයි.

තම ජීවිතයට ඇති ආශාව පමණක් නොවේ ආදරණීය බිරින්දෑවරුන් මාපිය දූ දරු ඥාතීන් කෙරෙහි වූ ආදරය සෙනෙහස පවා අමතක කර දමා ඔවුන් සතුරා ඉදිරියට ගියේ මේ උතුම් දේශයේ සදාතනික සාමය සතුට ආරක්ෂා කර ගනු පිණිසය.

රණවිරුවා යන නාමයට අලුත් අර්ථකථනයක් දීමට ඔවුන්ට හැකිවූයේ දශක තුනක් තිස්සේ විසඳා ගැනීමට නොහැකිව ත්‍රස්තවාදී පිළිලය සම්පූර්ණයෙන්ම විනාශකර දැමීමට වසර දෙකක් පමණ වූ කෙටි කාලයක් තුළ හැකිවූ නිසාය. ඔවුන්ට ජාති ආගම් භේදයක් නොවීය. අවශ්‍ය වූයේ ත්‍රස්තවාදීන් පරාජය කර මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දූ දරුවන්ට නිදහස් නිවැරදි දේශයක් උරුම කර දෙන්නමය. ඒ අරමුණ ඉෂ්ඨ කර ගනු පිණිස නිවැරදි ගමනක් සෘජු අධිෂ්ඨානයකින් හෙබි අවංක නායකත්වයක් හිමිවිය. එහි ප්‍රතිඵලය තුළින් අද මේ පුංචි රටේ වීර සෙබලා සමස්ත ලෝකයම පුදුමයට පත් කරවමින් ත්‍රස්තවාදය සමූල ඝාතනය කළේය.

ඒ උතුම් කැපවීම වෙනුවෙන් මේ රටේ ජනතාව හමුදා විරුවන් කෙරෙහි දක්වන්නේ ගෞරවනීය භක්තියකි. එවැනි ගෞරවයකට ලක්වන එකම පුද්ගලයා හමුදා රණවිරුවාය.

රණවිරුවන් සතුරා ඉදිරියට නොබියව නොයන්නට ඔවුන්ගේ චිත්ත ශක්තිය නොතිබෙන්නට සතුරා තවමත් සිටින්නට ඉඩ තිබිණි.

එම නිසා වර්තමාන රජය හමුදා විරුවන් වෙනුවෙන් බොහෝ දේ සිදුකරන්නේ ඔවුන් කළ ඒ කැපවීම අගයනු පිණිසයි.

දශක තුනක් පුරා පැවැති ඒ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයෙන් සදහටම ජීවිතයෙන් සමුගත් රණවිරුවන් දහස් ගණනකි. සිදුවූයේ කුමක්දැයි නොදන්නා තවමත් හරි හැටි තොරතුරක් නොමැති රණවිරුවන් විහාල ප්‍රමාණයකි. දෑත දෙපා ඇස් අහිමිව සදාකාලිකව ආබාධිත වූ තවත් පිරිසකි.

යුද්ධය නිමවී රටට ස්ථිර සාමය උදාවී දින සති ගෙවී යන්නටත් පෙර රජය මේ උතුම් මිනිසුන් වෙනුවෙන් බොහෝ දේ කරන්නට ආරම්භ කළහ. නිවාස, ඉඩම් නොමැති රණවිරුවන්ට ඒවා ලබාදීම දරුවන්ට අධ්‍යාපන පහසුකම් ශිෂ්‍යත්ව, රෝහල් පහසුකම් රණවිරු සෙවන, රණවිරු, ගම්මාන විදේශීය ශිෂ්‍යත්ව, විදේශ සේවා කටයුතු ඇතුළු බොහෝ දේ ලබාදීමට කටයුතු යොදනු ලැබිණි. ඉපලෝගම රණවිරු ගම්මානය පසුගිය වසර තිහක කාලයටම රණ විරුවන් වෙනුවෙන් එවැනි දැවැන්ත ව්‍යාපෘති ඉදි වූයේ නැත. රණවිරු පවුල්වල දරුවන් වෙනුවෙන් රට පුරා ඉදිවෙන පාසල් පද්ධතිය ජීවිතය කැපකළ රණවිරුවාගේ දූ දරුවන්ට ඉදිරි අනාගතය සර්ව සම්පූර්ණ කරගනු පිණිස වූ දැවැන්ත ව්‍යාපෘතියකි.

මෙපමණක් නොවේ ඉදිරි කාලයේ දී තව තවත් ඔවුන් වෙනුවෙන් බොහෝ දේ සිදුකෙරෙයි. තවත් වසර සියයකටවත් ඔවුන් කළ මහගු සේවය මේ මිනිස් සමාජයට අමතක වී නොයනු පිණිස මේ සියලු දේ ඔවුන් වෙනුවෙන් සිදු කෙරෙයි.

මීට වසර විසි ගණනකට පෙර එනම් දරුණු යුද්ධයක් පැවැති යුගයේ අලිමංකඩ හමුදා කඳවුර සුණු විසුණු කිරීමේ අරමුණ ඇතිව සතුරු ප්‍රහාර රථ පෙළක් එක දිගට කඳවුර වෙත පැමිණෙමින් තිබියදී තම ජීවිතය ගැන නොතකා බුල්ඩෝසර් රථ පෙළට පැන ජීවිතය පූජාකළ හසලක ගාමිණී ප්‍රමුඛ උතුරේ රණවිරුවන් සිහිපත් කර ඔවුන් වෙනුවෙන් ස්මාරක ගණනාවක් ඉදි කෙරී ඇත. එදා කොටි අඩෙවි අද හමුදා බල ප්‍රදේශ බවට පත් වී ඔවුන්ගේ දෑතින්ම එම ප්‍රදේශ සශ්‍රීක කෙරේ’ එදා ප්‍රභාකරන් උතුරේ ජනතාවට හමුදා සොල්දාදුවා පිළිබඳ කරුණු පෙන්වා දී තිබුනේ ඔහු සිත් පිත් නැති පුද්ගලයකු බවටය.

එහෙත් ප්‍රභාකරන්ගේ අපරාධ මිලේච්ඡ ක්‍රියා අතර අපේ රණවිරුවන් මොනතරම් මානුෂිකත්වයෙන් පිරි මිනිසුන් කොටසක්ද යන්න තේරුම් ගැනීමට උතුරේ ජනතාවට හැකිවී තිබේ. ප්‍රභාකරන් ඔවුන් සිර කර මිනිස් පලිහක් ලෙස තබාගෙන සිටියදී ඒ වධ හිංසාවලින් ඔවුන් බේරා ගත්තේ හමුදා විරුවන්ය. අද ඔවුන් ත්‍රස්ත මර බියෙන් මිදී නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් කළ කැපවීම නිසාය.

ප්‍රභාකරන් අහිමි කළ ඒ අහිංසක මිනිසුන්ගේ ගේ දොර ඉඩකඩම් දේපළ යළි ඔවුන්ට හිමි වී ඇත. ප්‍රභාකරන් දුන් ගිනි අවිය ;වනුවට කැත්ත උදැල්ල පෑන පැන්සල ලැබී ඇත. උතුරේ මිනිස් ජීවිත සිය දහස් ගණනක් බිලි ගැනීමට පියවරෙන් පිය වරට වළ දමා තිබූ බිම් බෝම්බ දහස්ගණනක් හමුදා රණවිරු දෑතින්ම ගැලවී හමාරය. ඒ දෙමළ වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන එකම ආරක්ෂකයා රණවිරුවාය.

සුන්දර තරුණ යොවුන් වියේ සිතක උපදින දහසක් බලාපොරොත්තු කැටිකරගත් නැවුම් සිතිවිලි මල් ඵල ගැන්වීම අමතක කර දමා මේ මාතෘභූමිය ආරක්ෂා කරගනු වස් කැප කළ ඒ උතුම් මිනිසුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් රාශියක් මේ රටේ ජනතාවට පැවරී ඇත. විශේෂයෙන් කොටි වෙඩි උණ්ඩයෙන් අත් පා අහිමි වූ ඒ සුන්දර යොවුන් ජීවිත ගණනාවක් ඇද එක්තැන්ව සිටින්නේ අප වෙනුවෙන් කළ කැපවීම නිසාය.

ඔවුන් එක්තැන් වුවත් ජීවත්වීමට අවශ්‍ය බොහෝ දෑ ලැබෙයි. ආහාර ඇඳුම් පැළඳුම්, බෙහෙත් ඇතුළු ඒ සියලු අවශ්‍යතාවන්ය. එහෙත් ඔවුන්ට නොලැබෙන එකම දේ පාලුව තනිකම තුළින් ගෙවන ජීවිතයට අවශ්‍ය ආදරය සෙනෙහස තුළින් ලබන සතුටයි. ආදරයෙන් පවුල් ජීවිත ගෙවූ ඇතැම් රණවිරුවන් ආබාධිත වූ පසු ඔවුන්ගේ බිරියන් ඔවුන් හැරගොස් සිටිති. දරුවන් මාපිය ඥාතීන් ඔවුන් බලන්නට එන්නේ කලාතුරකිනි.

ඔවුන් කිසිසේත් එවැනි තත්ත්වයකට මුහුණ දිය යුතු නැත. ආබාධිත වුවත් ඔවුන්ගේ හදතුළ කැකෑරෙන සිතුවිලි ආබාධිත නොවේ. ජීවිතයේ ආදරය සෙනෙහස හඳුනන අපගේ යුතුකම ඔවුන්ට තනිවීමට ඉඩ නොතැබීමයි. ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි බොහෝ දේ ඇත. ඔවුන් අපේ ජීවිතයේ හොඳ මිතුරන් බවට පත් කර ගෙන අපට හැකි සෑම වෙලාවකම ඔවුන් සොයා ගොස් පැයක් දෙකක් ඔවුන් සමඟ සතුටින් ගත කළ හැකිය. එය ඔවුන්ගේ පාලු ජීවිතයට මහා අස්වැසිල්ලක් වනු ඇත.

ආබාධිත වූ රණවිරුවන් ලක්ෂ ගණනක් නොමැත. එහෙත් ඔවුන් නිසා ජීවිතය සතුරාගෙන් ආරක්ෂා කරගෙන නිදහසේ ගෙවන ජනතාව ලක්ෂ ගණනකි. එසේ නම් අපට එක් රණවිරුවා බැගින් බාරගෙන ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකි නම් එය මේ සමාජය තුළින් ඔවුන්ට සිදුවෙන විශාලම යුතුකම වෙන්නේය. එසේ නම් අපි ඒ යුතුකම ඉෂ්ඨ කිරීමට ත්‍රස්තවාදය අවසන් වී වසරක් සපිරෙන මේ ඓතිහාසික දිනයේදී අධිෂ්ඨාන කර ගනිමු.

දයාබර රණවිරුවාණෙනි එදා යුද පිටියේ බිහිසුණු යුද්ධයක නියැලී සිටි ඔබ අපි අමතක නොකළෙමු. ඉදින් හිරු නැග එන මොහොතේත්, බැස යන මොහොතේත් අප ඔබ සිහිපත් කරන්නෙමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා