යහපත් අනාගතයකට කැපවෙමු

යහපත් අනාගතයකට කැපවෙමු

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල

වසර තිහක කාලයක් පුරා රටේ ආර්ථිකය, සංවර්ධන සහ සංස්කෘතිය කඩාවැටීමට හේතු වූයේ කොටි ත්‍රස්තවාදීන් නිසාය. පසුගිය වසරේ මැයි 18 වැනිදා කොටි නායකයා ප්‍රමුඛ සමස්ත කොටි සංවිධානයේ විනාශයත් සමග ඒ අමිහිරි යුගය ද අවසන් විය.

ත්‍රස්තවාදය අවසන් කළ නොහැකි යැයි බොහෝ දෙනා තුළ මතයක් ගොඩනැගී තිබූ යුගයක එය සම්පූර්ණයෙන් ම අවසන් කිරීමට හැකිවීම මේ රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

ත්‍රස්තවාදයෙන් බැට කෑ පුද්ගලයන් ප්‍රමාණය අප්‍රමාණයි. මුලදී ජාතීන් අතර සටනක් ලෙස තිබුණත් පසුව එය ත්‍රස්තවාදී යුද්ධයක් බවට නිවැරදිව පිළිබිඹු කිරීමට හැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට මේ රටේ නායකයා, සේනාධිනායකයා වශයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය මෙහෙයවා ආරක්‍ෂක ලේකම්තුමාගේ පූර්ණ කැපවීම මත ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට හැකි විය. හැත්තෑව දශකයේ පටන් මේ රට තුළ ජනාධිපති ධූර හෙබවූ කිසිම නායකයකුට නිවැරදි මගක් ඔස්සේ ගොස් අවසන් කිරීමට නොහැකි වූ ත්‍රස්තවාදය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අවසන් කිරීමට හැකිවීම ගැන සමස්ත ලෝකයත් විශ්මයට පත් විය. ලෝකයේ ප්‍රබල රටවල් අද මේ වන විටත් ත්‍රස්තවාදය අවසන් කර ගත නොහැකිව සිටී. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය, අධිෂ්ඨානය, කැපවීම මත ඒ දැවැන්ත පිළිලය සම්පූර්ණයෙන් ම විනාශ විය.

ඒ ලැබූ ජයග්‍රහණය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සමස්ත ජාතීන්ම ලැබූ ජයග්‍රහණයකි. ජාත්‍යන්තර බලවේග, කුමන්ත්‍රණ, ත්‍රස්තවාදය අවසන් කිරීමේ දැවැන්ත ක්‍රියාවලියට එරෙහිව නැගී සිටියේය. එහෙත් ඒ කිසිදු බලවේගයක් හමුවේ නොසැලී ක්‍රියා කළ ජනාධිපතිතුමා ත්‍රස්තවාදයේ අවසානය දක්වාම එම සටනට නායකත්වය දෙමින් ක්‍රියා කළේය. ඒ අනුව වසර 30ක ත්‍රස්තවාදය අවසන් වුවත් එම ජයග්‍රහණයට එරෙහිව ක්‍රියා කරන දේශීය හා ජාත්‍යන්තර බලවේග තවමත් අළු යට ගිනි මෙන් මතුවෙන්නට බලා සිටී. එවැනි තත්ත්වයක් මැද අද අප රට ඒ සුවිශේෂී දිනය සමරන්නෙමු.

ත්‍රස්තවාදයේ අවසානයෙන් පසු රටේ ඉදිරි පරම්පරාවට ලබාදිය හැකි උතුම්ම පරිත්‍යාගය වූ ආර්ථික සංවර්ධනය කරා මේ රට ගෙන යාමට ජනාධිපතිතුමා කැප වී ක්‍රියා කරමින් සිටී. එම පරමාර්ථය දැන් ඉෂ්ට වෙමින් පවතී. ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ කොටි බල ප්‍රදේශවල සිටි අහිංසක ජනතාවට දැන් නිදහස් ලෝකයක් හිමි වී තිබේ. එදා ඔවුන්ගේ දෑතට දී තිබූ ගිනි අවිය වෙනුවට දූ දරුවන්ට පෑන, පැන්සල, වැඩිහිටියන්ට කැත්ත, උදැල්ල ද හිමිවී ඇත. ඔවුන්ගේ ජීවිතවලින් මරණ බිය පහව ගොස් තිබේ. ඔවුන් අද නිදහසේ හුස්ම ගනිති. ඔවුන්ට ඒ සැබෑ නිදහසේ මිහිර අත්විඳීමට දැන් අවස්ථාව ලැබී ඇත. ඒ නිදහස උරුම කර දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කෙරෙහි අද ඔවුන්ගේ හදවත් තුළ ගෞරවය, භක්තිය පිරී ඉතිරී ගොස් තිබේ.

හැත්තෑව දශකයේ සිට හමුදාවේ ඉහළම නිලධාරියාගේ සිට ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත බවට පත්, අතුරුදන් වූ, විශ්‍රාම ගිය සෑම කෙනෙකුම ත්‍රස්තවාදය පරාජය කිරීමට කැප වුණා. එහෙත් බලාපොරොත්තු වූ ජයග්‍රහණය ඔවුන්ට ලබාගැනීමට නොහැකි වූයේ රටේ නායකත්වය ඊට නිවැරදි මාර්ගය පෙන්වා නොදුන් නිසාය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එකම අධිෂ්ඨානයක් යටතේ සෘජු ප්‍රතිපත්තියක සිට මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබාගැනීමට කැප විය. එසේ ලැබූ ඒ ජයග්‍රහණය සදාකාලිකය. නැවත මේ රට තුළ ත්‍රස්තවාදයක් ඉපදීමට ඉඩ නොලැබෙන පරිදි රටේ සියලුම ජාතීන් අතර සමඟිය ඇතිකර ඔවුන් වැඩදායී පුද්ගලයන් බවට පත් කර ඇත. දැන් ඔවුන්ට තිබෙන කර්තව්‍යය නම් ඔවුන්ගේ දූ දරුවන්ට සුබ අනාගතයක් ලබාගැනීමට කැපවීමයි. එමනිසා ජාති, කුල, ආගම් භේද සියල්ල අමතක කර දමා එකා මෙන් අපේ ඉදිරි අනාගතය වාසනාවන්ත කර ගැනීමට කැප වෙමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා