ටෙලි නාට්‍ය ගිම්හානය නිවන ‘ස්වයංජාත’

ටෙලි නාට්‍ය ගිම්හානය නිවන ‘ස්වයංජාත’

2008 වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ සමරවීර විජයසිංහගේ ස්වයංජාත නවකතාව ඇසුරෙන් සුදත් රෝහණ විසින් නිර්මාණය කරන ලද ‘ස්වයංජාත’ ටෙලිනාට්‍ය 2010 මැයි 2 දා සිට ඉරිදා රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ටෙලිනාට්‍ය නමින්, විසූක දස්සන, රූපවාහිනී නාලිකා අරක්ගත් මෙසමයෙහි රසිකයන්ගේ නෙතට රසඳුනක් වූ ටෙලිනාට්‍ය කිහිපයක් ම නිර්මාණය කළ සුදත් රෝහණ එම ක්ෂේත්‍රයෙහි අපර්මිත වූ කැපවීමකින් හා අධිෂ්ඨානයකින් යුක්ත ව තම මෙහෙවර ඉටු කරමින් සිටිනා නිර්මාණකරුවකු ලෙස හඳුන්වා දීම යුක්ති යුක්ත ය. මෑත දී ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ‘කළුවර ගෙදර’ ටෙලි නාට්‍යය ම වුව කලාකරුවකු ලෙස ඔහුගේ අවංක බව සහ සමාජ උන්නතිකාමී බව මොනවට කියාපාන්නකි. දිලිසෙන විලිසියානු කාසි අතර රන්මසු අවප්‍රමාණ වන යුගයක බාල ගණයේ තොරොම්බල් කාරයන් සමඟ ස්වාධීන චින්තනයකින් හෙබි කලාකරුවකු හට කරන්නට සිදුවන අරගලය සුළු පටු නොවේ. එසේ නමුත් කලාකරුවකු හැටියට ඔහු දිනෙන් දින මුවහත් වන ආකාරය මෙවර ප්‍රේක්ෂකයන් අතරට එන ‘ස්වයංජාත’ ටෙලිනාට්‍ය නිර්මාණය කැටපත් කරයි.

රාජ්‍ය නායකයාගේ මැදිහත්වීමෙන් ඉදි වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍ය ගම්මානය වන ‘රන්මිණිතැන්න’ ගම්මානයෙහි නිෂ්පාදනය කරන ලද ප්‍රථම නිර්මාණය වනුයේ ද ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යය යි.

ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොහින් බුදුව එනකන් හිටපන් දේවී

ස්වයංජාත නවකතාව ඇසුරින් එහි තිර රචනය ලිවීම ඇරඹූ තිස්ස අබේසේකර කතාවේ අවසානය කුළු ගැන් වූයේ යසෝදරාවතින් උපුටාගත් ඉහත කව් දෙපදයෙනි. තිස්ස අබේසේකරයන් හට ලියා ගත හැකි වූයේ එම කතාවේ කොටස් කිහිපයක් පමණි. ඔහුගේ වියෝවත් සමඟ තිරකතාව සම්පූර්ණ කිරීමේ වගකීම පැවරුණේ සරත් ධර්මසිරි හට ය.

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහි ව ජාතික අරගලයක මූල බීජය උපන් 20 වැනි සියවසේ දෙවැනි දශකයේ පමණ සිට වාමාංශික ව්‍යාපාරයේ නැගීම හා වැටීම පිළිබිඹු කරන 70 දශකය පමණ දක්වා වූ අඩසියවසක සමාජ පරිවර්තනය මේ කතාවේ සමාජ පසුබිමයි. විවාපත් වී කලක් ගත වන තුරු දරුවකු නැතිකමින් දුකට පත් පබිලිනා හා උදේළනිස් යක්කුටිගල හාමුදුරුවන් මුණ ගැසීමට යන්නේ ශාන්තිකර්මයක් කරවා ගැනීමට ය. කාලවර්ණ පෙනුමෙන් යුත් යක්කුටිගල හිමියන්ගේ රූපකාය මෙන්ම නාමකාය ද ගැමියන් තුළ බිය සහ ගෞරවය මිශ්‍ර වූ සංකීර්ණ හැඟීම් සමුදායක් ඇති කළේ ය.

ගැබ්ගත් එමලිනා තම දරුවා බිහි කළ පසු විශාල ඛේදවාචකයකට මුහුණපාන්නේ දරුවට යක්කුටිගල හිමියන්ගේ ම ප්‍රතිරූපයක් වීම හේතු වෙනි.

මේ සිදුවීම නිසා යක්කුටිගල හිමියන් හට වනගතව භාවනා කරන්නට සිදුවන අතර එමලිනා ගැරහුම්වලට ලක්ව වස කා මියයයි. විභූ®තිරත්න නම් වූ මේ සුවිශේෂී දරුවා සමාජයේ නිග්‍රහයට පාත්‍ර වුව ද ඔහුගේ කාලවර්ණ, විරූපී වත අතරින් අසාමාන්‍ය පෞරුෂයක් මතුව එයි.

දුටුවන් බියට පත්කරවන පෙනුමකින් යුත් විභූතිරත්නගේ රූපකාය තුළ විකසිත ව ඇති උදාර ගති ඇති මිනිසා කටුකත්වය මැද උපන් මියුරු පලයක් වැන්න.

මෙසේ ආරම්භ වන මේ කතා පුවත පවුල් පරම්පරා දෙකක ජීවන විත්තිය ඔස්සේ සමාජ පරිවර්තනයක සුලමුල පිරික්සයි. මෙම ටෙලිනාට්‍යය විශාල ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වූවකි. විභූතිරත්නගේ අසාමාන්‍ය චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පියකු වූ ජගත් චමිල විසිනි. චතුරිකා පීරිස්, පාලිත සිල්වා, සේමිණි ඉද්දමල්ගොඩ, ජනක ප්‍රේමලාල්, දමිතා අබේරත්න, ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය, හේමසිරි ලියනගේ , සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චින්තක කුලතුංග, අතුල පතිරණ, ප්‍රගීත් රත්නායක, අනුරුද්ධිකා පාදුක්කගේ, ෆර්නි රෝෂිනී, ශ්‍රියානි මහවත්ත, තමාලි නදීශා, ටෝනි රණසිංහ, සේනානායක වේරලියද්ද, ජී. ආර්.පෙරේරා, සෝමලතා සුබසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, නිරෝෂාන් විජේසිංහ, අශේන් මංජුල, චමල්ෂා දෙව්මිණි, ඥාණාංග ගුණවර්ධන, රිචඩ් මානමුදලි, සමන් අල්මේදා, ගාමිණී ජයලත්, මනෝහරී විමලතුංග, දී.ග. සෝමපාල, ගාමිණී අම්බලන්ගොඩ, කුලසිරි මල්ලිකාරච්චි, නිමල් ජයසිංහ සහ උද්දික ප්‍රේමරත්න සෙසු චරිත නිරූපණය කරති.

කේ. ඒ ධර්මසේන කැමරාකරණයෙන්ද, දීප්ති මංගලසෝම කලා අධ්‍යක්ෂණයෙන් ද, නලීන් ප්‍රේමතිලක හා පූජිත සන්දාද්‍රර වේෂ නිරූපණයෙන් ද, චාමර චින්තක හා චමල් ප්‍රබෝධ රත්නායක සහය, අධ්‍යක්ෂණයෙන් ද මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ප්‍රධාන සහාය අධ්‍යක්ෂණයෙන් ද, ගුණතිලක රණවක නිෂ්පාදන කළමනාකරණයෙන්ද, සෑම් පෙරේරා කොණ්ඩා සැකසුමෙන් ද, බණ්ඩාර ඇහැළියගොඩ ගීත රචනයෙන් ද, විශාරද නන්දා මාලිනී සහ සුනිල් එදිරිසිංහ ගායනයෙන් ද, චානක ද සිල්වා සංස්කරණයෙන් ද, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වී සිටිති.

සෙරනිට් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි, බන්ධුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සහ බණ්ඩාර ඇහැලියගොඩ විසින් ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කර ඇත. ඉදිරිපත් කිරීම ස්වාධීන රූපවාහිනිය විසිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා