මේ රන් දිවයිනේ අභිමානය ඉදිරියටත් රකිනවා

මේ රන් දිවයිනේ අභිමානය ඉදිරියටත් රකිනවා

නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව නාවික හමුදාව නියැළී සිටින කාර්යයන් පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නාවික හමුදාව සුවිශේෂී මෙහෙයක් ඉටුකළා. මේ පිළිබඳ විස්තර කළහොත්?

ඇත්තටම අපගේ සේවය නිහඬ සේවයක්. ත්‍රස්තවාදය නිමා කිරීමට නාවික හමුදාව ලොකු වැඩ කොටසක් සිදුකළා. කොටි ත්‍රස්තවාදීන් මුල් කාලයේ බොහෝ ජාවාරම් කළේ මුහුදු මාර්ගය ඔස්සේයි. මේ සඳහා කොටි ඉන්දීය මුහුදු කලාපය යොදා ගත්තා. මන්නාරම යාපනය හරහා ඔවුන් මෙය සිදුකළා. විශේෂයෙන් දකුණු ඉන්දියාව හරහා කොටින්ට අවශ්‍ය භාණ්ඩද ප්‍රවාහනය කළා. කොටි ත්‍රස්තවාදීන් ගොඩබිමේ තැනින් තැන බලය ක්‍රියාත්මක කළා.

පසුව භූමිය ඇති ප්‍රදේශවල මුහුදු කොටි කඳවුරු තනමින් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා එකතු කරමින් කොටින්ගේ නාවික බලය ක්‍රියාත්මක කළා. පසුව කොටි ත්‍රස්තවාදීන් ශ්‍රීී ලංකාවේ ප්‍රධාන නගරවලට ප්‍රහාර එල්ල කරමින් ආර්ථික වැදගත්කමක් ඇති ස්ථානවලට ප්‍රහාර එල්ල කළා. කොටින්ගේ ප්‍රධානතම ඉලක්ක බවට ත්‍රිකුණාමලය, කොළඹ වරාය පත්වුණා. මේවා රැකගන්න නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කළා.

යුද හමුදා භට පිරිස් කොටි බලය පවත්වාගෙන යන ප්‍රදේශ කොටසින් කොටස අත්පත් කර ගනිමින් කොටි ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී නාවික හමුදාව තුවාල ලැබූ සිවිල් ජනතාව මුහුදු මාර්ග මගින් රෝහල් වෙත සහ තාවකාලික කඳවුරු වෙත ගෙන ආවා. කොටි ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් යාත්‍රා යොදා ගනිමින් කොටි ග්‍රහණයෙන් පැන ආ අවස්ථාවන්වලදී නාවික හමුදාව ඔවුන්ව බේරා ගත්තා. ත්‍රස්තවාදීන් සිවිල් ජනතාවට මුවා වී නාවික හමුදාවන්ට ප්‍රහාර එල්ල කළ අවස්ථා රැසක් තිබුණා. එහිදී නාවික හමුදාව ඉතා දක්ෂ ලෙස එම කොටි ඝාතනය කර සිවිල් ජනතාවට කිසිදු අනතුරක් සිදුනොවී බේරා ගැනීමට සමත්වුණා.

යුද ගැටුම් පැවැති අවසන් අවස්ථාවේදී ඒ කියන්නේ අවසන් මාස හයක පමණ කාලයේදී මුලතිව්වලින් හෝ ඒ අවටින් කොටි නායක ප්‍රභාකරන් පැන යනවා කියන මතයක් තිබුණා. එහෙත් මේ තත්ත්වය වෙනස් වුණා. නාවික හමුදාව මේ ප්‍රදේශයේ ආරක්ෂක දැමිමා නේද?

ඔව්, එය වැදගත් කරුණක්. ඇතැමුන් කීවා කොටි නායක ප්‍රභාකරන් මුහුදෙන් පැන ගිය බව. නාවික හමුදාව මේ ප්‍රකාශ බොරු බවට පත්කළා. මුලතිව් අවට මුහුදේ අපි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මුහුදේ සැතපුම් ගණනාවක් දුරට ක්‍රියාත්මක වූ ආරක්ෂක දැලක් ක්‍රියාත්මක කළා.

මේ සඳහා කුඩා යාත්‍රා බලඝනය, වෝටර් ජෙට්, ඩෝරා පමණක් නොවෙයි නැව් පවා යොදා ගත්තා. දිවා රෑ නොබලා අපගේ සෙබළුන් මාස හයකට වැඩි කාලයක් මේ ආරක්ෂක වැට රැකගෙන සිටියා. කොටි නායකයාට මේ හරහා පැනයාමට හැකිවුණේ නැහැ. අවසානයේ කොටි නායක ප්‍රභාකරන් හමුදා ප්‍රහාරවලින් මියගියා.

මේ ආරක්ෂක වැට ක්‍රියාත්මක වෙන අවස්ථාවේදීම ගාල්ල, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායටද ආරක්ෂාව ලබාදෙමින් ඒවා රැකගන්නටද අපට හැකිවුණා. කොටි ත්‍රස්තයන්ට ප්‍රහාර එල්ල කරන්න යොදා ගත් බොහෝ ප්‍රහාරක යාත්‍රා නාවික හමුදාව විසින් මෙරටදීම අපගේ නාවික සෙබළුන් විසින්ම නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් කරුණක්.

වසර තිහක පමණ කාලයක් මෙරට තුළ කොටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණා. එහෙත් අවසන් වසර තුනේදී මේ තත්ත්වය වෙනස් කොට අවසානයේදී කොටි පරාජය කර රට එක්සේසත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණා. ඔබ මේ දේශපාලන නායකත්වය දකින්නේ කෙසේද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය තුළ අපට මෙය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ එතුමා ළඟ ඇති සුවිශේෂි ගුණාංග නිසයි. නොබියව, නොසැලෙන අරමුණ කරා යන නායකත්වයක් එතුමා ළඟ තිබෙනවා. යුද්ධය ජයගන්න අවශ්‍ය දේ ලබා ගන්න ජනාධිපතිතුමා කිසිදු දෙයක් වෙනත් රටවලට ලබා දුන්නේ නැහැ. ඔහු අපගේ සේනාධිනායකයා වශයෙන් සෘජු තීරණ ගන්න නිවැරැදි තීරණ ගන්න අයෙකු වෙමින් අන් අයටද ආදර්ශයක් ලබා දුන්නා. ජාත්‍යන්තර බලවේගවලට නොසැලෙමින් රාජ්‍ය නොවන සංවිධානවලට නොබියව මුහුණ දෙමින් දෙමළ ජනතාව කොටි ග්‍රහණයෙන් මුදා ගනිමින් මෙරට එක්සේසත් කරන්නට කටයුතු කළා. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව හොඳින් හැදුවා.

වැදගත් කොටසක් ඉටුකිරීමට ආරක්ෂක ලේකම්වරයකු පත්කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ආරක්ෂක ලේකම්තුමා යුද්ධය ගැන අත්දැකීම් තිබෙන යුද්ධය මෙහෙයවීම සඳහා යුද භූමියට ගිය සෙන්පතියෙක්. ඔහු හොඳින් දැන සිටියා යුද්ධය ජය ගැනීමට අවශ්‍ය මාවත. ඒ මාවතට පැමිණීම සඳහා අවශ්‍ය සියලු දේ ලබා දෙන්න කටයුතු කළා. අපිට අවශ්‍ය ආයුධ ඉල්ලූ විට ඒ සඳහා තිබෙන හොඳ අවි ආයුධ ලබා දෙන්න කටයුතු කළා.

නාවික සෙබළුන්ගේ චිත්ත ධෛර්ය ශක්තිමත් කිරීම සඳහා නොයෙක් ක්‍රියාදාමයන් සිදුකළා. හමුදාවේ සුබසාධන ක්‍රියාදාමයන් වැඩි කළා. සෙබලුන්ගේ නිලධාරින්ගේ පඩි වැඩි කළා. ඔවුන්ගේ් දුක සැප සොයා බැලුවා. යුද්ධයේ සිටින නිලධාරින් සමඟ කතාබහ කරමින් මේ ගමන වේගවත් කළා. එපමණක් නොවෙයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයටම හොඳ ආදර්ශයක් ලබා දුන්නා. යුද්ධය පවතින මොහොතේ තම දෙවන පුතා නාවික හමුදා නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්කළා.

මේ මොහොත වනවිට යුද්ධයක් නැහැ. නාවික හමුදාවේ සෙබළුන් මොකද කරන්නේ?

යුද්ධය නිමා වුණාට අපගේ රාජකාරිය නිමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව දූපතක්. අප මේ වටා වූ මුහුදු කලාපය රැකගනිමින් ගොඩබිම ආරක්ෂා කළ යුතුයි. මා මීට ඉහතදී කීවා වාගේ නාවික හමුදාව සිදු කරන්නේ නිහඬ සේවයක්. නිහඬ සේවයක් වුණාට අප ලොකු වගකීමක් ඉටු කරනවා. ජාත්‍යන්තරයට ගමන් කිරීමට වඩාම පහසු අපට. මොකද අපි ජාත්‍යන්තර මුහුදට ගිය ගමන් අපට සිදුවනවා එක භාෂාවක් භාවිතා කරන්න. ජාත්‍යන්තර නීති සමඟ කටයුතු කරන්න.

ඔබ කියන්නේ නාවික හමුදාවට ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම පහසුයි කියන එකද?

ඔව්, අපට එය ඉතා පහසු කාරණයක්. හැබැයි මේ සඳහා නාවික හමුදාවේ තවත් අංග රැසක් දියුණු කළ යුතුව තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේ ගනුදෙනු කරන නව මෙවලම්, තාක්ෂණයන් අපි ලබාගත යුතුයි.

නාවික හමුදාවේ වියදම් අඩු කිරීමට කටයුතු කරනවා කියන්නේ ඇත්තද?

ඇත්තටම නාවික හමුදාවේ වියදම් අඩු කරන්න මේ වනවිට මම කටයුතු කරගෙන යනවා. හැබැයි මේකෙන් සුබසාධන කටයුතුවලට හානියක් වෙන්නේ නැහැ. වෙනදා පෞද්ගලික අංශයෙන් හෝ වෙනත් රටකින් අපට වූ සේවාවන් තිබෙනවා. මා එය නවත්වා එය දේශීය මෙන්ම නාවික හමුදාවේ පුහුණු කළ පිරිස් යොදමින් ඉටුකර ගැනීමට කටයුතු කරනවා.

නාවික හමුදාවේ රණවිරුවන් රැසක් යුද්ධයේදී මියගියා. තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වුණා. දැන් ඔවුන්ගේ සුබසාධන කටයුතු කොහොමද?

නාවික හමුදාපතිවරයා වශයෙන් පමණක් නොවෙයි. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් යුද්ධයේදී මියගිය සියලු රණවිරුවන් මා මේ මොහොතේදී සිහිපත් කරනවා. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග තුළින් තමයි අප මේ ජයග්‍රහණ ලබා ගත්තේ. ඒ වගේමයි තුවාල ලැබූ පිරිස ඔවුන්ද මා සිහිපත් කරනවා. ඒ අපගේ වීරයින්. යුද්ධයේදී මියගිය නාවික හමුදාවේ සෙබලුන්ගේ සහ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින් ගේ මෙන්ම තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ් සුබසාධනය සඳහා නාවික හමුදාව සුවිශේෂි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. නාවික හමුදා වනිතා ඒකකයද මේ සඳහා දායක වනවා. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. දුවා දරුවන් ගැන සොයා බලනවා. නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ළමුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දෙනවා. මියගිය රණවිරුවන් සිහිපත් කරමින් ආගමික උත්සව පවත්වනවා.

මේ වනවිට නාවික හමුදාව රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක වෙන්නේ කෙසේද?

යුද්ධයෙන් අවතැන් වූ පුද්ගලයන් යළි පදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. එලෙසම එම ප්‍රදේශවල ක්‍රියාත්මක වන ගොඩනැගිලි ඉදිකිරීම්, මහාමාර්ග ඉදිකිරීම්, ඇතුළු වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. ‘ජෙට් ලයිනර්’ වැනි නෞකා මංගල උත්සව සහ විනෝද චාරිකාවලට ලබා දෙමින් නාවික හමුදාවට මුදල් රැස් කරනවා.

ශ්‍රී ලංකාව දූපතක්. ඒවගේම අපට විශාල මුහුදු කලාපයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පුද්ගලයන්ගේ රැකියාව ධීවර කර්මාන්තය. නාවික හමුදාව මෙම ධීවරයන්ට සහය වෙන්නේ කෙසේද?

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කොටි ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශවල සිටින ජනතාවගෙන් බහුතරයක් ධීවරයින්. මේ අයට ධීවර කර්මාන්තය කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. යාපනය, මඩකලපුව, මන්නාරම ආදී ප්‍රදේශවල ධීවරයින්ට වෙනදා සීමා මායිම් තිබුණා. මසුන් මරණ පැය ගණන් තිබුණා. මුහුදේ යා හැකි දුර ප්‍රමාණයක් තිබුණා.

අද එහෙම නැහැ. ඔවුන්ට රිසිසේ ධීවර කර්මාන්තයේ යෙදෙන්න පුලුවන්. මුහුදේදී නොයෙක් අනතුරුවලට පත්වෙන ධීවරයින්ට නාවික හමුදාව නොයෙක් අයුරින් සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම යාත්‍රා අක්‍රීය වන අවස්ථාවල, ධීවරයින් රෝගාතුර වන අවස්ථාවල, එලෙසම වෙනත් රටවල ධීවරයින් අපගේ මුහුදු සීමාවේ මසුන් මරණ අවස්ථාවලදී අප එම ධීවරයින් පලවා හැරීමට කටයුතු කරනවා.

කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම මුදාගෙන වසරක් ගතවෙනවා. ඔබ නාවික හමුදාපතිවරයා මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මේ අවස්ථාව සිහිපත් කරන්නේ් කෙසේද?

මේ වෙනුවෙන් දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. එලෙසම මේ තත්ත්වය හොඳටම දැනෙන්නේ අපටයි. යුද ගැටුම් පවතින අවස්ථාවල, ත්‍රස්තවාදය පවතින අවස්ථාවල මා මෙහෙයුම් කටයුතු භාරව සිට තිබෙනවා. එලෙසම උතුරේ, නැගෙනහිරේ ආඥාපතිවරයා වශයෙන්ද තවත් නිලයන් රැසක් හොබවා තිබෙනවා. මේ කාලය තුළදී ජංගම දුරකථනයට හෝ වෙනත් දුරකථනයකට එන ඇමතුමට මා තිගැස්සෙනවා කාට කුමක් වීදෝ?

කුමන ස්ථානයක පහරදීමක්ද? යන ආකාරයේ සිතිවිලි සිතට එනවා. ඒ තත්ත්වය සිතට මහ පීඩනයක්. අද ඒ පීඩනය නැහැ. පවුලේ සාමාජිකයින් බියෙන් නැහැ. ඔවුන් හිතේ ගින්දර නැතිව ජීවත් වෙනවා. බස් රථයක ගමන් කරන්න බියවුණු කාලයක් තිබුණා. කොළඹට පැමිණි අවස්ථාවේ නිවස කරා යනකම් බියවී සිටින යුගයක් තිබුණා. අද එවැනි තත්ත්වයක් නැහැ. ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ගමන් කරන්න පුලුවන්.

තවත් යමක් කීමට ඇත්නම්...

ඔව්, මම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා අපි යුද සංග්‍රාමය අවසන් කරා. එය අවදානම් තත්ත්වයක් බව දැන දැනත් එය ජයග්‍රහණය කළා. අපට දැන් තිබෙන්නේ සියලු දෙනා එක්ව මේ රට සංවර්ධනය කර ලෝකයේ ප්‍රබල රටක් කරන එකයි. අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් සැමදා සිහිකළ යුතුයි. දුඹුරු මුහුදේ සිිටිය කාලය අවසන් කර නිල් මුහුදට ගමන් කළ යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා