වේග රැජන සුසන්තිකාගේ රිදී පදක්කම ජනපති සුරතින් හෙට පිළිගැන් වෙයි

ඔලිම්පික් ඉතිහාසය අලුතින් ලියූ

වේග රැජන සුසන්තිකාගේ රිදී පදක්කම
ජනපති සුරතින් හෙට පිළිගැන් වෙයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහට හිමි වූ ඔලිම්පික් රිදී පදක්කම හෙට (21 වැනිදා) පස්වරු 4.30 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමේ.

මේ ඓතිහාසික අවස්ථාව පිළිබඳ ‘දිනමිණ’ ට අදහස් දැක් වූ සුසන්තිකා ජයසිංහ පැවැසුවේ වසර 10කට පසුව තමාට හිමි නිවැරැදි අගය කිරීම, ලොව පිළිගත් එඩිතර නායකයකු අතින් ලබා ගැනීම තම ජීවිතයේ සුන්දරම අවස්ථාවක් බවයි.

වසර 10කට පසු ලැබුණු සම්මානය ලොවම පිළිගත් එඩිතර
නායකයාගෙන් හිමිවීම වාසනාවක්
- සුසන්තිකා

‘කාලයාගේ ඇවෑමෙන් සත්‍ය ජය ගන්නවා. මෙය ජනාධිපතිතුමාගේ සුරතින්ම මට ලැබෙන්න තිබූ දෙයක්. මවු බිමට ජයග්‍රහණ රැසක් අත්කර දුන් නායකයා අතින් රිදී පදක්කම හිමි වීම මා ලද වාසනාවක්’ සුසන්තිකා ‘දිනමිණ’ ට පැවැසුවාය.

ක්‍රීඩා ඇමැති සී. බී. රත්නායක මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එස්. ලියනගම, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුද ජ්‍යෙෂ්ඨතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වෙති.

වසර 2000 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරග ඉසව්වට එක් වූ සුසන්තිකා ජයසිංහට එම ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හිමි වූවද රන් පදක්කම දිනා ගත් මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගත් බවට වැරැදිකාරිය වීමෙන් ප්‍රතිඵල සංශෝධනය විය.

.ඇමෙරිකානු ජාතික මේරියන් ජෝන්ස් වෙත පිරිනැමුණු රන් පදක්කම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලබාගත් අතර එය දෙවැනි තැන දිනූ බහමාස්හී ඩේවිඩ් තොම්සන්ට පිරිනැමුණි. ඇය සතුකරගෙන තිබු රිදී පදක්කම පසුගියදා ශ්‍රී ලංකාවට එවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගත්තේ ය.

සිඩ්නි ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 ප්‍රතිඵල සංශෝධනයට අනුව බහමාස්හී ඩේවිඩ් තොම්සන් තත්ත්පර 22.27, ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ තත්පර 22.28 හා ජැමෙයිකාවේ බෙවලි මැක්ඩොනල්ඩ් තත්පර 22.35 ලෙස සියලු වාර්තා අලුතින් ලිය වී ඇත.

සුසන්තිකා ජයසිංහ ලෝක හා ආසියානු ක්‍රීඩා තරගාවලි කිහිපයකදීම මීටර් 100 හා 200 ඉසව්වලින් ජයග්‍රහණය ලබා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩිකාවකි.

සුසන්තිකාට පෙර 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ඩන්කන් වයිට් ඔලිම්පික් රිදී පදක්කමක් දිනා තිබුණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා