අපේ දුර්වල පාලනය නිසා කොටියා අංක එකට ආවා

අපේ දුර්වල පාලනය නිසා කොටියා අංක එකට ආවා

- මහාචාර්ය රොහාන් ගුණරත්න

එක්සත් රාජධානියේ ශාන්ත ඇන්ඩෲ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ත්‍රස්තවාදී පර්යේෂණ හා දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා වන මහාචාර්ය රොහාන් ගුණරත්න සිංගප්පූරුවේ නැං යෑං තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්ද වෙයි. ත්‍රස්තවාදයට එරෙහි ක්‍රමෝපාය පිළිබඳ ඊශ්‍රයලයේ අන්තර්ජාතික ආයතනය ඇතුළු ආයතන ගණනාවක ද සාමාජිකයකු වන මහාචාර්ය ගුණරත්නයන් ලංකාවේ පශ්චාත් යුද සමය පිළිබඳ කරන අදහස් දැක්වීමකි මේ.

බලපෑම් කණ්ඩායම් තම අරමුණු සඳහා පොළඹවා ගැනීමට ප්‍රචාරණය භාවිත කරයි. ත්‍රස්තවාදී කණ්ඩායම් තම දේශපාලන අරමුණු හා පරමාර්ථ ළඟාකර ගැනීම සඳහා භාවිත කරන්නේ ත්‍රස්ත ක්‍රියා ය. ඒ සඳහා ඔවුන් සිවිල් වැසියන් ඝාතනය කිරීමටද පෙළැඹේ. මේ තත්ත්වය අපට ශ්‍රී‍්‍ර ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීත්වය ආශ්‍රයෙන් මැනවින් වටහා ගත හැකිය. ත්‍රස්තවාදය දුර්වල සමාජ කණ්ඩායමක දේශපාලන ප්‍රකාශනයක් නිසා ශිෂ්ට සමාජය එය ප්‍රතික්ෂේප කරයි.

ලෝකයේ ත්‍රස්ත කණ්ඩායම්හි බිහිවීම දෙස විමර්ෂණාත්මකව බලන විට එලෙස දේශපාලන අර්බුද ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් දක්වා වර්ධනය වන්නේ දුර්වල පාලන තන්ත්‍ර බලයට පත්වීමේ ප්‍රතිඵලයක් නිසා බව පෙනී යනු ඇත.

කැරලිකාරීත්වයේ නැඟීම හා බැසීම පිළිබඳ ජීවමාන පර්යේෂණාගාරයක් ලෙස අන්තර් ජාතික ප්‍ර‍්‍රජාවට ශ්‍රී ලංකාවේ අත්දැකීමෙන් බොහොමයක් පාඩම් ලෙස ඉගෙන ගත හැක. විශේෂයෙන්ම සිවිල් ජනතාවට එරෙහිව සන්නද්ධ කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය වපුරන විට එයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගැනීමට පාඩමක් අන්තර්ජාතික ප්‍රජාවට ඇත. ත්‍රස්තවාදී සංවිධානවල සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හා ඒවායේ අභ්‍යන්තරය පිළිබඳ දැන ගැනීමටද මෙම අත්දැකීම ප්‍රයෝ්ජනවත්ය.

අප ත්‍රස්තවාදයෙන් තොර ලෝකයක් බලාපොරොත්තු වන්නේ නම් ත්‍රස්තවාදය මතුව ඒමට බලපෑ හේතු හඳුනාගෙන ඒවාට ස්ථිරසාර විසඳුම් ලබාදිය යුතුය.

පුද්ගලික හා පටු වුවමනා

ත්‍රස්තවාදී කණ්ඩායම් අතරින් 95% ක් පමණ මුල් බැසගෙන ඇත්තේ දකුණු ආසියාව, අපි‍්‍රකාව, මැදපෙරදිග හා ලතින් අමෙරිකාව මුල් කරගෙනය. එම ත්‍රස්ත සංවිධානවල ස්වරූපය රටින් රටට වෙනස් වුවද ඒවා සියල්ලෙහිම මූල බීජය පවතින්නේ බලයට කෑදර නායකයින් ජනවාර්ගිකත්වය හා ආගම පදනම් කරගෙන ගොඩනඟන ලද මතවාද මතය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද එබඳුමය. පුද්ගලික හා පටු දේශපාලන වුවමනාවන් සඳහා සිංහල හා දෙමළ දේශපාලන නායකයෝ දෙකොටසම මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත්හ.

ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් බොහෝ ජාතීන්ට වඩා සාක්ෂරතාවයෙන් ඉහළ තැනක සිටියද මෙරට පුරවැසියන්ගෙන් කොටසකට උපාය මාර්ග පිළිබඳ ඇත්තේ දුර්වල අවබෝධයකි. පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය හරහා විධිමත් හා අවිධිමත් ලෙස සාමයෙන් හා එක්සත් භාවයෙන් යුක්ත සංස්කෘතියක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳ සමාජයට පූර්ණ වශයෙන් දැනුමක් ලබාදීමට ඉහත ආයතන අසමත් වී ඇත.

සමාජීය, ආර්ථික හා දේශපාලන වශයෙන් කොන් වී සිටින දුර්වල ජනතාව ජනවාර්ගික හා ආගමික උප්පරවැට්ටිවලට ක්ෂණිකව ගොදුරු වෙති. මෙරට බලලෝභියෝ සිංහල හා දෙමළ අන්තවාදී නායකයින්ගේ ගොදුරක් බවට දකුණේ ජවිපෙ සහ උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. යේ තරුණයෝ ගොදුරු වූහ. ඉවසීම, මධ්‍යස්ථභාවය හා සහජීවනය අගයන සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් නොතිබුණු විජේවීර හා ප්‍රභාකරන් යන නිවුන් දෙදෙනා ලාංකීය සමාජය විනාශකාරී මාර්ගයකට ගෙන ගියහ.

බොහෝ දෙමළ නායකයින් දෙමළ වුවමනාවන් ගැනද සිංහල නායකයින් සිංහල වුවමනාවන් ගැනද කතා කිරීම නවත්වා ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට අවශ්‍යය පදනම සකස් කළයුතුය. එසේම විවිධ ආගම් හා විවිධ ජාතීන් ජීවත්වන රටක සංවේදී කරුණක් වන ආගම හා වාර්ගිකත්වය දේශපාලන අරමුණු සඳහා භාවිතා කරන්නන්ට එරෙහිව නෛතික ප්‍රතිපාදන සම්පාදනය කළයුතුය. එලෙස කිරීමෙන් අනාගතයේදී ත්‍රස්තවාදී ව්‍යාපාරයක් මතුවීමට ඇති ඉඩකඩ අවම කළ හැක.

ශ්‍රී ලාංකික අනන්‍යතාව

සිංහල සහ දෙමළ නායකයන් සමස්ත ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටීමෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නැවත ගොඩනඟා ගත හැක. සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ ප්‍රබල වගකීමක් සිංහල මහජාතියට ඇත. ඔවුන් අවශේෂ දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජාතිකයන් වෙත සමීප වීමට සාර්ථක උත්සාහයක් ගත යුතුය. අප මෙහිදී මතක තබා ගත යුත්තේ යම් ජාතියක් සුළුතරයට සලකන ආකාරය අනුව එම ජාතියේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේය යන ආත්තෝපදේශයය. පාර්ලිමේන්තුව ශ්‍රී ලාංකික අනන්‍යතාවකින් යුත් ජාතියක් ගොඩනැගීම සඳහා වාහකයන් විය යුතුය.

ප්‍රභාකරන් තරුණ කාලයේදී ඔහුගේ මනසට විෂ කැවූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින්ය. එතරම් අධ්‍යාපනයක් නොලත් නූගත් පුද්ගලයකු වූ ප්‍රභාකරන් යොදවා යාපනයේ පුරපති වූ ඇල්්ප්‍රඩ් දුරෙයිඅප්පා සහ අනෙකුත් ඔවුන්ගේ දේශපාලන සතුරන් ඝාතනය කිරීමට පෙළැඹවූයේ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් හා ඔහුගේ බිරිඳය.

ඉන් අනතුරුව ඉන්දියානු විදේශ ඔත්තු සේවයක් වන රෝ (අඒඑ) සංවිධානය ප්‍රභාකරන් ඔවුන්ගේ ඉත්තෙක් ලෙස යොදාගෙන ඔහු පාලනය කිරීමට උත්සාහ කළේය. ප්‍රභාකරන් ශක්තිමත් ලෙස වැඩුණු පසු ඔහු ද්‍රඑවිපෙ හෝ රෝ සංවිධානයට අභිමත ලෙස පාලනය කළ නොහැකි විය. අවසානයේදී රජීව් ගාන්ධි අගමැතිවරයා සහ ද්‍රඑවිපෙ නායකයින් ඝාතනය කිරීමට නියෝග කළේද ඔවුන් වර්ධනය කළ දරුවා වූ ප්‍රභාකරන්ය.

ලෝකයේ වෙනත් කිසිම රටක කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට කළ නොහැකි වූ ආකාරයට එල්.ටී.ටී.ඊ. ය මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෝ ගණනාවක් ඝාතනය කළහ. ආර්. පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුªළත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර්, නීලන් තිරුචෙල්ලම්, රන්ජන් විජේරත්න, සී. වී. ගුණරත්න, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැනි නායකයෝ ඔවුන් අතර වෙති. ඊට අමතරව ඔවුහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියද ඝාතනය කිරීමට උත්සාහ කළහ.

එල්.ටී.ටී.ඊ. යේ තර්ජනය පිළිලයක් ලෙස මතුවන විට එම තර්ජනයට මුහුණ දීම සඳහා සමහර මෙරට ආණ්ඩු සහ මඟ වරදවා ගත් නායකයෝ ජාත්‍යන්තර බලපෑම් මත එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්මුතිය ගොඩනගා ගැනීමට උත්සාහ කළහ.

ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, චීනය, මැලේසියාව වැනි රටවල්වලින් ලබාගත් තාක්ෂණයේ ආධාරයෙන් හා බහුලව යොදාගත් කොරියානු ආයුධවල ශක්තියෙන් එල්.ටී.ටී.ඊ යට කාලාන්තරයක් ගත වන විට ගරිල්ලා රාජ්‍යයක් ගොඩනගාගත හැකි විය.

මෙම ක්‍රියාදාමය නැවැත්විය හැකි වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සංවිධාන කළ බුද්ධි අංශයන්ට එල්.ටී.ටී.ඊ යේ ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය අඩපණ කළ හැකි වූ නිසාය. එල්.ටී.ටී.ඊ. රහස් ක්‍රම භාවිතා කොට සුවිශේෂ ආයුධ මිලදී ගැනීමට උත්සාහ කළ බව හෙළිදරව් වීමෙන් පසු බටහිර රටවල්ද ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට සහය දැක්වීමට ඉදිරිපත් වූහ.

1983 සිට 87 දක්වා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට අනුබලය දැක් වූ ඉන්දියාව,රජීව් ගාන්ධි ඝාතනය කිරීමෙන් අනතුරුව එහි සැබෑ ස්වරූපය තේරුම් ගෙන ඔවුන්ට දැක් වූ සහයෝගය නවත්වා දැම්මේය. 2005 දී බලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය එල්.ටී.ටී.ඊයට එරෙහිව යුදමය ව්‍යයාමයේදී මෙම සාධක මැනවින් හසුරුවමින් ඉන්දියානු සාධකය පාලනය කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ ගොඩනගා තිබෙන සබඳතාව මැනවින් කළමනාකරණය කිරීම ඉදිරියේදීද කළයුත්තේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ ගොඩනැගීමට අපොහොසත් වූ දෙයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගීමට උත්සාහ දරන තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ නායකයෝ පිරිසක් සිටිති. එනිසා ඉතා දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙක් චෙන්නායි ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද ඔහුට නොදෙවෙනි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් දිල්ලි නගරයටද ශ්‍රී ලංකා අණ්ඩුව විසින් පත් කළ යුතුව ඇත.

චීනය හා පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාවේ පවතින බැඳීම් පිළිබඳ ද ඉන්දියාව සැළකිලිමත් වේ. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විශේෂ සබඳතාවක් පවතී. එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ ශ්‍රී ලංකා හමුදා බලය අභිබවා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවන් නිරුපද්‍රිතව ආපසු කොළඹට ගෙන ඒම සඳහා නාවික පහසුකම් සැපයීමට ඉන්දියාව ඉදිරිපත් වූයේය.

කෙසේ වෙතත් පාකිස්තානයේ මුෂාරෆ්ගේ පාලනය යටතේදී ශ්‍රී ලංකාවට මානුෂික මෙහෙයුම් සඳහා අවශ්‍ය මල්ටි බැරල් රොකට් විඳිනයක් ලබා දෙමින් ආරක්ෂක හමුදාවන්ගේ ශක්තිය වර්ධනය කිරීමට ඔවුහු සහය වූයේය. චීනයද ලෝක බලවතුන්ගේ මට්ටමට ගොඩනැගී ඇති නිසා ශ්‍රී ලංකාව ඔවුන් සමඟ මිත්‍රත්ත්වය වර්ධනය කර ගැනීම කිහිප ආකාරයකින් වාසිදායක වන්නේය. එනමුත් එහිදී කෙළෙසකවත් ඉන්දියාව සමඟවන සබඳතාව අමතක නොකළ යුතුය.

එමෙන්ම බටහිර සමඟ වන මිත්‍රත්වය එයින්ද විශේෂ වශයෙන්ම අමෙරිකාව හා යුරෝපා හවුල සමඟ පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය වඩා වර්ධනය කරගත යුතුය.

එල්.ටී.ටී.ඊ සංවිධානය මුළුමනින්ම අභාවයට ගොස් ඇතත් විදේශයන්හි ඉතිරිව සිටින එහි සමහර නායකයෝ හා හිතවත්තු විදේශයන්හි එය යළි පණගැන්වීමට උත්සාහ කරති. ඔවුන්ගේ බලපෑම මත එම සංවිධානයේ පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වූ සමහර මානුෂවාදී මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා සංස්කෘතික, සමාජීය, සුබසාධන, පුණ්‍යායතන ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් මෙරටට එරෙහිව මානව හිමිකම් චෝදනා නගයි. බටහිර සමහර පුවත්පත් හා මාධ්‍යවේදීහුද ඒ සඳහා උපක්‍රමික ලෙස මෙහෙය වති.

මෙරටට එරෙහිව මෙලෙස ත්‍රස්තවාදය උඩගෙඩි දෙන ලියන සහ කතාකරන පිරිස් අතර කෑදර නීතිඥයෝ කිහිපදෙනෙක් සහ රස්තියාදුකාර රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිපදෙනෙක් සිටිති. එම පෙරමුණු ඔවුන් මිලදී ගෙන ඇත.

මෙලෙස ඔවුන් කෙතෙක් උත්සාහ කළද ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය සමඟ පවතින සබඳතාවයේ පළුදු වීමක් සිදු වී නැත. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රචාරක කටයුතුවලට වාසිවන අයුරින් අතලොස්සක් වූ බටහිර ලෝකයේ සමහර රටවල නායකයන් යම් යම් ප්‍ර‍්‍රකාශ නිකුත් කළද රාජ්‍යයන් අතර වන අන්‍යෝන්‍ය සබඳතාවන්ට හානිවීමකින් තොරව එම තත්ත්වය නවත්වා ගත හැකිවීම යහපත්ය.

එල්.ටී.ටී.ඊ. ය ශ්‍රී ලංකාවට එරෙහිව මානව අයිතිවාසිකම් චෝදනා නැඟීමේ පසුබිම වටහා ගැනීමට ඊට අතිරේක කරුණක්ද වැදගත්වේ. එනම් බටහිර ලෝකයේ ආගම, මානව අයිතිවාසිකම් බව එල්.ටී.ටී.ය හොඳින් දනියි. ඒනිසා එය සක්‍රීයව පැවැති අවදියේ ඔවුන්ගේ අරමුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් එම කටයුතු සඳහා යෙදවීය.

එල්ටීටීඊය ට ඔවුනගේ මුදල්වල අනුහසින් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව මානව අයිතිවාසිකම් චෝදනා නැගීම සඳහා සහායක කණ්ඩායම් යොදවා ගත හැකි විය. ඔවුන් මෙලෙස ක්‍රියාත්මක වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පෙරමුණු හරහාය. මෙම අවාසනාවන්ත තත්ත්වය වෙනස් කිරීමට ශශ්‍රී ලංකා රජයට ප්‍රමාණවත් සහයක් 2009 දක්වාම විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් නොලැබීම ඛේදජනකය. ඔවුනට භූමියේ පවතින යථාර්ථයන් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැත.

තවදුරටත් එල්.ටී.ටී.ඊ තර්ජනයක් නොමැති බව සිතමින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම අමනෝඥ කමකි. එල්.ටී.ටී.ඊ යේ ක්‍රියාකාරිත්වයක් තවදුරටත් නොමැති වුවත් එය යළි කිසි දිනෙක නැගිට්ටවිය නොහැකි ලෙස භූමදානය කොට ඇතත්, එම සංවිධානයට ආධාර කරන හා ඊට හිතවත් විදේශගත පුද්ගලයන් නඟන මානුෂවාදී චෝදනාවල අවසන් වීමක් සිදු නොවී ඇත. එම නිසා එම චෝදනාවලට ශක්තිමත් ලෙස මුහුණදීමේ අවශ්‍යතාව තවදුරටත් වැදගත් වන්නේ ය.

මානව හිමිකම් චෝදනා පසුපස යමින් බටහිර රාජ්‍යයන් ආධාර කපා හැරීම්, විවිධ කොන්දේසි මෙරටට එරෙහිව ඉදිරිපත් කරමින් සිටියි. විදේශගත ප්‍රබල රාජ්‍යයන් ගෙන් සමහර ආර්ථික සහන මෙම කනගාටු දායක හේතුමත නොලැබීයාම ශශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට දැරීමට අපහසුය.

ලෝකයේ ඉතාමත් විනයානුකූල හමුදාවක් වන ශශ්‍රී ලංකාවේ හමුදා කිසිවිටෙකත් වුවමනාවෙන් සිවිල් වැසියන් ඉලක්ක කිරීමක් සිදු කොට නොමැත. එල්ටීටීඊ ය විසින් පාලනය කරනු ලැබූ ප්‍රදේශයන්ගෙන් ශ්‍රී ලංකාවේ හමුදා විසින් නිදහස් කරගන්නා ලද දෙමළ වැසියන් සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡා මේ බව මැනවින් තහවුරු කරයි.

ත්‍රස්තවාදයට එරෙහිව කරන මෙහෙයුමකදී ඇෆ්ගනිස්තානයේ හෝ ඉරාකයේ මියගිය හෝ තුවාල ලැබූ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාවට කිහිප ගුණයකින් අඩු සිවිල් වැසියෝ සංඛ්‍යාවක් මෙරට මෙහෙයුම් වලදී තුවාල ලැබූහ. එම පිරිස වුවද තුවාල ලැබුවේ එල්.ටී.ටී.ඊය ඔවුන්ගේ රැකවරණය සඳහා සාමාන්‍ය ජනතාව ආරක්‍ෂක පළිහක් ලෙස භාවිතා කළ නිසා ය.

ආරක්‍ෂක හමුදාව

යුද්ධය තීව්‍ර වූ මොහොතේ දී එම සංඛ්‍යාව අතිශෝක්තියෙන් කියා පෑමට එල්.ටී.ටී.ඊය ඔවුනගේ පාලනය යටතේ සිටි වෛද්‍යවරයාට බලපෑම් කළේය. මේ බව පසුව තහවුරු විය. එල්.ටී.ටී.ඊ සංවිධානය ගෙනගිය මෙම ව්‍යාජ ප්‍රචාරයන් කෙරෙහි විශ්වාස තබා සමහර මානව අයිතිවාසිකම් කණ්ඩායම් විශාල ඝෝෂාවක් නැඟූහ. තමනට වැරදීමක් සිදුවී ඇති බව පිළිගැනීමට තවමත් ඔවුන් සූදානම් නැත.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සමහර සේවකයින් පසුගිය කාලය තුළදී එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්‍ෂපාතිව කටයුතු කර ඇති බැවින් පුනරුත්ථාපන කඳවුරුවලට ඔවුනට ඇතුළුවීමට අවසර දීම ඒවායේ පාලකයන් ප්‍රතික්ෂේප කොට ඇත. බටහිර රටවල් එල්ටීටීඊ යේ හිතවාදීන් ගෙන යන අභූත මානව හිමිකම් චෝදනා හා ඉහත ගැටලුකාරී තත්ත්වය භාවිතකොට රජය විසින් ගෙන යනු ලබන පුනරුත්ථාපන වැඩසටහන් සඳහා ජාත්‍යන්තර අරමුදල් ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇත.

පුනරුත්ථාපන කඳවුරුවල සිටින නේවාසිකයන් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙනු ලැබූ සහනාධාර අමෙරිකානු ආධාර ගඋඉ ඒධ්ච්ඝ සංවිධානයේ බලපෑම මත නවතා දැමු විට තිස් අවුරුද්දක් තිස්සේ එල්ටීටීඊ ය සමඟ යුද වැදුණු ශශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවෝ තම ආහාර සලාකය එම නේවාසිකයන් වෙනුවෙන් කැප කිරීමට තරම් පරිත්‍යාගශීලී වූහ. එමඟින් එම එල්.ටී.ටී.ඊ සැකකරුවන් හා ආරක්‍ෂක හමුදා අතර වූ අන්‍යොන්‍ය සබඳතාව ස්ථිර සාර මිත්‍රත්වයක් බවට වර්ධනය විය. ප්‍රශංසාවට ලක් විය යුතු දැනට අත්අඩංගුවේ පසුවන ත්‍රස්තවාදීන් යහපත් පුරවැසියන් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසිනි.

ශශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව සහ බුද්ධි අංශය රට තුළත් විදේශ රටවලත් ඉතා ප්‍රබලය. මෙතරම් බරපතළ විනාශයකින් පසුත් විදේශයන් හි සිටින බලතණ්හාවෙන් පෙළෙන දෙමළ නායකයෝ කිහිප දෙනෙක් එල්ටීටීඊ යට නැවත පණ දීමට උත්සාහ කරති. ඔවුනට අවශ්‍යව ඇත්තේ වෛරය හා කෝපය දේශපාලනීකරණය කිරීමට ය. කැඩී බිඳී ගිය පාලම් නැවත ඉදිකරවා සමගි සන්ධානයක් තුළින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවට ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත මාවත ඉදිරියට ගෙනයාම ඔවුනට අවශ්‍ය වී ඇත.

“දේශ සීමාවන් ගෙන් තොර රාජ්‍යයක්” යන එල්ටීටීඊ යේ පාරජාතික රාජ්‍යයක් ගොඩනැඟීමේ ප්‍රචාරය අමූලික බොරුවකි. රටින් බැහැර මනෝරාජික රාජ්‍යයක් ගොඩනැගීමේ ඔවුනගේ මෙම අදහසට සහය දක්වන කිසිදු ශශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක් නැත. එම අදහසට සහය දක්වන්නේ යළි කිසි දිනෙක ආපසු පදිංචියට මෙරටට නොපැමිණෙන කැනේඩියානු, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු හා වෙනත් රටවල පුරවැසියන් වී සිටින දෙමළ ජාතිකයන් සහ තවත් අතලොස්සක් වූ විදේශිකයන් කිහිප දෙනෙකි. ඔවුන්ට මෙම විහිළුව ස්ථිරසාරව පවත්වාගෙන යාමට අනෙකුත් දෙමළ ප්‍රජාවෙන් කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැත.

ජනතා බිල්ල

විදේශගත දෙමළ ප්‍රජාවගෙන් බහුතරයකට ඇත්තේ තමන්ගේ පෞද්ගලික ජීවිතය සැපවත් කර ගැනීමට හා තම දූ දරුවන්ගේ ජීවිතය යහපත් කර ගැනීම පිළිබඳ බලාපොරොත්තුය. එම නිසා රටින් පිටත රාජ්‍යක් පිහිටුවීමේ උත්සහයට සහය දක්වන්නේ විදේශගත උන්මත්තකයන් කිහිප දෙනකු පමණි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයන් ලක්‍ෂ තුනකට ආසන්න දෙමළ ජනතාවක් නොමඟ යවා බිල්ලට ගත් බව ඔවුනට තවම අමතක වී නැත. එමෙන්ම යුද්ධය තීව්‍ර ලෙස ඇදී ගිය මොහොතේදී සිය ජීවිත රැකගැනීම සඳහා සාමාන්‍ය ජනතාව පළිහක් ලෙස යොදාගත් ආකාරය ද තවමත් ඔවුනට අමතක වී නොතිබිය යුතුය.

විනාශකාරී එල්. ටී. ටී. ඊ. යේ ප්‍රචාරක කටයුතුවලින් ඊළඟ දෙමළ පරම්පරාව බේරාගෙන බහුවිධ සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රජයේ වගකීම වෙයි. ඒ අතරම ශත වර්ෂ ගණනාවක් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහයෝගයෙන් කටයුතු කළ බව ඔවුනට මතක් කර දිය යුතු අතර එම උරුමයට නැවත පණ දිය යුතුය. ප්‍රභාකරන් අපේ සමාජය බෙදා වෙන්කිරීමෙන් අනතුරුව මෙම සම්ප්‍රදාය බිඳී ගියේය.

මෙම සියලු ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද දසලක්‍ෂයකට ආසන්න දෙමළ ජනතාවක් බහුතර සිංහල ජනතාව හා සම්මිශ්‍රව දකුණේ ජීවත් වෙති. එයට අමතරව වර්තමානය වන විට ශ්‍රී ලාංකීක රාජ්‍යයට එරෙහිව සන්නද්ධ අරගලයට පිවිසුණු කණ්ඩායම් හතරක් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට පිවිස ඇත. ඒවා යහපත් වර්ධනයන් ය. ඔවුන්ගෙන් සමහර දෙනකු රජයේ අමාත්‍යවරු වශයෙන් කටයුතු කරන අතර තවත් සමහර දෙනෙක් රජයේ ජ්‍යෙෂ්ඨ නිලතල හොබවති.

දැනට අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් යහපත් පුරවැසියන් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමය අවසන් වීමෙන් පසු ක්‍රමානුකූ®ලව දැනට රඳවා තබාගෙන සිටින සැකකරුවන් හෝ රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙතින් නිදහස් කොට ඔවුනට අවශ්‍ය රැකියා පහසුකම් ලබාදිය යුතුය. ත්‍රස්තවාදය පැන නැගීමට දේශපාලන හේතුවලට අමතරව ආර්ථික හේතු ද බලපාන නිසා දීර්ඝ කාලීන සංහිඳියාවක් ඇතිකිරීමට එම හේතු ඉවත් කිරීම ද සිදුවිය යුතුය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා