යුද බිමේ සෙන්පතියෝ

යුද බිමේ සෙන්පතියෝ

උතුරු මානුෂීය මෙහෙයුම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ම දෙවන නිදහස උරුම කර දුන් දැවැන්ත සටනයි. 1948 පරදේශක්කාරයන්ගෙන් මේ රට නිදහස් කර ගැනීමට හැකිවිය. 70 දශකයේ ආරම්භ වූ ත්‍රස්තවාදී අරගලය තුළින් මෙරට ජනතාවගේ නිදහස යළි නැතිවීම ආරම්භ විණි.

දශක තුනක පමණ කාලයක් දහස් සංඛ්‍යාත අහිංසක මිනිස් ජීවිත ත්‍රස්තවාදියාගේ කැත්තට, පිහියට වෙඩි උණ්ඩයට, බිම් බෝම්බයට, බිලිවිය. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට එම කාලය පුරාම බලයට පත් වූ නායකයෝ උත්සාහ ගත්හ. ඇතැම් පිරිස් ත්‍රස්තවාදීහු පෝෂණය කළහ.

තවත් අය යුද්ධය වවාගෙන කමින් ධන කුවේරයන් බවට පත්වූහ. මෙසේ දේශීය හා ජාත්‍යන්තර බලවේගවල උදව් උපකාර ද ඇතිව ම්ලේච්ඡත්වය තුළින් තම ශක්තිය ලොවටම පෙන්වමින් වැජඹෙමින් සිටි ගරිල්ලා නායක ප්‍රභාකරන් විනාශ කිරීමට කිසිවකුටත් නොහැකි බවට මතයක් ගොඩ නැගී තිබිණි.

එවන් යුගයක ඍජු නායකත්වය ස්ථිර අධිෂ්ඨානය අවංක ජාත්‍යාලය සහ නොසැලෙන ශක්තියකින් යුත් නායකත්වයකට රට බාර කෙරිණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ය. සේනාධිනායකයා වශයෙන් එතුමා ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට ගත් ස්ථිර තීරණයට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ සහාය ද ලැබිණි.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදී අවසන් සටන ආරම්භ කළේ මාවිල්ආරුවෙන් ය. නැගෙනහිර විජයග්‍රහණයෙන් පසු උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ විය. උතුරු ප්‍රදේශය පැති ගණනාවකින් ආවරණය කරමින් බලසේනාංකාධිපතිවරු පස් දෙනකුගේ නායකත්වයෙන් උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ කෙරිණි.

එම මෙහෙයුම විජයග්‍රහණය කළේ නන්දිකඩාල් කළපුවේ දී ප්‍රභාකරන් ප්‍රමුඛ සමස්ත කොටි නායකත්වයම සමූල ඝාතනය කරමින් ත්‍රස්තවාදයට නැවතීමේ තිත තබමින් ය.

එම දැවැන්ත විජයග්‍රහණය කරා යන හමුදා බළසේනාංකවලට නායකත්වය දුන් නියමුවන් වූයේ මේජර් ජෙනරාල්වරුන් වන ජගත් ඩයස්, කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, නන්දන උඩවත්ත සහ ප්‍රසන්න සිල්වා යන හමුදා නිලධාරීන් ය.

එම සෙන්පතියන් සමඟ මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ, ජගත් ජයසූරිය (දැනට යුද හමුදාපති) බ්‍රිගේඩියර් සුමිත් මානවඩු, බ්‍රිගේඩ්‍රියර් රෝහණ බංඩාර සහ ජනප්‍රිය ලියනගේ ඇතුළු සියලුම බළසේනාංකවල රණවිරුවෝ ෂජයග්‍රහණයට කැපවූහ.

සහෝදරත්වය, විශ්වාසය ස්ථිර අධිෂ්ඨානය සහ කැපවීම තුළින් ලබා ගැනීමට හැකි වූ විශිෂ්ඨතම විජයග්‍රහණය වූයේ උතුරු මානුෂීය මෙහෙයුමයි.

ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවම එකට එක්ව දියත් කළ අවසාන මෙහෙයුම වූ උතුරු මානුෂීය මෙහෙයුම තුළින් රටට සාමය උදා වී අදට වසරකි. ඒ නිමිත්තෙන් බලසේනාංකාධිපතිවරු කිහිපදෙනෙක් අප සමඟ අදහස් දැක්වූහ.

මේජර් ජෙනරාල්

ශවේන්ද්‍ර සිල්වා

සමඟියේ ශක්තිය තුළින් කළ නොහැක්කක් නොමැත.’ එය මම යුද බිමේ මගේ සහෝදර සෙබළුන් ජයග්‍රහණය කරා යොමු කරන්න සංකලනය කර ගත්තා. පසුගිය මානුෂිය මෙහෙයුමේදී ඔවුන් එය ඔප්පු කර පෙන්නුවා. වසර තිහක් තිස්සේ කරන්න බැරිව තිබූ දෙයක් අපි එකමුතුව සිදු කර පෙන්නුවා.

බටහිර මුහුදේ මන්නාරම් සහල් නැළියෙන් පටන්ගත් සංග්‍රාමය මා නැගෙනහිර වෙල්ලමුල්ල වෛක්කාල් මුහුදු තීරයේ අවසන් එල්. ටී. ටී. ඊ. බිම අඟලක් අල්ලා ගන්නා තෙක් මා සමඟ සටනට උරදුන් සියලු සෙබළුන් හා විශේෂයෙන් සටනින් දිවිදුන් හා අත් පා ශරීර අවයව අහිමිව ගොස් සදාකාලික හා අර්ධ ආබාධිත තත්ත්වයට පත් සහෝදර සෙබළුන් ඔවුන්ගේ දයාබර බිරියන් දූ පුතුන් මා භක්තියෙන් යුතුව මෙනෙහි කරනවා. 58 සේනාංකය වෙනුනේ ආශිර්වාද උපකාර කළ දයාබර ශශ්‍රී ලාංකික ජනතාව වෙත මාගේ ගෞරවය පුද කරනවා. යුද ජයග්‍රහණයේ වර්ෂ පූර්ණය ඒ පිළිබඳ ආපසු හැරී බැලීමට හොඳම කාලයයි.

මේජර් ජෙනරාල්

කමල් ගුණරත්න

උතුරු මානුෂීය මෙහෙයුම හෙවත් 4වැනි ඊළාම් යුද්ධයෙන් බේරාගත්තේ උතුරු නැගෙනහිර ජනතාව පමණක් නොවේ. සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ ත්‍රස්තවාදී ග්‍රහණයේ තබාගෙන ත්‍රස්තවාදය ව්‍යාප්ත කළත් දකුණේ සෙසු ප්‍රදේශවලත් ත්‍රස්තවාදී භීෂණය ව්‍යාප්තවී තිබිණි. එම නිසා උතුරු මානුෂීය මෙහෙයුම තුළින් රටපුරා ව්‍යාප්ත වී තිබූ ත්‍රස්තවාදී ක්‍රියා සියල්ලක්ම නැත්තටම නැතිවී ගියා. මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ අවසානයෙන් පසු මේ දක්වා රටේ කිසිදු ප්‍රදේශයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවූයේ නැහැ. එය මෙරට ජනතාව ලැබූ ලොකුම ජයග්‍රහණයයි.

රටේ ආරක්ෂාව තහවුරු කළ යුද හමුදාව දැන් රට ගොඩ නැඟීමේ කර්තව්‍යයට උරදී සිටිනවා. උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලට ජාතිය ගොඩනැගීමට ඔවුන්ගේ දෑතේ ශක්තියද එක්වෙන අතර උතුරු නැගෙනහිර ජනතාවගේ ආරක්ෂාවේ වගකීමද හමුදාව මගින් සිදුවෙනවා.

එදා උතුරු මානුෂීය මෙහෙයුම අවස්ථාවේ බාර වූ හා අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයන් යහපත් මිනිසුන් බවට පත් කිරීම සහ ඔවුන් පිළිබඳ සොයා බැලීමේ වගකීමද අප සතුයි. මේ සියලු වගකීම ඉතා කැමැත්තෙන් කැපවීමෙන් ඉෂ්ඨ කරගෙන යන අතර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වගකීමෙන් වැඩකර විශාල සේවයක් කළ රටට ජාතියට ණය නැති යුද හමුදාවේ සාමාජිකයෙකු වීම ගැන ආඩම්බර සතුටක් විදිනවා.

මේජර් ජෙනරාල්

චාගි ගාල්ලගේ

වසර 30ක පමණ කාලයක් මේ රට තුළ පැවැති ත්‍රස්තවාදය අවසන් කර හමුදාව ලද විශිෂ්ට ජයග්‍රහණය තුළින් රට සෞභාග්‍ය කරා යන ගමනක ආරම්භය ඉතාමත් පැහැදිලිව දක්නට ලැබී තිබෙනවා. මේ යන ගමනේදී ජාතික ආරක්ෂාව කෙසේ වත් අපට අමතක කළ නොහැකි කරුණක් ලෝක ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට මැදිහත්ව සිටිනවා. ඒ අතරින් මේ රට ත්‍රස්තවාදය අවසන් කළත් යළි රට තුළ ත්‍රස්තවාදයක් ඇති නොවන තැනට කටයුතු කිරීමට විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි.

එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ඇති එකම යාන්ත්‍රණය ආරක්ෂක අංශයි. ඒ අතරින් යුද හමුදාවට සුවිශේෂී කාර්්‍ය භාරයක් පැවරී තිබෙනවා. යුද්ධයේ දී යුද හමුදාව විශිෂ්ට කැපවීමක් සිදු කළා මෙන්ම ඉදිරියටත් රටේ ජාතියේ ආරක්ෂාව සඳහා විශේෂ වගකීමක් පැවරී තියෙනවා.

රටක ත්‍රස්තවාදය අවසන් වූ පමණින් තර්ජන අවසන් වන්නේ නැහැ. රටේ දීර්ඝකාලීන සංවර්ධනයක් කරා යන මේ ගමනට විශේෂයෙන් තිබිය යුත්තේද ආරක්ෂාවයි. සතුරා කොයි මොහොතේ කෙතනදී ඇතිවේවිද අපට කිව නොහැකියි. ජාතික ආරක්ෂාව පැහැදිලි මාවතක තිබෙන්නේ නම් සතුරාට තම ආරමුණ යළි ඇතිකර ගැනීමට ඉඩක් නැහැ. එම නිසා යුද්ධය අවසන් වුවත් තර්ජන අවසන් යැයි ස්ථීර නිගමනයකට එළැඹිය නොහැකියි.

රටේ සංවර්ධනය කරා එක් පැත්තකින් ගමන් කෙරෙන විට තවත් පැත්තකින් ආරක්ෂක හමුදා තමා ලද අත්දැකීම් ලෝකයා තුළට ලබාදීමේ අවස්ථාව ඇති කර ගත හැකියි. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වැනි යුද සේවාවලට සම්බන්ධ වී සේවය කිරීමෙන් හමුදාවේ අත්දැකීම් පළපුරුද්ද තවදුරටත් ඔප මට්ටම් වෙනවා පමණක් නොව විශාල විදේශ විනිමයක්ද ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. එම කර්තව්‍යය හරි හැටි සිදුවේවි නම් දරුවන්ට හරි හැටි පිහිටක් නොමැතිව කාගේ හෝ ආරක්ෂාවකට දමා කාන්තාවන් මුදල් ඉපයීමට මැදපෙරදිග රටවලට පවා ගමන් කිරීමේ අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ.

ආරක්ෂක අංශ ජාතික ආරක්ෂාවේ වගකීම බාරගෙන ක්‍රියා කරන්නා සේම රටේ ජනතාවටත් මාධ්‍ය ඇතුළු අනෙකුත් සියලුම අංශ වලටත් විශාල වගකීමක් පැවරී ඇත. එනම් රටේ ආරක්ෂාව පවත්වාගෙන යාමට සහාය වීමයි.

ලෝක ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ වන බවත් දක්නට නොමැතියි. එහෙත් අප අවට ඇති බලගතු රටවල් හා එක්ව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට අප සහාය විය යුතුයි. එය අපේ වගකීමකි.

ත්‍රස්තවාදය අවසන් කිරීමේ සුවිශේෂී ජයග්‍රහණය තුළින් මෙරට ආරක්ෂක අංශ විශේෂයෙන් යුද හමුදාවේ අත්දැකීම් ලබා ගැනීමට විදේශීය ආරක්ෂක අංශ දැඩි කැමැත්තකින් පසුවෙයි. අපේ අත්දැකීම් තුළින් ඔවුන් දැනුවත් වන විට ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය විනාශ කර දැමීම බොහෝ දුරට සිදු කළ හැකියි.

ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය විනාශ කිරීම යනු අපේ රටට ඇති තර්ජනය යළි ඇතිවීමට ඇති ඉඩ කඩ විනාශ කර දැමීමයි. සතුරා අපේ නිවසට පැමිණි විට ඔහු විනාශ කරන්නට බලා නොසිට සතුරා සිටින තැනට සොයා ගොස් විනාශ කිරීම තුළින් යළි කිසි කලෙක මෙරටට ත්‍රස්තවාදී තර්ජනයක් ඇතිවීම වළක්වා ගැනීම පහසුවෙන් කළ හැකියි.

එම නිසා ත්‍රස්තවාදය අවසන් කර රට මහා සංවර්ධනයක් කරා යන ගමනේදී රටේ සෑම කෙනෙකුටම විශාල කාර්්‍ය භාරයක් පැවරී ඇත. එම කාර්්‍යභාරයන් අතර ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් බව කිව හැකියි.
 

මේජර් ජෙනරාල්

නන්දන උඩවත්ත

59 වැනි බළසේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාගේ බළ සේනාංකය ප්‍රථමයෙන්ම කොටි නායක ප්‍රභාකරන්ගේ හදවත බඳු මුලතිව් ප්‍රදේශයට පය ගැසීමේ ගෞරවය හිමිකර ගනී.

වැලිඔය ජානකපුර හරහා ඉතා දුෂ්කර ගමනක යෙදුන 59 වැනි බලසේනාංකය ලැබූ එම ජයග්‍රහණය නිසාම මුලතිව් ප්‍රදේශයේ ආඥාපති ලෙස නන්දන උඩවත්ත මහතා පත්විය. පසුව ඒ මහතා විදේශීය පුහුණු පාඨමාලාවක් සඳහා විදේශගතව සිටියි. උතුරු මානුෂීය මෙහෙයුමේදී සුවිශේෂී කැපවීමක් කර විජයග්‍රහණය කරා යාමට 59 බළ සේනාංකය කළ කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමු.

මේජර් ජෙනරාල්

ජගත් ඩයස්

උතුරු මානුෂීය මෙහෙයුමේදී 57 වැනි බළ සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් බලසේනාවයි.

උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිටම මඩු ප්‍රදේශය හරහා විශාල ප්‍රදේශයක් අත්පත් කර ගනිමින් ජයග්‍රාහි ඉලක්කය කරා ගමන්ගෙන විජයග්‍රහණයට එක්වූ එම සේනාංකය කොටි බළමුළු ගණනාවක් විනාශ කළහ.

ජෙනරාල් ජගත් ඩයස් මහතා මේ වනවිට විදේශගතව සිටී. ඒ මහතා දැනට යුද හමුදා සේවයේ යෙදී සිටියදීම විදේශීය තානාපති සේවයක යෙදී සිටියි. යුද ජයග්‍රහණය ලබා වසරක් සපිරෙන අවස්ථාවේදී ඒ මහතා සමඟ වූ 57 බළසේනාංකය කළ කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමු.

මේජර් ජෙනරාල්

ප්‍රසන්න සිල්වා

උතුරු මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වා අති විශාල කැපවීමක් කළ 55 බලසේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාය.

මානුෂීය මෙහෙයුමේ අවසන් සති කීපයයේදී සිවිල් වැසියන් බේරා ගැනීමේ දුෂ්කරම අවස්ථාවේදී කළපුව තරණය කර එම දැවැන්ත මෙහෙයුම සිදු කිරීමට කළ කැපවීම නොවන්නට සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ජීවිත අනතුරට පත්වීමට ඉඩ තිබිණි. ජෙනරාල් ප්‍රසන්න සිල්වා දැනට ත්‍රිකුණාමල ප්‍රදේශයේ දැවැන්ත කර්තව්‍යයක යෙදී සිටියි.

යුද්ධයෙන් පසු එම බළ සේනාංකයේ රණවිරුවෝ මේ වන වට රට සංවර්ධනය කිරීමේ සුවිශේෂී කර්තව්‍යයට සම්බන්ධවී සිටිති. ත්‍රස්තවාදය විනාශ කර රටට සාමය උදාවී වසරක් ගත වන මේ දිනයේදී 55 වෙනි බළ සේනාංකය ගෞරවයෙන් සිහිපත් කරමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා