කොටි සංවිධානයට සම්බන්ධවීම ගැන අද පසුතැවිලි වෙනවා

කොටි සංවිධානයට සම්බන්ධවීම ගැන අද පසුතැවිලි වෙනවා

විනයාගමූර්ති මුරලිදරන් නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමැති

* ත්‍රස්තවාදය නිමාවී වසරයි. ඒ සම්බන්ධයෙන් ඔබ මොනවද හිතන්නේ ?

පුදුම සතුටක් දැනෙනවා. උතුර නැෙඟනහිර පමණක් නොවේ සමස්ත ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින දෙමළ ජනතාව සියලු බැමි වලින් නිදහස් වෙලා. දෙමළ ජනතාව දැන් අලුත් ජීවිතයකට හුරුවෙලා. ඔවුන් නිදහසේ හුස්ම ගන්නවා වගේම ඔවුන්ගේ ජීවිත සශ්‍රික වෙමින් පවතිනවා යැයි මට හිතෙනවා.

* වසර 30 ක් තුළ ඔවුන් ගෙවූ ජීවිතය කවරාකාරද ?

ඒ ගැන කියල වැඩක් නැහැ. මේ ලෝකේ අසරණ ජීවිතයක් ගත කළ ජනතාව දෙමළ ජනතාවයි. මමත් ඔවුන්ට ගෙවන්නට සිදුවූ ඒ අසරණ ජීවිතයට වගකිව යුතුයි. එය තේරුම් අරගෙන කොටි සංවිධානයෙන් ඉවත්වී ඔවුන්ට සේවය කරන්නට කැපවුණේ් ඒ නිසයි.

* යුද්ධය නිසා උතුරේ දෙමළ තරුණ තරුණියන් විශාල පිරිසක් මිය ගියා. ඔබ ඒ ගැන මොනවද කියන්නේ ?

විශාල පසුතැවිල්ලක් ඇතිවී තිබෙනවා.දෙමළ තරුණ තරුණියන් දහස් ගණන් මිය ගියා. ඔවුන් අද මේ රටේ යහපත් ජීවිත ගත කිරීමට සිටි අයයි. තරුණ වයසේදී සිතට වදින හැඟීම් නිසා ත්‍රස්තවාදයට එකතු වුණා. විනාශ වූ තරුණ දෙමළ ජීවිත ගැන පමණක් නොවේ සිංහල හමුදාව මේ සාමාන්‍ය ජනතාව දූ දරුවන් මවුපියන් මේ සෑම කෙනෙකුගේම ජීවිත නැතිවුණේ උන්මන්තක ත්‍රස්තවාදය නිසයි.

* යුද්ධයෙන් විනාශ වූ දෙමළ ජනතාවගේ පවුල්වල සාමාජිකයන්ට ඔබ ප්‍රකාශ කර සිටින්නේ කුමක්ද ?

එදා මොකක්දෝ වැරදීමක් මත අප කොටි සංවිධානයට සම්බන්ධ වුණා. එහෙත් දැන් සිටින තරුණ ජීවිත ඉන් මිදී සිටිනවා. සිදුවූ දේ සිදුවුණා. දැන් ඉවරයි. ඔවුන් අලුත් ජීවිත ගත කළ යුතුයි. ඒ කාලේ තිබූ දැඩි මානසික පීඩනය දැන් නැහැ. එම නිසා තවදුරටත් මෙවැනි දේවල් ගැන නොසිතා ඉදිරි දරු පරම්පරාවල් ගැන සිතා ජනාධිපතිතුමා ලබාදී ඇති නිදහස තුළින් ජන ජීවිතය සාර්ථක කර ගනිමින් සෞභාග්‍යමත් ජීවිතයක් උරුම කර ගැනීමේ මාර්ගයට යොමු වෙන්නැයි මම ඔවුන්ට දැනුම් දී සිටිනවා.

* කොටි සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රබල නායකයකු ලෙස ඔබ කටයුතු කළා. ඔබ සිතනවද යම් තැනක ඔබට වැරදීමක් සිදුවුණා කියලා ?

ත්‍රස්තවාදය ආරම්භ කළේ මම නොවෙයි. හිටපු දේශපාලනඥයන්ගේ යම් වැරදි ප්‍රයෝජනයට ගනිමින් ප්‍රභාකරන් තමාට ලෝකයක් හදා ගැනීමට එහි නායකයා වුණා. ප්‍රභාකරන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලි වෙන විට අප ආපසු එන්න බැරි දුරකට ගමන් කර තිබුණා. ත්‍රස්තවාදය නිසා මට අහිමි වූ දේ අප්‍රමාණයි.

මගේ සහෝදරයා ඥාතීන් විශාල පිරිසක් මිය ගියා. අපට වැරදුණ තැන කුමක්දැයි තේරුම් ගන්නා විට අප ප්‍රමාදයි. දැන් ඒ ගැන හිතන විට විශාල කලකිරීමක් ඇතිවෙනවා.

* ඔබේ ජීවිතයෙන් වැඩි කාලයක් ගතවුණේ කොටි සංවිධානය වෙනුවෙන්. එසේ නොවුණා නම් ඔබේ අද තත්ත්වය කුමක්ද ?

මගේ පාසල් ජීවිතය සාර්ථක එකක්. අ. පො. ස. සාමාන්‍ය පෙළට මම හැදෑරුවේ ජීව විද්‍යා විෂයයන්. මේකාලයෙහි ත්‍රස්තවාදී බීජය මගේ හිතට ආවේ මගේම අවාසනාවට. නැතිනම් මම අද වෛද්‍යවරයෙක්. මගේ ඒ සිහිනය ත්‍රස්තවාදය විසින් බිළිගත්තා.

* ප්‍රභාකරන් මිය ගොස් වසරයි. ඔහු ජීවත් වූ කාලය තුළ කටයුතු කළේ කිසිදා නොමැරෙන අයකු ලෙසයි ?

ඔහුගේ ම්ලේච්ඡ භාවය තුළින් ඔහු කටයුතු කළේ එම අරමුණ මතයි.

එහෙත් දෙමළ ජනතාව ඔහුගේ මරණය ප්‍රර්ථනා කළා. ඔවුන් ගත කළ දුක්ඛිත ජීවිත ගැන කියන්න වචන නැහැ. තරුණ දරුවන්ව බලහත්කාරයෙන් යුද්දෙට පැහැරගෙන යද්දී මවුපියන් හඬා වැටුණේ පපුවේ ගින්න ඉවසා ගත නොහැකිවයි. එම ම්ලේච්ඡ අපරාධ තුළින් රටක් දිනන්න බැරි බව අපට පෙනී ගියා. ලෝකයේ පොල්පොට්, හිට්ලර්, මුසෝලිනි වැනි අපරාධකරුවන් මිය ගියා. ප්‍රභාකරන් මරණයට බය නිසා ඒ ගැන හිතන්න බය වුණා.

* ඔබ කොටි සංවිධානයෙන් ඉවත් වුණේ ඇයි ?

වසර ගණනාවකට පෙර කොටි සංවිධානය සහ රජය අතර ඔස්ලෝවලදී සාම සාකච්ඡාවක් ඇතිවුණා. එම සාකච්ඡාවට ඇන්ටන් බාලසිංහම් මම සහ රුද්‍රකුමාර් සහභාගි වුණා. ප්‍රභාකරන් මා යැව්වේ ගිවිසුමේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න එපා කියලයි. සාකච්ඡා ඇරැඹුණා. රජය පැත්තෙන් ෆෙඩරල් ක්‍රමයකට යෝජනා ඉදිරිපත් වුණා. සලකා බලන විට යුද්ධයකට වඩා එය හොඳ බව මට තේරුම් ගියා.

ඇන්ටන් බාලසිංහම්ට මම කීවා අස්සන් කරන්න කියලා. ඒත් ප්‍රභාකරන් ඇන්ටන්ට උපදෙස් දී තිබුණා කිසිම ගිවිසුමකට එකඟ වෙන්න එපා කියලා. ඒකට හේතුව ප්‍රභාකරන්ට ගිවිසුම් තුළින් හෝ යුද්ධය තුළින් ත්‍රස්තවාදයට පිටින් විසඳුමක් ලබන්න කැමතිව හිටියේ නැහැ. ඔහුට ඕනෑවුණේ් හැමදාම ත්‍රස්තවාදී නායකයා ලෙස සැප සම්පත් තියාගෙන ජීවත් වීමයි. ගිවිසුම් යන අතරේ අවි ආයුධ එක්රැස් කර ගත්තා.

ප්‍රභාගේ අරමුණ දන්නා ඇන්ටන් එම ගිවිසුමට අස්සන් කරන්න බය වුණා. ප්‍රභාකරන් ඔහුටත් දඬුවම් දෙන බව දන්නවා. මම කීවා ඔහුට අස්සන් කරලා ලන්ඩන් වලට යන්න. ඉතිරි හරිය මම බලාගන්නම් කියලා. එවර ඔහු අස්සන් කළා.

මම ලංකාවට පැමිණීමටත් පෙර රුද්‍රකුමාර් එම ගිවිසුමට අස්සන් කිරීම ගැන ප්‍රභාකරන්ට දැනුම් දී තිබුණා. ඔහු හිටියේ දැඩි කෝපයෙන්. මම කැඳවූ ඔහු ගිවිසුම කැලී වලට ඉරා දැම්මා. අමු තිත්ත වචනයෙන් මට බැන්නා. මම කීව මට තවත් යුද්ධ කරන්න බැහැ කියලා. මොකද ප්‍රභාකරන් කවදාවත් යුද්දෙට යන්නේ නැහැ. මැරෙන්න ඕනෑ අපියි. ප්‍රභාකරන් එදා මට දඬුවම් නොදුන්නත් ඔහු මාව කොටු කර ගන්නා බව මම දැනගත්තා. මම සංවිධානයෙන් ඉවත් වුණා. ඔහු මා සමඟ සිටියේ දැඩි වෛරයකින්.

* ඔබ ඉවත් වන විට සෙසු නායකයන්ට ඒ ගැන කිව්වද ?

ඔව්. මම ඔවුන්ට පැහැදිලි කර දුන්නා ප්‍රභාකරන් අපව යොදාගෙන රටේ ජනතාවට හිරිහැර කරමින් ඔහුගේ පැවැත්ම හදා ගන්නා ආකාරය ගැන. කැමැති අයට මා සමඟ එන්න කීවා. නායකයන් කීප දෙනෙක් මා සමඟ එන්න කැමැත්තෙන් හිටියා. වැඩි දෙනෙක් හිතුවේ පැනගිය පසු ප්‍රභාකරන් ඔවුන් ලුහුබැඳ මරා දමාවි කියලයි. එහෙත් නැෙඟනහිර මා යටතේ සිටි සාමාජිකයන් හයදහසක් මා සමඟ සංවිධානයෙන් ඉවත් වුණා.

* ඔබ කොටි සංවිධානයේ ප්‍රබලයෙක්. එහෙත් ඔබ ඉන් ඉවත් වී ප්‍රභාකරන්ට බියෙන් ජීවත් වුණා. ඇයි ඔබ ඔහුට බියවුණේ ?

මම ඔහුට කවදාවත් බය වුණේ නැහැ. ඔහුට බිය වූ අය ඔහු ළඟ වැටී සිටියා. බය නැති නිසයි ඔහුගෙන් ඉවත් වුණේ. ඔහුට බය වූ නායකයන් අද මිය ගිහින්. මම අදටත් ජීවත් වෙන්නේ ප්‍රභාට බිය නොවූ නිසයි.

* කොටි සංවිධානය නැඟෙනහිර පළාතේ පවත්වාගෙන ගිය භාණ්ඩාගාරයේ තිබූ කෝටි ගණනක මුදල් ඔබ ගත් බව එකල ඔවුන් චෝදනා කළා ?

කොටි සංවිධානයට වැඩ කරන විට ඔවුන් මට හොඳ කිව්වා. අගය කළා. ඉන් ඉවත් වූ පසු විවිධ චෝදනා ඉදිරිපත් කළා. කොටි සංවිධානයේ සියලුම මුදල් වල බාරකාරයා වුණේ ප්‍රභාකරන්. ඒකයි මම කීවේ සංවිධානයේ සෙසු සාමාජිකයන් බය කරගෙන ඔහු සැප වින්දා කියලා.

* ත්‍රස්තවාදය මෙවැනි අවසානයකට ඒවි කියලා ඔබ හිතුවද ?

මට හිතුණා එවැනි දෙයක් වෙයි කියලා. ප්‍රභාකරන්ගේ ජීවන මාර්ගය හදා ගන්නයි යුද්ධය යොදා ගත්තේ. අන්තිම සටනේදී එය තවත් පැහැදිලි වුණේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අහිංසක මිනිසුන් මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම තුළින්. ඔහු හරි නායකයෙක් නම් අවසාන සටනට නොබියව ඉදිරිපත් වෙන්න තිබුණා. එහෙත් ඔහු මැරෙන්න බය පුද්ගලයෙක්. ඔහු ගේ උන්මාදය පරාජය වී ඔහුද මරණයට පත් වුණා. ඔහුට වඩා කැපී පෙනෙන නායකයන්ට ඔහු ඊර්ෂ්‍යා කළා. මම සංවිධානය තුළ සිටියදී ඔහු අභ්‍යන්තරයෙන් මට ඊර්ෂ්‍යා කළා. කෙසේ වෙතත් ත්‍රස්තවාදය එසේ අවසන් විය යුතු දෙයක් බව මා තදින්ම සිතාගෙන සිටියා.

* එදා ප්‍රභාකරන්ගේ මළ සිරුර දකින විට ඔබට මොනවද සිතුණේ ?

මට දැඩි සතුටක් ඇතිවුණා. දෙමළ ජනතාවගේ ජීවිත බිළිගත් මේ ම්ලේච්ච මිනිසාට ඒ ඉරණම අත් වෙන තෙක් අප බලා සිටියා. සිංහල හමුදාව ඒ ජයග්‍රහණය ලබා ගත්තේ දෙමළ ජනතාව ඇතුළු සමස්ත රටේම ජනතාවට සාමය උදා කර දෙමින්. ජනාධිපතිතුමාගේ සේනාධිනායකත්වය තුළින් දුන් සෘජු අණ කිරීම ප්‍රභාකරන්ට ඒ ඉරණම ලබාදීමට හේතු වුණා.

* ඔබ ප්‍රභාකරන්ගේ සිරුර දුටු විට තිගැස්සුණ බවට කතාවක් පැතිර ගියා ?

මා තිගැස්සෙන්නේ ඇයි ? කණගාටුවෙන්නේ ඇයි ? මාව මරන්න කොටි කණ්ඩායම් එවු ඔහුට මෙවැනි ඉරණමක් ඇතිවීම සතුටක් නොවෙයිද ? ඒ උන්මන්තකයා නිසා අහිංසක මිනිස් ජීවිත මොන තරම් විනාශ වුණාද ? එදායින් පසු මේ රටේ කිසිම පුද්ගලයෙක් ඒ ත්‍ර‍්‍රස්තවාදියා නිසා මිය ගියේ නැහැ.

* දෙමළ තරුණ ජීවිත මරාගෙන මැරෙන්න යෙදෙව්වා. ප්‍රභාකරන් ඇතුළු සමස්ත නායකයන්ගේ දරුවන්ට සුඛෝපභෝගී ජීවිත උරුම කර දුන්නා. ඔබත් එසේ කළා නේද ?

තරුණ ජීවිත මරාගෙන මැරෙන්න යැවීම ප්‍රභාකරන් විසින්ම ක්‍රියාත්මක කරන දෙයක්. නායකයන් හා ඔවුන්ගේ දරුවන් සැප වින්දා. එහෙත් මමත් යුද්ධයට මැදිවී අප්‍රමාණ ලෙස දුක් වින්දා. සැප වින්දේ උතුරේ නායකයන් හා ඔවුන්ගේ දරුවන්.

* ඔබට තවමත් ජීවිත තර්ජන තිබෙනවාද ?

මෙරට ත්‍රස්තවාදය අවසන්. තැන තැන අලු යට ගිනි වගේ දේවල් තිබිය හැකියි. ජාත්‍යන්තර කොටි ජාලයද සම්පූර්ණයෙන් අවසන් නැහැ. ඒ නිසා මට තර්ජන තිබෙන්න පුළුවනි.

* ඔබ කොටි සංවිධානයේ සිටින කාලයේ සිට ජනාධිපතිවරු දුටුවා. එහෙත් ත්‍රස්තවාදයට ස්ථිර විසඳුම දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඔබේ අදහස ?

පසුගිය කාලයේ රට පාලනය කළ ජනාධිපතිවරු යුද්ධ කරන්නැයි හමුදාවට අණ කරන අතරතුර යටින් කොටි සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. ඔවුන් ගෙව්වේ දෙබිඩි ජීවිතයක්. ප්‍රභාකරන් හිතුවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් කලින් සිටි ජනාධිපතිවරු වගේ කටයුතු කරයි කියා. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවංක නායකයෙක්.

රටේ ජනතාවට අවංකවම ආදරෙයි. හමුදාවට ආදරෙයි. ඒ ජීවිතය තුළ බොරුව නැහැ. ත්‍රස්තවාදය විනාශ කරන්නට එතුමා ගත් සෘජු තීරණය ප්‍රභාකරන්ට බයේ හෝ ජාත්‍යන්තර බලවේග හමුවේ වෙනස් වුණේ් නැහැ. එහි ප්‍රතිඵලය තුළින් ත්‍රස්තවාදය මේ ආකාරයෙන් පරාජය කර රටේ ජනතාවට ස්ථිර සාමයක් උදා කර දීමට හැකි වුණා.

හිටපු ජනාධිපතිවරු කිව්වේ එකක්. කළේ තව දෙයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා මීට වසර ගණනාවකට පෙර රටේ නායකයා වුණා නම් මීට පෙර මේ විසඳුම ලබා ගන්න තිබුණා.

* කොටි සංවිධානය හිතුවද මෙවැනි නායකයෙක් බිහි වේවි කියලා ?

කවදාවත් හිතුවේ නැහැ. කලින් සිටි ජනාධිපතිවරු ගැන සංවිධානය තුළ තිබූ අදහසින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැනත් හිතුවා. එතුමාගේ එඩිතර තීරණ හමුවේ සංවිධානයේ බල බිඳී ගියා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා