රටේ සංවර්ධනය කරන්නත් අපි ලෑස්තියි

රටේ සංවර්ධනය කරන්නත් අපි ලෑස්තියි
 

ගුවන් හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක

ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දමා මේ වන විට වසරක් ගෙවී ගොසිනි.

දශක තුනකට අධික කාලයක් අප මාතෘභූමිය වෙලාගෙන තිබූ ඒ රුදුරු බව, අඳුරු කළු පැල්ලමක් ලෙස අප සිත් තුළ නිතර හොල්මන් කරයි. ජවසම්පන්න උදාර සෙබළුන්ගේ බොහෝ ජීවිත අවයව අහිමි කරමින් ලේ කඳුළු මතින් උදාකළ සාමයේ හිරුරැස් දැය ආලෝකමත් කරමින් විහිදී පැතිර තිබේ.

රටට සාමය උදාකිරීමේ කාර්යයට ආරම්භයේ සිටම අවසානය දක්වා ගුවන් හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා උරදුන්නේය. ඔහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

දශක ගණනාවක් මෙරට වෙලාගෙන පැවැති ත්‍ර‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය වී අවසන්වී තිබෙනවා. එයට වසරක් ගතවෙන මේ මොහොතේ ඔබ දරන්නේ කෙබදු අදහසක්ද?

සාමකාමීව සීග්‍ර සංවර්ධනයක් කරා යන ගමන් මාර්ගයේ මාතෘභූමිය දකින විට මට දැනෙන්නේ පුදුම සතුටක්. එදා ත්‍රස්තවාදය නිසා අපි විඳි දුක්ගැහට අපමණයි. දැන් සම්පූර්ණයෙන්ම එය අවසන් වෙලා තිබෙනවා.

අපේ වීරෝදාර සෙබළු, දැයේ දරුවන්, සිය ජීවිත, ශරීරාංග, ලේ, දහඩිය, කඳුළු, කාලය වගේම සිතුවිලි හා හැඟීම් පවා දැයේ අවශ්‍යතාව වෙනුවෙන් පුද කරලා ඒ නිදහස උදාකර ගත්තේ.

එහි ප්‍රතිඵල අද අපි සැබෑ ලෙස අත් විඳීනවා. ත්‍රස්තවාදය අවසන් වී වසරක් සම්පූර්ණයි. මේ කාලය තුළදී කිසිම කරදරයක් මේ රටේ ජනතාවට සිදු නොවන ආකාරයට ත්‍රස්තවාදය මුලිනුපුටා දාන්න හමුදාවට හැකි වුණා.

ත්‍රිවිධ හමුදාව පොලීසිය සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය මේ හැමෝම එක්වෙලා කළ කැපකීම්වල ප්‍රතිඵල අපි අද භුක්ති විඳින්නේ. දැයේ දරුවන්, ළඟම ඥාතීන්, හිතවතුන් බොහෝ දෙනෙක් ජීවිත පූජා කළා. අපට ඒ දේවල් ඒ කාලය කවදාවත්ම අමතක කරන්න බැහැ. සියලුම අයගේ රටේ අනාගත පරපුරේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ සියලු කැපකීරීම් කළේ.

අදත් විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ හා ජනතාව ආරක්ෂා කිරීමට, නඟාසිටුවීමට සෙබළු කැපවී සිටිනවා. ඒ අයගේ ඥාතීන්, දුවා දරුවන් ඬ;වස්වල තියල මේ අය තමන්ගේ කියලා කිසිම ඥාතීත්වයක් නැති අය වෙනුවෙන් කැපවී සිටිනවා.

එදත් එහෙමයි. තම ගම්බිම්වලින් බොහෝ ඈත සිටින තමන්ගේම යැයි හැ¼ඟීමෙන් නන්නාඳුනන අය තම ඥාතීන් ලෙස සලකා ඒ අයගේ සුරක්ෂිත බව වෙනුවෙන් අපේ සෙබළු කැපවීම් කළා. තවමත් ඒ කැපකිරීම ඉතා උදාර ලෙස ඉටුකරමින් සිටිනවා. මේ පිළිබඳ යුද්ධයට දායක වූ පවුල්වල අය වගේම, මේ රටේ හැමෝම ත්‍රස්තවාදය අවසන් වී වසරක් ඉකුත්ව යමින් ඇති අද දවසේ හිතන්න ඕනේ.

සැබෑ නිදහසේ නියමුවානන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අපි හැමෝටම නායකත්වය දුන්නා. එසේ නොවන්නට අපිට කවදාවත්ම ත්‍රස්තවාදය නිමා කිරීමට හැකිවෙන්නේ නැහැ. රජයක් විදිහට ලබාදුන් ඒ නායකත්වය හා යුද ශක්තිය මෙන්ම රටේ ජනතාව අපට ලබාදුන් සහාය අද මේ නිදහස ලැබීමට මූලික වුණා. ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් නිදහස වෙනුවෙන් කළ කැපකිරීම් ගෞරවනීය ලෙස හැමදාම සිහිපත් කළයුතුයි.

දැයේ උදාර බව ආරක්ෂා කරන්න රට දෙකඩ කිරීම වළක්වන්න කළ උදාර මෙහෙවර වගේම අද සංවර්ධන කරා යන ගමනට අත්වැලක් වෙන්නත් හැමෝම හිතට ගත යුතුයි.

දැයේ සුරක්ෂිත බව වෙනුවෙන් දිවි පුදකළ, කැප කිරීම් කළ අය හා ඥාතීන් වෙනුවෙන් වගේම ත්‍රස්තවාදය හේතුවෙන් අවතැන් වූ උතුªරු නැගෙනහිර ජනතාව නගාසිටුුවීීමටත් ආරක්ෂා කිරීමටත් රජය විශාල මෙහෙවරක යෙදී සිටිනවා. ගුවන් හමුදාවත් ඒ සඳහා අද හැකි උපරිම දායකත්වය සපයනවා.

මානුෂික මෙහෙයුම පැවැති අවස්ථවේදී පහරදීම් සඳහා ගුවන් යානා යොදා ගත්තා. නියමුවන් හා වෙඩික්කරුවන් ද යෙදුවූවා. අද වන විට ඒ යානා වෙඩික්කරුවන් සිදුකරන රාජකාරි මොනවගේද ?

එදා ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාව ගිය ගොඩබිම් මාර්ග පහසු කිරීම, මඟ පෙන්වීම, විශේෂයෙන් ඉදිරි භූමියේ බාධක ඉවත් කිරීම, මේ දේවල් ගුවනින් කළේ. ත්‍රස්තවාදීන්ට පහර දෙමින් ගුවන් හමුදාව පෙරමඟ සකස් කළා. ඒ එළිපෙහෙළි කළ ප්‍රදේශවල ජනතාවට ජීවත්වීමට හැකි ආරක්ෂිත පරිසරයක් හිමිකර දීමේ කාර්යයට ගුවන් හමුදා සෙබළු එක් වී සිිටිනවා.

එදා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවලින් කළ දේවල් අද කිරීමට අවශ්‍ය නැතත් අපි දිගටම අවශ්‍ය පුහුණුවීම් කරනවා. නවීන තාක්ෂණය හා එක්වී අලුත් දේ එක්කර ගනිමින් සිටිනවා. රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි නිතර ලෑස්තිවෙලා ඉන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය සිදුකරන ඕනෑම දැනුම්දීමකදී ක්‍රියාත්මක වීමට ගුවන් හමුදාව සූදානම්.

මීට අමතරව ගුවන් හමුදාව අද රට තුළ සංචාරයන් හි නිරත වන්නන් වෙනුවෙන් ගුවන් ගමන් පහසුව සලසා තිබෙනවා. කොළඹ යාපනය, කොළඹ ති‍්‍රකුණාමලය ප්‍රදේශවලට ගමන් කිරීමට හෙළි ටුවර්ස් නමින් සිවිල් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දායක වී සිටිනවා.

එය තවදුරටත් වැඩි දියුණු කර අනාගතයේදී සංචාර සඳහා හෙළිකොප්ටර් යානා පවා යෙදවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

රටේ කිසියම් කලබලකාරී හෝ ආපදා අවස්ථාවක් උදා වූ විට ගුවන් හමුදාවේ සහාය අනිවාර්යෙන්ම ලබාදෙනවා. ඒ අතරම ස්වභාවික ආපදා අවස්ථාවලදී ක්‍රියාත්මක වීමට ගුවන් සෙබළුන්ට හොඳ පුහුණුවක් ලබාදී තිබෙනවා.

මීට පෙර සිදු වූ ජල ගැලීම් සුනාමි ආදී විවිධ ආපදා අවස්ථාවලදී විපතට පත්වූවන් ප්‍රවාහනය, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම වැනි ක්‍රියාදාමයන් ඉටුකළා.

යුද්ධය අවස්ථාවේදීත් ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට ආහාර පාන, තුවාල ලත් අය ප්‍රවාහනය, යුද්ධයට සහායවීම අමතරව සිදු කළා. යුදපිටියේ සිටි සෙබළුන්ට අවශ්‍ය දෑ ප්‍රවාහනය තුªවාල සෙබළුන් අනාරක්ෂිත ස්ථාන වලින් වහාම ඉවත් කර ගැනීම අපි අතින් ඉටුවූ කාර්යයන් අතර ප්‍රමුඛ වුණා. මානුෂික මෙහෙයුමේදී ප්‍රහාර මධ්‍යයේ අපේ නියමුවෝ යුද පිටියට ගුවනින් ගියා. ඔවුන්ට පැවරුණු කාර්යය මනාව ඉටුකළා. ඒ් වගේම කිසිම ගුවන් යානාවක් අනතුරට ලක්වීමට ඉඩදුන්නේ නැහැ. ඒවත් ආරක්ෂා කරගෙන මෙහෙයුම් කළා. ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි එවැනි දක්ෂ නිපුනයන් පිරිසක් අපට ඉන්නේ. ඒ අය නිතර පුහුණුවීම්වල යෙදෙමින් සිටින්නේ.

ගුවන් හමුදාව ගුවනින් පමණක්ද ආරක්ෂක ක්‍රියාදාමයට එක්වෙන්නේ. අප දැක තිබෙනවා මහාමාර්ගවල මාර්ග බාධක තිබෙන ස්ථානවලත් ඒ අය ආරක්ෂාවට යොදවා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මානුෂික මෙහෙයුමේදී බිම් මට්ටමේ ආරක්ෂක ක්‍රියාදාමය ඒ කියන්නේ පාබල හමුදාවක් ඉටුකරන කාර්යයන් කළා. උතුරු නැගෙනහිරට අමතරව දකුණේ මාර්ග ආරක්ෂාවටත් යොදවා තිබුණා.

රටේ ආරක්ෂාව ස්ථාපිත වීමත් සමගම මාර්ග බාධක, සෝදිසි කිරීම් අවම වුණා. අද වන විට ගුවන් හමුදා සෙබළුන් මාර්ග ආරක්ෂාවට යොදවනවා අඩුයි.

අද ඉරණමඩු, මුලතිව්, මොරවැව, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාව ක්‍රියාත්මක වී සිටිනවා. ඉරණමඩු, මුලතිව් ගුවන් කඳවුරු ස්ථාපිත කරලා අවසන්. තවමත් කැලේ කොටි ඇට වූ බෝම්බ ශුද්ධ කරනවා.

මොරවැව ප්‍රදේශය 1990 ගණන්වල සිටම ගුවන් හමුදාව මගින් ආරක්ෂා කළා. ගුවන් හමුදා විශේෂ බලකාය ත්‍රස්තවාදයට කලින්ම මුහුණ දුන්නා ත්‍රිකුණාමලය පේරාරු වනය හරහා ත්‍රස්තවාදීන් එදා මඩකළපුව දක්වා ගමන් කළා. ඒ ගමන් නවත්වලා ප්‍රදේශය ආරක්ෂාව තහවුරු කළේ ගුවන් හමුදාව.

නැවත මොරවැව ගම්බිම්වලට එන ජනතාවගේ අවශ්‍යතා ජීවන තත්ත්වය නගාසිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන දායකත්වය කුමක්ද?

ගුවන් හමුදාව මගින් මේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු නැවත ත්‍රස්තවාදය ඇති නොවන ලෙස මිනිසුන්ගේ සිතුවිලි වෙනසකට ලක් කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වුණා. ඒ ප්‍රදේශය අතහැර ගිය අයට අත්‍යවශ්‍ය වී තිබුණේ පානීය ජලය, ආහාර, නිවාස ගුවන් හමුදාව පානීය ජලය මුලින්ම බවුසර් මගින් ගෙනාවා අදටත් ජල ටැංකි ඉදිකර නළ ළිං සකසා දී තිබෙනනේ කුඹුරු අක්කර දෙක බැගින් වැපිරීමට සකසා දුන්නා. වියළි ආහාර ඇඳුම් නිවාස සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ගුවන් හමුදාව මගින් ඉටු කළා.

ගුවන් හමුදා සේවා වනිතාවෝ මේ සඳහා උපරිම ලෙස දායක වුණා. ආහාර, ඇඳුම් පැළඳුම් සිඟිති පාසල් පමණක් නෙවෙයි අධ්‍යාපනය හදාරන සියලු සිසු දරුවන්ට නව පාසලක් ද තනාදීමට දායක වුණා. ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ට පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණත් අප විසින්ම සපයනවා. මේ වන විට මොරවැව පවුල් 1500 ක පමණ නැවත සිය ගම්බිම්වලට ඇවිත්.

ත්‍රස්තවාදය නිමාවී වසරක් ගතවන විට ජනතාව සිය ජීවිත සුරක්ෂිත බව වටහාගෙන තවදුරටත් සිය මුල්ගම්බිම් වෙත එමින් සිටිනවා.

මානුෂික මෙහෙයුමේදී හානි අවම කැර ගනිමින් මෙවැනි සාර්ථක ජයග්‍රහණයක් කරා ගමන් කිරීමට හැකි වුණේ කොහොමද ?

අපි දිවා රෑ නොතකා ක්‍රියාත්මක වුණා. යුද, නාවික කණ්ඩායම් සමඟ කෙළින්ම සම්බන්ධ වෙලා අවශ්‍ය ප්‍රහාර හා වෙනත් උපකාර ක්ෂණිකව ඉටුකළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළම නිලයේ සිට සෙබළාත්, ඉංජිනේරුවාත්, කාර්මික ශිල්පියාත් සිවිල් සේවකයාත් එකාමෙන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියාත්මක වුණා. මුළුතැන්ගෙයි උයන පිහන තැනැත්තා පවා මේ යුද්ධය, මානුෂික මෙහෙයුමේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. එදා වගේම අදත් අපි කණ්ඩායමක් ලෙස එක්ව ක්‍රියාත්මකයි. අද සංවර්ධනය කරා යන මේ ගමනටත් ගුවන් හමුදාවෙන් ඉටුවිය යුතු සේවාව උපරිම අයුරින් ලබාදීමට අපි ක්‍රියා කරනවා.

නැවත කිසි දිනක ත්‍රස්තවාදය මවුබිමට ඇතුළුවීමට ඉඩ නොදීම අපේ එකම පරමාර්ථයයයි. සාමය සමග ආර්ථික, සමාජීය හා සංස්කෘතිය සංවර්ධනය මේ රටේ ස්ථාපිත කිරීමත්, නිදහස් නිවහල් දැයක් අනාගත පරපුරට දායද කිරීමත් උදෙසා රජය ගෙනයන සාර්ථක ක්‍රියාදාමයට ශ්‍රී ලංකා ගුªවන් හමුදාව අවශ්‍ය දායකත්වය ලබාදෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා