පුරාවස්තු සංරක්ෂණය අපේ මූලික අරමුණක්

පුරාවස්තු සංරක්ෂණය අපේ මූලික අරමුණක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

රියර් අද්මිරාල් ආනන්ද පීරිස්

මානුෂීය මෙහෙයුම අවසන්ව වසරක් ඉකුත්වී ඇත. මේ මොහොතේ සිය භට පිරිස්වල කාර්යයන් සහ අභිමතාර්ථයන් පිළිබඳව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සමඟ පැවැති සංවාදයකි මේ.

යුද්ධය අවසන් වී සාමය උදා වීමෙන් පසු ඔබේ දෙපාර්තමේන්තුව ආරම්භ කළ සේවාවන් මොනවාද ?

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෘජු දායකත්වය සැපයීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව කලාප ගොවිපළවල් ඇති කැර කජු, තිබ්බටු, තළ, කුරක්කන්, බඩ ඉරිගු, උඳු, කෙසෙල්, එළවළු වර්ග, මඤ්ඤොක්කා, අන්නාසි, ගස් ලබු, පොල්, පළතුරු වර්ග ආදී දේශීය ද්‍රව්‍ය වගා කැර තිබෙන අතර දැනට උතුරු නැඟෙනහිර අක්කර 150ක් පමණ වගාකැර අවසන්. ඊට පෙර මෙවැනි වගාබිම් ඇති කැර තිබෙනවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ කටයුතු කෙරෙන්නෙ.

සිවිල් ආරක්ෂක කණ්ඩායම බලකායක් ලෙස ත්‍රස්තවාදය පැවැති යුගයේ තිබුණු තර්ජිත ගම්මාන ආරක්ෂා කිරීම කළා. මේ අය ඒ ඒ ගම්වලින්ම තෝරාපත් කර ගත් නිසා අමුතුවෙන් කඳුවරු බඳින්න අවශ්‍ය වුණේ නැහැ.

ඒ අයගෙම ගම්මාන, දුවා දරුවන්, ඥාතීන්, වගාබිම් ආරක්ෂා කෙළේ ඒ නිසා සේවය කාර්යක්ෂම වුණා. රජයේ මුදල් ඉතිරි වුණා. කොටි ක්‍රියාකාරකම් පැවැති සමයේ ගම්මාන හැරයාම වැලැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සංකල්පය හඳුන්වා දුන්නෙ තර්ජිත සිද්ධස්ථාන ආරක්ෂා කිරීම ආර්ථික මර්මස්ථාන ආරක්ෂාව ප්‍රධාන සැපයුම් මාර්ග ආරක්ෂාව හා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය වීම අපි අතින් සිදු වූ ප්‍රධාන කාර්යයන්.

ආර්ථික හා සමාජීය ආරක්ෂාවට එදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මොනවගේ දායකත්වයක් ද දැක්වූයේ

කුඩා ගොවිපළවල් ඇති කිරීම තුළින් රාජ්‍ය නිෂ්පාදනයට දායක වුණා. ගුරු හිඟය හේතුවෙන් ඊට පිළියම් ලෙස ත්‍රස්ත කළබල අතරේ තර්ජිත ප්‍රදේශවල ඉගැන්වීම් සිදු කළා. පෙර පාසල් පවත්වාගෙන යාම මේවා අදටත් සිදු වෙනවා. පෙර පාසල් 323ක් උතුරු නැඟෙනහිර ආරම්භ කර තිබෙනවා. ඒවායේ අපේ බලකායේ ගුරුවරු 515ක් ඉගැන්වීම් කරනවා.

ඊට අමතරව ගඩොල් කැපීම, ඇඟලුම් කම්හල් ඇති කිරීම, කෘෂි උපකරණ නිපදවීමේ කම්හලක් පවත්වාගෙන යෑම. වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථාන කාර්යයන් පවත්වාගෙන යාම අපෙන් සිදු වුණා යුද්ධයේ දී වැලිඔය වගේ ප්‍රදේශවලදී යුද හමුදාවෙ වාහන හදිසි ආපදාවට ලක් වූ විට අලුත් වැඩියා කරදුන් අවස්ථා තිබුණා.

වර්තමානයේ මාර්ග අලුත්වැඩියාව, උපදේශන පාඨමාලා පවත්වාගෙන යාම, පුරාවස්තු සංරක්ෂණය සහ පුරා විද්‍යාත්මක ස්ථාන භූ® අලංකරණය කර නඩත්තු කිරීම, පිහිනීම් හා ජීවිත ආරක්ෂක ඒකක පවත්වාගෙන යාම, මත් ද්‍රව්‍ය නිවාරණ කණ්ඩායම් පිහිටුවීම මගින් ‘මහින්ද චින්තන’ වැඩපිළවෙළේ මතට තිත සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා උරදීම.

නැවත ත්‍රස්තවාදය ඇති නොවීම සඳහා ජාතික හැඟීම් වර්ධනය වන වැඩසටහන් දියත් කිරීම අපේ ප්‍රධාන ක්‍ර‍්‍රියාකාරකම් අතර තිබෙනවා.

විජයග්‍රහණය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලබාදුන් දායකත්වය කෙසේ ද ?

කොටි ක්‍රියාකාරකම් මුලින්ම එල්ල වූයේ එදා පැවැති තර්ජිත ගම්මාන වලට. මේ බව දැක්ක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අවි ආයුධ වලින් හා හැකියාවෙන් සන්නද්ධ කළා. ගම්මාන ආරක්ෂා කිරීමට ඒ ගම්මානවලම පදිංචි ජව සම්පන්න අය යොදා ගත්තා. මේ නිසා හමුදාවට කොටි පරාජය කිරීමේ දී පහසුවක් වුණා. ත්‍රිවිධ හමුදාව හා පොලිසියට අවශ්‍ය කණ්ඩායම් අපි ලබා දුන්නා.

රටේ සියලු ප්‍රදේශවල සැපයුම් මාර්ගවල ආරක්ෂාව සඳහා හමුදාව හා පොලිසිය සමඟ මේ අයවත් යෙදෙව්වා.

විශේෂයෙන් අපි කෙළේ ගම්මාන ආරක්ෂාව

අවසාන විජයග්‍රහණයේ දී නන්දිකඩාල් අවට ප්‍රදේශයට යුද හමුදාවට ආරක්ෂක ක්‍රියාකාරකම් සඳහාත් අපේ සහාය අවශ්‍ය වුණා. තුවාල වීම, මිය යාම හා අල්ලාගත් ප්‍රදේශවල ආරක්ෂාවට යුද හමුදා සෙබළුන් යෙදවීම නිසා ඔවුන්ට භට පිරිස් හිඟයක් ඇති වුණා. ඒ අනුව අපේ 4500ක් යුද හමුදාව සමඟ ඉදිරියට යවන්න අවශ්‍ය බව දැනුම් දී තිබුණා.

අපේ සිවිල් ආරක්ෂකයො ඉතා කැමැත්තෙන් ස්වේච්ඡා වෙන්ම ඉදිරිපත් වුණා. ඒ අනුව අපේ 4500ක් අවසන් අදියරේදී සටන් බිමට ගියා. විජයග්‍රහණයට අපේ අයගෙ දායකත්වය ඉමහත් රුකුලක් වුණා. අද යුද හමුදාවට මේ කණ්ඩායම කුඩා පිරිසක්. ඒත් එදා ඉතා වටිනා පිරිසක් බවට පත් වෙලා හිටියා. මේ අයගෙන් 2000ක් යුද හමුදා ස්වේච්ඡා හමුදාවට බැඳී අදත් සේවය කරනවා.

මේ දායකත්වය වෙනුවෙන් සිවිල් ආරක්ෂකයින් ලද උපහාර මොනවාද ?

විජයග්‍රහණයෙන් පසු ඒ වෙනුවෙන් ගාලු මුවදොර පැවැති උළෙලේ දී පෙළපාළියට අපේ බලකායට හමුදාව සමඟ එක් වීමට අවස්ථාව ලැබුණා. කලින් එවන් පිළිගැනීමක් අපට තිබුණෙ නැහැ.

එද සිටි අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට ශ්‍රී ලංකා වාසීන්ගේ ජාතියේ උපහාරයට ලක් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරු සමඟ වීරසේකර මහතා කැඳවා උපහාර පුද කළා. පළාත් බද උත්සව වලදීත් කැඳවා උපහාර පුද කෙරුණා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ උපහාර පුද කිරීමට මුල් වුණා. සිවිල් ආරක්ෂක බලකායේ වසර විස්ස ඉක්ම වූ අයට දීර්ඝ සේවා පදක්කම් පිරිනමා ඇගයීමකට ලක් කළා. මේ දිරිගැන්වීම හා පිළිගැනීම නිසා අපේ කණ්ඩායම ඉතා අභිමානනීය ලෙස රාජකාරී සඳහා කැපවීම තවත් වැඩි වුණා.

‘මහින්ද චින්තනය’ දෙවන අදියර යටතේ සිවිල් ආරක්ෂකයින් විශ්‍රාම වැටුපට හිමිකම් කියන ස්ථිර සේවකයින් බවට පත් කිරීම සඳහා පියවර ගැනෙන බවට යෝජනා වී තිබෙනවා.

මෙවැනි සේවාවක් සිදුකළ අපේ කණ්ඩායම අවසන් විජයග්‍රහණයට පවා එක් වුවත් ස්ථිර බවට පත් කැර තිබුණේ නැහැ. සිවිල් ආරක්ෂකයා එදා කිසිම ඇගැයීමකට ලක් වුණ පිරිසක් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම්තුමා විසින් අපට අවි ආයුධ දීලා පුහුණුවීම් ලබා දී විශේෂයෙන් දින ගණනක් වනයේ රැඳී ආවේශන (කුඩා කණ්ඩායම් ලෙස බුද්ධි තොරතුරු රැස් කිරීම) රාජකාරි පුහුණුව පවා සිවිල් ආරක්ෂකයා ලබා තිබෙනවා.

අනෙක් හමුදාවන් වගේම අපේ අයත් සටන් බිමේ සතුරාට මුහුණ දීමට හැකි පුහුණුව ලබා තිබෙනවා. යුද්ධයේ දී එය මහත් රුකුලක් වුණා. 2005 දී කැබිතිගොල්ලෑවට එල්ල වූ බස් බෝම්බ ප්‍රහාරයෙන් පසුව වඩාත් සන්නද්ධ හැකියාවෙන් පිරිපුන් පිරිසක් බවට පත් කළා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙවැනි පිළිගැනීමට ලක් වූවන් බවට පරිවර්තනය කිරීමේ ගෞරවය එවකට අධ්‍යක්ෂව සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාටත් හිමිවිය යුතුයි.

දැන් අනාරක්ෂිත ගම්මාන නැහැ. යුද්ධය අවසන් මින් ඉදිරියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටු කරන සේවාවන් කෙසේ විය හැකිද ?

වසර තිහකට පස්සෙ රටේ ආරක්ෂාව ඉතා සීඝ්‍ර ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. තර්ජන නැහැ. ආරක්ෂාවට යොදවනු කණ්ඩායම් අවම කිරීමට හැකි වී තිබෙනවා. මේ අනුව සංවර්ධන ක්‍රියාවලියට දායකවන ලෙස දැනටමත් උපදෙස් ලැබී තිබෙනවා.

ප්‍රාදේශීය මට්ටමෙන් ගොවිපළ පවත්වාගෙන යාම දැනටමත් සිදු කෙරෙනවා. අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන්නෙ හිස් ඉඩම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දෙන්න කියා. රට පුරා ගොවිපළවල් ඇති කිරීමට එය ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට මහත් රුකුලක්.

සිලාවතුර හා කජු වත්ත පොළොන්නරුව කන්දකාඩු ප්‍රදේශවල මහා පරිමාණ ගොවිපල ඇති කිරීමට යෝජිතය. පුරා විද්‍යා ස්ථාන භූ අලංකරණ කටයුතු, ඒවා ආරක්ෂා කිරීම පවත්වාගෙන යාම හා නඩත්තුව අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අවුකන, හල්මිල්ලවැටිය හා රිටිගල භූ අලංකරණය සිදුකර අවසානයි.

මේ අත්දැකීම් උපයෝගී කරගෙන ලංකාවේ ප්‍රසිද්ධ සියලු පුරා විද්‍යා වටිනාකමකින් යුතු ස්ථාන පිළිසකර කිරීම අපේ අනාගත බලාපොරොත්තු අතර තිබෙනවා.

අපේ අය එවැනි දේට යොදවන්නට කැමැති නම් දෙපාර්තමේන්තුව හා වගකිවයුතු අය හරහා අවශ්‍ය ද්‍රව්‍ය ආහාර සපයනවා නම් පඩි රහිතව මේ අය එක් වෙනවා. රටේ කොතැනක තිබෙන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු තැනක් සංරක්ෂණයට පවිත්‍ර කිරීමට අපි සූදානම්.

රාජ්‍ය ආයතන අමාත්‍යාංශ, අධිකරණ, බැංකු, විදුලිබලාගාර හා ජලාශ ආරක්ෂාව සඳහා අපේ භට පිරිස් යෙදවීමට මූලික කටයුතු දැනටමත් කෙරෙමින් පවතිනවා.

වෘත්තීය පුහුණුව ලබා දී සිවිල් ආරක්ෂකයන්ට විදෙස් රැකියා අවස්ථා ලබා දීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා. මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය නැවත ඇරැඹීමටත් යෝජනාවක් තිබෙනවා.

වනජීවි හා වන සංරක්ෂණ කටයුතුවලට පිරිස් යෙදවීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හදිසි ආපදා කළමනාකරණ සේවාවන් සඳහා ද ඒ අයට පුහුණුව ලබා දීම, මාර්ග ප්‍රතිසංස්කරණය, වැව් ප්‍රතිසංස්කරණය, ඇතුළු විශිෂ්ට ගනයේ සේවාවන් වලට දායක කරවීම බලාපොරොත්තුව.

මහා පරිමාණ යුද කඳවුරු පිහිටුවීමේ කටයුතුවලට සිවිල් ආරක්ෂකයින් 1000ක් දැනටමත් යුද හමුදාවට ලබා දී තිබෙනවා.

රජයෙන් ගෙන යන සංවර්ධන ක්‍රියාවලියෙදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදිය හැකි ශ්‍රම දායකත්වය ලබා දීමටත් එවන අභියෝගය සතුටින් භාර ගැනීමටත් සිවිල් ආරක්ෂකයින් බලා සිටිනවා.

මොනයම් හෝ ආපදාවකදී සතුරු කරදරයකදී අපේ දහම් දිවයින බේරා ගන්න අදෘශ්‍ය මාන බලවේගයක් ඇති බවට පැරැන්නන් අතර විශ්වාසයක් පවතිනවා. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය හා මහනුවර දළදා වහන්සේ වැඩසිටීම මෙයට හේතු බව බෞද්ධයින්ගේ විශ්වාසය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත් වීමත් ඒ දෙදෙනා විසින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමත් මේ අදෘශ්‍යමාන බලවේග ජාතියේ පිනට සිදුකළ පත් කිරීම් තුනක් යැයි මා විශ්වාස කරනවා.

මේ ලද ජයග්‍රහණය සාමකාමී බව අපේ මව් බිමේ හා එහි ජීවත් වන ජනතාවගේ වාසනාව මේ ලද ජයග්‍රහණය අපේ රණවිරුවන්ගේ ජවයෙන්, ලේ, කඳුළින් උදාකර ගත්තෙ. නිසි නායකත්වය, මඟ පෙන්වීම උපක්‍රමශීලී බව ජයග්‍රහණයට මූලික වුණා. මීට පෙරත් අපේ රටේ නායකයින් ආරක්ෂක ලේකම්වරු හිටියා. ඒත් වර්තමාන ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා කළ කැපකරීම් කවුරුත් කෙළේ නැහැ.

යුද පිටියේ සිටින සෙබළා සමඟ කතාකැර අවශ්‍ය දෑ කඩිනමින් සපුරා ලමින් ඔවුන්ගේ මානසික මට්ටම නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. එසේ නොවන්නට මේ විජයග්‍රහණය අපට භුක්ති විඳින්න ලැබෙන්නෙ නැහැ.

සාමය උදාකර ආර්ථික සංවර්ධනය කරා යන මේ ගමනට රට වැසි සියලු දෙනාටම එක් වන ලෙස යුද්ධය අවසන් ව වසරක් ඉකුත් වෙමින් පවතින මේ මොහොතෙ මා ඉල්ලා සිටිනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා