තායි රජය රතු කමිසකරුවන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි

තායි රජය රතු කමිසකරුවන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි

තාවකාලික බාධක හමුදා රථ යොදා විනාශ කරයි

තායිලන්තයේ බැංකොක් නුවර කඳවුරු බැඳගත් රාජ්‍ය විරෝධී රතුකමිසධාරීන්ට එරෙහිව ප්‍රහාර අරඹා ඇති තායි ආරක්ෂක බළකායන් එම කඳවුරු වටා ඉදි කර ඇති තාවකාලික බාධක පවුරු සන්නද්ධ හමුදා රථ යොදමින් පොඩි පට්ටම් කර දැමීමට ඊයේ පෙළඹී තිබිණ.

ටයර් කටු කම්බි හා ලී පොලු ආදිය හරස් කොට තැනුණු බාධක පවුරු පොඩි පට්ටම් කරමින් සන්නද්ධ රථ කඳවුරු භූමියට ඇතුළු වීමත් සමග වෙඩි හඬද නැඟුණු අතර වෙඩි වැදී තුවාල ලත් පස් දෙනෙකු රෝහල් වලට ඇතුළත් කර තිබිණ. මෙයින් දෙදෙනකුට පපුවට හා උදරයට වෙඩි වැදී තිබුණු අතර ඔවුන් සැත්කම් වලට භාජනය කෙරී ඇත. සෙස්සන් ප්‍රතිකාර ලබා රෝහල් වලින් බැහැර වී තිබේ.


තායිලන්ත රාජ්‍ය විරෝධීන්ගේ සටන් බිමට ඊයේ කඩාවැදුණු එරට හමුදාව ඔවුන් අත්අඩංගුවේ රඳවාගෙන ඇති අයුරු. ඒ. එෆ්. පී.

මේ අතර විරෝධතා දක්වන්නන් මෙයාකාරයෙන් මර්දනය කිරීමෙන් ඔවුන් ගරිල්ලා යුද්ධයකට අවතීර්ණය විය හැකි බව රටින් පිටුවහල් ව සිටින හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා ප්‍රකාශ කර තිබේ.

හමුදා මර්දනයකින් ජනතාව අතර පැතිරෙන සිත්තැවුල ගරිල්ලා යුද්ධයකට පෙරළිය හැකි බව දක්වන න්‍යායක් පවතින බව විදෙස් පුවත් සේවයකට දුරකතනයෙන් කරුණු දක්වමින් ෂිනවත්‍රා කීවේය.

ඒ සමගම රජය හා රාජ්‍ය විරෝධීන් අතර සාකච්ඡා අසාර්ථක වීමේ ලොකුම බාධකය ෂිනවත්‍රා බවට රජයේ පාර්ශවයෙන් නැගී ඇති චෝදනාවද ඔහු ප්‍රතික්ෂේප කෙළේය.

හමුදාව පවසන්නේ ජනතාවට ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ මුලික කාර්යභාරයක් බැවින් ඊට ඉවහල් වන අයුරින් ආරක්ෂක සීමාවක් ගොඩනැගීම රාජ්‍ය විරෝධීන්ට එරෙහි ප්‍රහාරයේ මුලික අරමුණ බවය.

හමුදා මෙහෙයුමක් ඇරඹී තිබුණද රාජ්‍ය විරෝධීන් කඳවුරු භූමිය අත්හැර යන අයුරක් පෙනී ගොස් නැත. තවමත් 5000 ක පමණ පිරිසක් රතුකමිස නායකයින් සමග කඳවුරු වල රැඳී සිටින්නේ කාන්තාවන් හා ළමයින්ද සමගය. දෙපාර්ශවය අතර අවසන් මොහොතේ අසාර්ථක සාම සාකච්ඡා වටයකට මැදිහත් වූ සෙනේට් සභිකයන් 60 ක කණ්ඩායමේ ප්‍රධානියකු අනතුරු අඟවමින් දැරිය නොහෙන ජීවිත හානි සිදු විය හැකි බව ප්‍රකාශ කර ඇත.

රජය හමුදා බලය යෙදීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය විරෝධීන් වළකාලීමට නොව මර්දනය කිරීමට බව පැවසී තිබේ. මේ අනුව සන්නද්ධ හමුදාව ට්‍රක් රථ පිටින් එහි ළඟාවන අතර ගුවනින් හෙලිකොප්ටර් යානා මගින් සෝදිසි කටයුතු අරඹා ඇත.

මෙම මෙහෙයුම මගින් රාජ්‍ය විරෝධීන් මර්දනය කොට පලවා හැරීමට අමතරව අලුත් කොටස් එහි ඇතුළුවීම වළකාලන බවද සඳහන් වී තිබේ.

කඳවුරු බැමි බිඳ දැමුවද හමුදාව තවදුරටත් ඉදිරියට යන්නේද යන්න මතුවන තත්ත්වයන් මත තීරණය කැරෙන බවද පැවසී ඇත.

තත්ත්වය මෙසේ වතුදු රාජ්‍ය විරෝධීන් කඳවුරු බිම අත්හැර යාමේ අභිලාෂයක් නැති බව පෙනී ගොස් තිබේ. සන්සුන්ව සිටින ලෙස නායකයින් උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලා ඇත. ඒ සමගම විරෝධතා ගීත මගින් ඔවුන් දිරිමත් කිරීමටද ඔවුන් පියවර ගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා