විජයග්‍රහණයට සෘජු නායකත්වයක්

විජයග්‍රහණයට සෘජු නායකත්වයක්

ශ්‍රී ලංකාව දැන් නිදහස්, නිවහල් ස්වෛරී රාජ්‍යයකි. සිරිලක සිවු මහා ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්විය හැකි නිවහල් දේශයක් බිහිවී තිබේ. 2009 මැයි 19 දින ලක්වැසි ජනතාව අතිශයින් උද්දාමයට පත්වූ දිනයයි. දසක තුනකටත් වැඩි කාලයක් ඔඩුදිව ගිය කුරිරු හා අති බිහිසුණු යුද්ධයෙන් පීඩා විඳි සමස්ත ජනතාව සැනසුම් හෙලූ දිනයයි. ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මෙරට සමස්ත ජනතාව මුදාගන්නට එම අනභිවනීය නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ය.

වචනයේ පරිසමාප්තයෙන්ම අපේ රට දැන් නිදහස් නිවහල් ස්වෛරී රාජ්‍යයකි. එහි නියමුවා ශ්‍රී‍්‍ර ලංකා රාජ්‍ය නායකයායි. 2005 මහින්ද චින්තනයෙන් සපථ කළ ආකාරයෙන්ම ඒකායන පරමාර්ථයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව නොබෙදුණු රටක් බහුතර සම්මුතියක් සහ ගෞරවනීය සාමයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමේ අවසාන ඉලක්කය ජයගත් ලොව එකම විජයග්‍රාහී නායකයා බවට ලෝකයේ රටවල් පිළිගෙන ලැබ ඇත. සිවු වසරක් තුළ සිවුදෙස එක්සේසත් කරමින් සමස්ත ජනතාවටම බියෙන් සැකයෙන් තොරව නිදහසේ හුස්ම ගන්නට ඉඩ ලබා දුන් මහින්ද චින්තනය අපූර්ව වූ චින්තනයකි. මේ ගහකොළ මේ මහ පොළව ඔබගේය. එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන්ද රැකිය යුතුය. පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය. ඒ ජනාධිපතිධූරය බාරගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශයයි.

උතුම් වූ බුදු දහම සිරිලකට ගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේ රටේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කළේ ද මහ රජ ඔබ මේ රටේ අයිතිකරුවා නොව බාරකරුවා යනුවෙනි. ලෝකයේ මුල්ම පාලකයා මහා සම්මත නම් රජෙකි. ගුණ නුවණින් යුතු තේජාන්විත අයෙකු මහා සම්මත නමින් රටේ පාලනයට පත්කර රට ආරක්ෂා කර පෝෂණය කර ජනතාවට සුවසෙත සැළසීමේ වගකීම ඒ මහ සම්මතට පැවරු ආකාරය බුදුන් වහන්සේ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වේ.

ඒ අනුව රට බාරදෙන්නේ අයිතිකරුවෙකුට නොව භාරකරුවකුට බව මැනවින් පැහැදිළි වෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය මැනවින් තේරුම් ගත් නායකයකු බව පැහැදිළි වෙයි. මම මේ රටේ අයිතිකරුවා නොව බාරකරුවාය යනුවෙන් නායකයෙකුගේ මුවින් පිටවන්නේ නම් ඔහු සැබවින්ම මාතෘ භූමියට ආදරය කරන ආගම දහමට ගරු කරන නායකයෙකු වන්නේ ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අභිමානවත් නායකත්වය මුළු ලොවම පිළිගෙන තිබේ.

2005 නොවැම්බර් 17 දින පැවැති තීරණාත්මක ජනාධිපතිවරණය ජයගත් මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් විය. ඒ; මෙරට සමස්ත ජනතාව අතිශයින් භීතියට පත්කළ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගන්නා වැඩපිළිවෙළ ගැනය.

උතුරු හා නැඟෙනහිර පැවැති අර්බුදය විසඳීමට ගෙවුණු තිස් වසරක කාලයේදී රාජ්‍ය නායකයෝ පස් දෙනෙකු යටතේ විවිධ උපාය උපක්‍රම ක්‍රියාත්මක කළහ. එහෙත් අතීතයේ ඇතිවූ ගැටුම්වලදී සහ සාම සාකච්ඡාවලදී සිදුවූයේ මේ ප්‍රශ්නය ක්‍රමයෙන් ඔඩු දුවමින් උතුරු නැගෙනහිර දෙපළාතට සීමා නොවී මුළු රටේම පැතිරී යාමයි. කලාපීය සහ ජාත්‍යන්තර ලෙස ද පැතිරී ගිය ප්‍රශ්නයක් වීමයි. ඒ නිසාම පිටස්තර ඇඟිලි ගැසීම්වලින් ප්‍රශ්නය තවත් ව්‍යාකූල විය. විශේෂයෙන් පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව දුරදිග නොබලා කිසිදු ඉදිරි දැක්මකින් තොරව හදිසියේ ඇතිකරගත් සටන් විරාමය නිසා ප්‍රශ්න ගණනාවක් ඇතිවිය.

උතුරේ ඉතිරිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තවදුරටත් විනාශ විය. නැගෙනහිර දෙමළ මුස්ලිම් හා සිංහල ජනයා අවමානයට සහ අසහනයට පත්වුණි. ආරක්ෂක අංශ දුර්වල කෙරිණි. රටේ ජනතාවගේ කැමැත්ත නොවිමසා විදේශවලදී විවිධ සම්මුතිවලට එළැඹිණි. එම සම්මුති ජනතාව මත පැටවීමට උත්සාහ කෙරුණු අතර දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ඒ සම්මුතිවලින් ඉවත් විය. අතීතයේ විසඳීමට ගනු ලැබූ සියලු පියවරවල හොඳ නරක මැනවින් සොයා බලා නැවුම් මගක් ගැනීම අදහස් කරන බව මහින්ද චින්තනයෙන් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයත් භෞමික අඛණ්ඩතාවත් ඒකීය රාජ්‍ය ව්‍යුහයත් ජනතාවගේ ජාතික අනන්‍යතාවයත් ඔවුන් අතර සාමකාමී සහජීවනයත් ආරක්ෂා විය යුතු බව පිළිගනිමින් නොබෙදුණු රටක් ගෞරවනීය සාමයක් බහුතර සම්මුතියක් සිය නැවුම් පදනම ලෙස මහින්ද චින්තනයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ ය.

එම ඉලක්කය කරා යාමේදී ජනාධිපතිතුමන් ගේ නායකත්වය ලොව මවිතයට පත් කළේය. නිවැරැදි තීන්දු තීරණ ගනිමින් මැතිවරණ ජයග්‍රහණය ලබන විට මෙරට ජනතාව උද්දාමයෙන් එක්සිත්ව එක්කැළක් මෙන් හැකි සෑම සහයෝගයක්ම ලබා දුන්හ. 2005 නොවැම්බර්17 දිනෙන් පසුවද එල්. ටී. ටී. ඊ. ය ඊට පෙර පැවැති රජයන්ට තමන් පෙර පරිදිම ඔවුන්ගේ අරමුණු සඳහා ජනාධිපතිවරයා ඇද බැද ගන්නට උත්සාහ කළේය. සටන් විරාම ගිවිසුම අභියෝගයට ලක් කරමින් එක දිගට ප්‍රහාර එල්ල කරමින් රජය භීතියට පත් කිරීමේ උත්සාහයක එල්ටීටීඊය නිරත විය. එල්ටීටීඊය සමඟ සාම සාකච්ඡා වට කීපයක් තැබීමට රජය පියවර ගත්තේය.

2006 පෙබරවාරි 22 වැනිදා පැවැති සාම සාකච්ඡාවලින් පසුව නැවත අපේ‍්‍රල් මාසයේදී පැවැත්වීමට තිබූ සාකච්ඡා එල්ටීටීඊය ප්‍රතික්ෂේප කළේ ය. 2006 ජුනි මාසයේ දී ඔස්ලෝ නුවර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාව සඳහා ද එල්ටීටීඊ ය එකඟ වී සිටියද ඔස්ලෝ නුවර යාමෙන් පසු එම තීරණය වෙනස් විය. ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ පෙර සිදු කළ පරිදිම සුහද සාකච්ඡා මත ත්‍රස්තවාදී යුද මග ශක්තිමත් කිරීමට යොදා ගැනීමයි. පෙර රජයන් මෙන් ජනාධිපතිතුමාගෙන් ඊට ඉඩක් නොලැබුණි. එහිදී ගනු ලැබූ සෘජු තීරණ එල්ටීටීඊ අදහස් ආපස්සට හැරීමකට ලක්විය.

2006 ජුලි මස 20 වැනිදා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් දහස් ගණනක් ජනතාවට පානීය ජලය අහිමි කළ එල්ටීටීඊය ඊළාම් සටනට පාර කැපුවේය. සේනාධිනායක ලෙස රට වෙනුවෙන් තීරණාත්මක තීන්දුව ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගනු ලැබුවේය. රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ගත යුතු සෘජු තීරණයක් ලෙස ජනතාව ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා මානුෂීය මෙහෙයුමක් ආරම්භ කළ යුතු යැයි ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාවට නියෝග කළේ ය.

දේශපාලන විසඳුමක් ලෙස සාම සාකච්ඡා පැවැත්වීම පමණක් පවතින තත්ත්වයට විසඳුම බව විජාතික බලවේග බලපෑම් කරමින් කරුණු ගෙන පෙන්වා දෙන විට එතෙක් තිබූ ජනමතය මානුෂිය මෙහෙයුම නැමැති දේශපාලන විසඳුමකට හරවා තැබීමට ජනාධිපතිතුමා සමත් විය.

2007 ජූලි 11 දින තොප්පිගල විජයග්‍රහණය මෙරට ජනතාවගේ හදවත්හි සැඟව තිබූ ජාතික හැඟීම් උද්දීපනය කළේය. මුළු රටම භේදයකින් තොරව උද්දාමයට පත්වූහ. තොප්පිගල ජයග්‍රහණය කළ රණවිරුවන් ආපස්සට නොගෙන උතුර මුදා ගැනීමට අවශ්‍ය නායකත්වය ලබාදීමට ජනාධිපති ක්‍රියා කළේ ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම පරිදි හමුදාවල පිරිස් බලය වැඩි කරමින් හමුදා සෙන්පතියන්ට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉහළ දමමින් මානුෂික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ පියවර ගැනිණි.

මාවිල්ආරු ප්‍රදේශයේ ආරම්භ කළ සෘජු ත්‍රස්ත ප්‍රහාරය ගෞරවනීය සාමයක් උදෙසා මානුෂීය මෙහෙයුමක් දියත් කරන්නට පොළඹවනු ලැබීය. ලොව ප්‍රබලතම ත්‍රස්තවාදින් යැයි කියාගත් කොටි ත්‍රස්තවාදින් මානුෂීය මෙහෙයුම ඔස්සේ අන්ත පරාජයට පත්කිරීම උදෙසා සේනාධිනායකයකු කළ උත්කෘෂ්ට මෙහෙවර ලෝක ඉතිහාසය මවිතයට පත් කළේය.

කිසිදා ජයගත නොහැකි යැයි කියූ යුද්ධය විජයග්‍රහණයකින් කෙළවර කරන්නට හමුදාව ශක්තිය ධෛර්ය හා නායකත්වය සැපයුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව සමස්ත ශ්‍රී ලංකාව පිළිගෙන තිබේ. මුළුගන්වා සිටි රණවිරුවන්ට සමාජයේ උසස් පිළිගැනීමක් ලබා දුන්නේ ඔවුන්ට වීරත්වය හිමිකර දුන්නේත් ජනාධිපතිතුමන්ය. දිවි පිදූ සහ ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වීරත්වය අභිමානය ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේ ය.

යුද, ගුවන්, නාවික හා සිවිල් ආරක්ෂක අංශවල සෙන්පතිවරුන් නිලධාරින් හා සෙසු නිලයන් සමඟ සටන විජයග්‍රහණය කරා මෙහෙයවූයේ සේනාධිනායකයාය. මාවිල්ආරුවෙන් නැගෙනහිරින් උතුර විජයග්‍රහණය ලබාගන්නා විට මෙරට බාල, තරුණ, මහළු, ලොකු, කුඩා සැවොම බඩ ගැන නොසිතා රට ගැන සිතන්නට පටන් ගත්තේ දේශපාලන නායකත්වය මත විශ්වාසය තබාය.

ත්‍රස්තවාදය සහමුලින්ම මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය වෙනස් කර ත්‍රස්තවාදින් ගලවා ගැනීමට සාම දූතයින් ලෙසින් බලවත් රටවල් ගණනාවක්ම නියෝජිතයින් පෞද්ගලිකව පැමිණ අනේකවිධ බලපෑම් එල්ල කළ අවස්ථාවලදී ඉතා නිර්භීත තීන්දු ගනු ලැබුවේ ඉන්ද්‍රඛීලයක් ලෙසිනි. ඉතා නිර්භීතව වාග් ප්‍රතිප්‍රහාර දෙමින් ශ්‍රී ලංකාව තවදුරටත් කිසිදු රජයක යටත් විජිතයක් නොවන බවත් අපගේ ස්වෛරීභාවයට කිසිවිටෙකත් ඇඟිලි ගැසිය නොහැකිය බවත් ලොව හමුවේ ප්‍රකාශ කර සිටියේ සියලු රටවැසියන් අමන්දානන්දයට පත් කරමිනි.

ශ්‍රී‍්‍ර ලංකාව ලැබූ ජයග්‍රහණ රාශියක පිටුපස තිබූ වැදගත් බලවේගයක් වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නොසැලෙන විදේශ ප්‍රතිපත්තියයි. ජනාධිපතිතුමා බලයට පත්වූයේ ශශ්‍රී ලංකාවට විරුද්ධව විශාල බලවේගයක් ක්‍රියාත්මක වූ අවදියකය. විදේශීය රටවල ප්‍රබල නායකයින් එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාවන්ට අනුබල දෙන පිරිසක් බවට පත් කර ගන්නට විවිධ ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වූ සමයකය. විදේශ රටවල ඡන්ද අපේක්‍ෂකයින්ගේ ඡන්ද ව්‍යාපාරවලට ත්‍රස්තවාදින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කොට ඔවුනගේ සහාය ලබාගෙන තිබෙන අවදියකය. මේ සියලු විදේශීය බලපෑම් හා කුමන්ත්‍රණවලට මුහුණදීමට ජනාධිපතිතුමාට සිදුවිය. ජාත්‍යන්තර බලවතුන් කුමක් කීවද කුමන බලපෑමක් කළද තම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට තරම් ශක්තියක් ජනාධිපතිතුමා සතුව තිබිණි. බලපෑම් එල්ල කරන රටවල් සමඟ සුහදව ක්‍රියා කරමින් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එතුමාගේ පාලනය සූක්ෂම විය; දූරදර්ශී විය.

ලොව දරුණුතම ත්‍රස්තවාදින් පරාජය කළ අප දැන් අනභිභවනීය පුරවැසියන් ලෙස නැගී සිටින්නෙමු. අපේ රටේ ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශ පසුගිය තිස් වසර පුරාවටම සේවයේ යෙදුනහ. බලයට පත්වූ රාජ්‍ය නායකයින් විවිධ අයුරින් මේ බලකායන් මෙහෙයවනු ලැබීය. එහෙත් ජනාධිපතිතුමා දූරදර්ශී අධිෂ්ඨාන පූර්වක සෘජු තීන්දු තීරණ නොගත්තේ නම් තවදුරටත් ත්‍රස්ත ප්‍රහාර බෝම්බ පිපිරීම් මිනිස් ඝාතන ලේ වැගිරීම් දේපළ හානි කෝටි ප්‍රකෝටි ගණනින් තවමත් සිදුවන්නට ඉඩ තිබිණි. ඊටත් වඩා භයානක තත්ත්වයත් තිබේ. එනම් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ ක්‍රියාත්මක කළ සටන් ආපස්සට සිදුවූයේ යැයි මොහොතකට කල්පනා කරමු. මිනිස් ඝාතන ලේ ගංගාවක් අතර 1815 දී අප රට වැටුණු තැනම නැවත වැටෙනු ඇත. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ චින්තනය මුළු ලොව මවිත කළ විස්මිත අපූර්ව දර්ශනයක් වන්නේ සෘජු තීන්දුවක සිට අධිෂ්ඨානශීලීව නායකත්වයත් මඟපෙන්වීමත් නිසාය.

අපේ දරුවන්ට අනාගතයක් රටක් ලබාදුන්නේ එතුමන්ය. ත්‍රස්තවාදය විජයග්‍රහණය කළ ජනාධිපතිතුමන් පළමුව දෙවනුව තෙවනුව මවුරට යැයි වචනවල වූ ජීවිත ජීවත් කරවන ඉතා ගැඹුරු අර්ථයක් තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ විට ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් පවසා සිටියේ ත්‍රස්තවාදී අරගලයක් අවසන් කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෝකයටම ආදර්ශයක් දුන් බවය. අන්තර් ජාලයේ වු එවැනි සටහනක මාතෘකාව වූයේ කැරැල්ලක් මැඩ පැවැත්වීම ශශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ ආදර්ශය යනුවෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා