ආසියාවේ ආශ්චර්ය කරන්න අපි සහාය දෙනවා

ආසියාවේ ආශ්චර්ය කරන්න අපි සහාය දෙනවා

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය

කොටි ත්‍රස්තවාදය පරාජය වී වසරක් ගතවීම නිමිත්තෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ. රටේ සංවර්ධන ක්‍රියාදාමයට ආරක්ෂක හමුදාවන්ගේ ඇති සහභාගිත්වය පිළිබඳව ද හමුදාපතිවරයා අප සමඟ අදහස දැක්වීය.

කොටි ත්‍රස්තවාදය පරාජය කර වසරක් ගත වෙනවා. මෙහිදී සුවිශේෂි කාර්යභාරයක් යුද හමුදාව විසින් සිදුකරනු ලැබුවා. යුද හමුදාපතිවරයා හැටියට මේ ගැන සඳහන් කළොත්?

අපි මාවිල්ආරුවෙන් මානුෂීය මෙහෙයුම ආරම්භ කරන කොට කොටි ත්‍රස්තවාදීන් කිසිදිනක හිතුවේ නැහැ අපේ හමුදාව යුද්ධය ජයග්‍රහණය කරයි කියලා. ඒත් වසර තිහක ත්‍රස්තවාදී ක්‍රියාදාමය වසර තුනකින් විනාශ කර දැමීමට අපට හැකිවුණා ඒ ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතිගේ නායකත්වය යටතේ. මෙය මුළු ලොවම මවිත කළ ජයග්‍රහණයක්.

කොටි ත්‍රස්තවාදීන්ගේ් ප්‍රබල ප්‍රදේශ යැයි කියා ගත් නැඟෙනහිර තොප්පිගල, වාකරේ, සාම්පූර් ඇතුළු සෙසු ප්‍රදේශ යුද හමුදාව විසින් අත්පත් කර ගත්තා. මේ ප්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා හමුදා සෙබලුන්, නිලධාරින් ඉමහත් කැපකිරීමක් සිදුකළා. ඇතැම් රණවිරුවන් ඔවුන්ගේ ජීවිත පුදකළා. තවත් පිරිසක් අත්පා ඇස් මේවා රට වෙනුවෙන් පූජා කළා. අප ඔවුන්ව සිහිපත් කළ යුතුයි.

නැඟෙනහිර පළාතේද අවසන් සටන් පවතින මොහොතේ කොටි ත්‍රස්තවාදීන් අහිංසක වැසියන් පවා ඇපයට ගෙන ඔවුන්ව පළිහක් කරගත්තා. එහෙත් අපගේ රණවිරුවෝ මෙම වැසියන්ට කිසිදු අනතුරක් සිදුනොකර ඔවුන්ව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත්තා. එය සුවිශේෂී ක්‍රියාවක්.

මානුෂීය මෙහෙයුම මින් නතර වුණේ නැහැ. උතුරේ කොටි ග්‍රහණයේ පවතින ප්‍රදේශ අත්පත් කර ගනිමින් කොටින්ගේ යුද පළිහක් වූ සිවිල් වැසියන් බේරා ගැනීම සඳහා වන්නි මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා හමුදාවට උපදෙස් ලබා දුන්නා. වන්නි මානුෂීය මෙහෙයුම සිලාවතුරෙන් ආරම්භ කළා. කොටි ත්‍රස්තවාදීන්ට හිතා ගන්න බැරි ප්‍රහාරයක් එල්ල කරමින් තමයි සිලාවතුර හමුදාව විසින් අත්පත් කර ගනු ලැබුවේ. මෙතැනින් ආරම්භ වූ වන්නි මානුෂීය මෙහෙයුම දිගින් දිගටම කොටි පරාජයට පත්කළා. කොටින්ගේ අවි ආයුධ රථවාහන ඇතුළු බොහෝ දේ හමුදාව විසින් අත්පත් කර ගනු ලැබුවා. ඉතිහාසයේ කවරදාකවත් එක්නොකෙරුණු සේනාංක සංඛ්‍යාවක් යුද්ධයට එක්කෙරුණා.

යුද හමුදා බුද්ධි අංශ විසින් සොයා ගත් තොරතුරු මත කොටින්ගේ ප්‍රබල ස්ථානවලට නිසිවේලාවට ප්‍රහාර එල්ල කෙරුණා. කොටි ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමවලට ප්‍රතිවිරුද්ධ උපක්‍රම යෙදීමට යුද හමුදාව කටයුතු කළා. කුඩා කණ්ඩායම් වැඩිපුර යොදමින් කොටින්ගේ ස්ථානවලට නොසිතු මොහොතේ ප්‍රහාර එල්ල කළා. යුද භූමියේදී කොටින්ට සංවිධානය වීමට ඉඩක් තැබුවේ නැහැ. කොටියාගේ සැපයුම් මාර්ග අවහිර කළා. මේ සඳහා යුද හමුදාවේ සියලු අංශ ඉතා අගනා මෙහෙවරක් ඉටුකළා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාවේ රණවිරුවන්ගේ මාසික වැටුප ඉහළ දමමින් සහන රැසක් ලබාදීමට ක්‍රියා කළා. මේ තත්ත්වය හමුදාපතිවරයා වශයෙන් දකින්නේ කෙසේද?

ඇත්තටම මේ සඳහා මා රජයට නැවතත් ස්තුතිවන්ත වෙනවා. අපගේ සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වැඩි වෙන්න මෙය බලපෑවා. ඇත්තටම වැටුප් විෂමතාවයන් නිවැරැදි කරන්නට කටයුතු කළා. මෙහෙයුම් පවතින ප්‍රදේශවල සිටින සෙබළුන්ට දුෂ්කර දීමනා රැසක් ලබා දුන්නා. යුද්ධයෙන් පසුවද ඒ දීමනාව සියලුම සෙබලුන්ට ලබාදෙන්න කියලා මා හමුදාපති වශයෙන් ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා. දැන් මේ වනවිට හමුදා සෙබළුන්ට එය ලැබෙනවා. මේ තත්ත්වය සතුටට කරුණක්. මේ රජය මුලින්ම පඩි වැඩි කළේ ත්‍රිවිධ හමුදාවේ. පසුව තමයි අනෙක් අංශවල පඩි වැඩි කළේ. රජය විසින් හමුදා සෙබළුන්ට ලබාදෙන බැංකු ණය ප්‍රමාණය වැඩි කළා.

මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙන මොහොතේ ඔබ වන්නි ආඥාපතිවරයා. ඔබ නිහඬ චරිතයක්. එහෙත් හමුදා භට පිරිස් එක්දිනකට කිලෝමීටර් හතරක් පහක් අත්පත් කර ගන්න තත්ත්වයට ඔබ ඔවුන් මෙහෙයවූවා. මෙහි රහස කුමක්ද?

ඇත්තටම මම වසර දෙකක කාලයක් වන්නි මෙහෙයුමට වන්නි ආඥාපතිවරයා වශයෙන් සම්බන්ධ වුණා. ඒ 2007 අගෝස්තු මාසයේ ඉඳලා. මේ මෙහෙයුම අපි ජයග්‍රහණය කරන බව දැන සිටියා. යුද හමුදාවේදී ලද අත්දැකීම් අනුව මේ ජයග්‍රහණය නිසැකව ලැබෙන බව අප කලින් දැන සිටියා. හමුදා භට පිරිස් නිලධාරින් මේ සියලුදෙනාගේ චිත්ත ධෛර්ය උසස් මට්ටමක පැවතුණා. එය යුද්ධ නිමාවනතුරුම ක්‍රියාත්මක වුණා. තවත් වැදගත් කරුණක් වූයේ උසස් නිලධාරින් යුද ගැටුම් පවතින ප්‍රදේශවලට ගොස් සෙබළුන් සමඟ ගැවසීමයි. සමහර අවස්ථාවලදී එක් දිනකට මා යුද භූමියට දෙතුන් වතාවක් ගියා. මේ තත්ත්වය භූමියේ සෙබළුන්ට ශක්තියක් වුණා.

තව පැත්තකින් මේ සඳහා ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමන්ද කටයුතු කළා. නිරන්තරයෙන් අපව දැනුවත් කරමින් අප සමඟ කතා බහ කරමින් දුරකථන ඇමතුම් ලබාදෙමින් අපට ශක්තියක් ලබා දුන්නා මෙම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා. වසර තිහක යුද අත්දැකීම් අපට ආධාරයක් වුණා.

යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන නායකත්වය සෘජුවම බලපෑවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා ලබාදුන් නායකත්වය ඔබ දකින්නේ කෙසේද?

මා මේ පිළිබඳ මුලිනුත් කතා කළා. ඇත්තටම මේ සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය සහ ආරක්ෂක ලේකම්වරයාගේ දායකත්වය ශක්තියක් වුණා. අපි දිවයිනේ ප්‍රදේශ ගණනාවක යුද මෙහෙයුම් සිදුකර තිබෙනවා. හැබැයි මේ ආකාරයට මෙහෙයුමක් නිමා කරන්න හැකිවුණේ නැහැ. මෙලෙස යුද්ධය නිමා කරන්න ලැබුනේ රටේ දේශපාලන නායකත්වය නිසායි. අපි යම් යම් ජයග්‍රහණ ලැබුවත් යුද්ධය නිමා වනතුරු නොබියව නායකත්වය ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

මීට පෙර කිසිදු නායකයකු මේ ආකාරයට ක්‍රියා කළේ නැහැ. ඇත්තටම අපට මතකයි ජනාධිපතිතුමා කිළිනොච්චියට ගිහිල්ලා සෙබළුන් එක්ක අවුරුද්ද සමරමින් කිරිබත් කාපු අවස්ථාවක්ද තිබුණා. මෙය සුවිශේෂි තත්ත්වයක්. මෙය නිර්භීත ක්‍රියාවක්. මේ අනුව එතුමාගේ නායකත්වය අතිවිශිෂ්ටයි කියන එක පෙන්වා දිය හැකියි.

අද යුද හමුදාව රටේ සංවර්ධනයට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කුමන අයුරින්ද?

මේ වනවිට යුද හමුදාව සංවර්ධන කටයුතුවලට සෘජුව සම්බන්ධ වෙනවා. නැගෙනහිර උදානයත්, උතුරු වසන්තයත් මෙහි මුල් අවස්ථා දෙකයි. නැඟෙනහිර උදානයට සම්බන්ධ වෙලා වැඩකරන ගමන්ම රජය විසින් දිවයිනේ සෙසු ප්‍රදේශවල සිදුකරනු ලබන සංවර්ධන වැඩසටහන්වලටත් හමුදා සෙබළුන් සම්බන්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු බළකාය ළඟදී චීනයෙන් ලැබුණු උපකරණ මේ සඳහා යොදා ගන්නවා. ගම්පහ, හම්බන්තොට වැනි ප්‍රදේශවලද සංවර්ධන වැඩසටහන් වල හමුදාවේ සෘජු සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මහාමාර්ග දියුණු කිරීමේ වැඩපිළිවෙළවල්වලට අප සම්බන්ධ වෙනවා.

ඊට අමතරව සූරියවැව ක්‍රීඩාංගණය, බියගම ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ රැසක ඉදිකිරීම්වලට සම්බන්ධ වෙලා තිබෙනවා. මෙහි තිබෙන වැදගත් කරුණ තමයි යුද හමුදාව මේවායේ සේවය කරනවිට විනයක් ඇතිව වැඩ කිරීම. එමෙන්ම රජයට වියදම් වන මුදල් අඩුකර ගැනීමට හැකිවීම. මොකද අපි මැදිහත් වුණාම කොන්ත්‍රාත්කරුවන්ට ඉන් ඉවත්වීමට සිදුවෙනවා. කාර්යක්ෂමතාව වැඩි පිරිසක් අප යොදවන්නේ. මේ වනවිට යුද හමුදාවට රජයේ සහ ජනතාවගේ ප්‍රසාදය ලැබිලා තිබෙනවා.

මීට අමතරව යුද හමුදා සෙබලුන්, නිලධාරින් කිලිනොච්චි වන්නි ප්‍රදේශවලද මුලතිව් ආදි යුද ගැටුම් තිබූ ප්‍රදේශවල සිදුකෙරෙන නොයෙක් වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. අපට ඉකුත් මාසයේදී යාපනයේ සිවිල් වැසියන් හයසියයකට වැඩි පිරිසකට නව නිවාස තනා දෙන්නට පුලුවන් වුණා. අද පවුල් එහි පදිංචි වෙලා තිබෙනවා. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වෙලා ආබාධිත තත්ත්වයට පත්වූ පවුල්වල සාමාජිකයන්ට තමයි අප මේ නිවාස ලබා දුන්නේ. මේ නිවාස සියල්ල සාදා නිම කළේ යුද හමුදාවේ රණවිරුවන්.

පුද්ගලයින් යළි පදිංචි කරන ප්‍රදේශවලද ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් නංවාලීම සඳහා යුද හමුදා භට පිරිස් විශාල මෙහෙයක් සිදුකරනවා.

මේ සියල්ල සිදුකරන ගමන් රටේ ආරක්ෂාව වෙනුවෙන්ද යුද හමුදාව ක්‍රියා කරනවා. යළි ත්‍රස්තවාදයක් හිස ඔසවන්න අපගේ හමුදා සෙබලුන් කිසිවිටක් ඉඩ තබන්නේ නැහැ.

යුද ජයග්‍රහණ ලබන්නට යුද හමුදා සෙබළුන් කළ මෙහෙය අතිවිශාලයි. එහිදී වීර රණවිරුන් මව්බිම වෙනුවෙන් සිය ජීවිතය කැප කළා. තවත් පිරිසක් නොයෙක් ආබාධවලට ලක්වුණා. මේ අය වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන සුබසාධන කටයුතු කෙසේද?

ඇත්තටම ඔවුන් කළ කැපවීමේ ප්‍රතිඵලයක් තමයි යුද්ධය ජයග්‍රහණය කිරීම. වසර තිහකට වැඩි කාලයක් රණවිරුවන් රැසක් දේශයට අහිමිවුණා. අප නිරන්තරයෙන් ඔවුන්ව මතක් කරනවා. ඔවුන්ට ආචාර කරනවා. ඔවුන් වෙනුවෙන් බොහෝ දේ සිදුකරනවා. යුද ගැටුම් හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ සෙබලුන්ට රාගම ‘රණවිරු සෙවණ’ ක්‍රියාත්මක වෙනවා. එහිදී අප ආබාධිත රණවිරුවන්ට අවශ්‍ය මානසික, කායික ශක්තිය ලබාදීම සඳහා නොයෙක් වැඩසටහන් සිදුකරනවා.

ඔවුන්ව කිසිවිටක තනි කරන්නේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳ අප සමඟ නිතර කතා බහ කරනවා. ඔවුන් වෙනුවෙන් නොයෙක් සුබසාධන කටයුතු සිදුකරනවා. මෙය අඛණ්ඩව සිදුකරනවා. මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ගැන අප නිරන්තරයෙන් සොයා බලනවා. ඔවුන්ගේ ළමුන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය දේවල් ලබා දෙනවා. ශිෂ්‍යත්ව ලබා දෙනවා. එපමණක් නොවෙයි ඔවුන්ගේ මානසික ශක්තිය වැඩි කිරීම සඳහා නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. රණවිරු සේවා අධිකාරිය, යුද හමුදා වනිතා ඒකකය මගින්ද මේ සඳහා ලොකු දායකත්වයක් ලබා දෙනවා.

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර රට එක්සේසත් කර වසරක් ගත වෙනවා. යුද හමුදාපතිවරයා වශයෙන් ඔබට කුමක් හැඟෙනවාද?

මේ තත්ත්වය වැඩියෙන්ම දැනෙන්නේ අපට. අද රටේ ජනතාවට කිසිම භීතියකින් තොරව ජීවත් වෙන්න පුලුවන්. එදා තිබුණු මරණ බිය අද නැහැ. වන්නි ආඥාපති වශයෙන් ඉඳලා යුද්ධය සම්පූර්ණයෙන්ම දැකලා එහි සිටි ජනතාවට නිදහස ලබාදීලා. මෙය ඉතා වටිනා කරුණක්. වන්නි ජනතාව වසර තිහක්ම නියෝගවලට ක්‍රියා කළ පුද්ගලයන් අද එහෙම තත්ත්වයක් නැහැ. අද දකුණේ ජනතාව උතුරට යනවා. උතුරේ ජනතාව දකුණට එනවා. නිදහස කියන්නේ කුමක්ද කියලා ඔවුන්ට දැනිලා තිබෙනවා. වසර තිහක යුද්ධයේ කුරිරු බරින් තෙරපී සිටි ජනතාවට අද කියා ගන්න බැරි නිදහසක් ලැබිලා තියෙනවා.

කොළඹ බෝම්බ පුපුරන්නේ නැහැ. බස් රියක බිය සැක නැතිව ගමන් කරන්න පුලුවන්. මේ තත්ත්වය උදාවුණේ කොටි පරාජය කිරීමෙන් පසුවයි. යුද ගැටුම් නිමාවෙලා වසරක් වන මේ මොහොතේ එය හොඳටම ජනතාවට දැනෙනවා ඇති.

අපට සංවර්ධන සංග්‍රාමයක් තිබෙනවා. රට වැසියන්ට ඔබ මේ ගැන කියන්නේ කුමක්ද?

සියලුදෙනාටම ජාති භේදයකින් තොරව ජීවත්වීමේ අයිතිය ලබාදී තිබෙනවා. ඒ නිසා සියලුදෙනා රට සංවර්ධනය කිරීමේ වැඩසටහනට සහය ලබාදිය යුතුයි. මෙහිදී මට ඉල්ලීමක් කරන්න තියෙනවා. ත්‍රිවිධ හමුදාවේම රණවිරුවන් මහත් කැපකිරීමක් කරලා මේ දේ ලබාගත්තේ ඔබලා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. රටවැසියන්ට පුලුවන් ආසියාවේ හොඳම රට බවට මෙය පත් කරන්න. යුද්ධයක් දිනපු ශ්‍රී ලංකාවට මෙය පහසු කරුණක් වේවි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා