මුද්‍රණය සඳහා

 
තොරණ ශතකයක් ඇඳි සිත්තරා

තොරණ ශතකයක් ඇඳි සිත්තරා

පුෂ්පානන්ද දෙනිපිටිය

මේ වෙසක් සමයයි. තැන තැන ඉදිවන තොරණ මුළු රටම ඒකාලෝක වන සමයයි. දොරක් දොරක් පාසා දැල්වුණු පහනින් සෑම නිවසක්ම ආලෝක වෙද්දී වෙසක් සැරසිලි නැරඹීමටත්, විසිතුරු එළි විහිදුවා බබළන තොරණ නැරඹීමටත් ජනී ජනයා අගනුවරට මේ සතියේදී වැල නොකැඩී ඇදෙති.

අඳුරේ ඇදුනු ගොනු බැඳි කරත්තවල නැඟී කොළඹ නගරය වටා ගොස් තොරණ නරඹා අවසානයේ ගාලු මුවදොර කරදිය මුසු තෙත වැල්ලෙන් දෙපා දොවාගත් හැටි වැඩිහිටියෝ අදත් ආශ්වාදයෙන් සිහි කරති. තොරණ නැරඹීමට එතරම් දිගු ඉතිහාසයක් තිබෙන නිසාම වෙසක් බැලීම, තොරණ බැලීම තරමටම හමුවී ඇත.

සියවසකටත් වඩා පැරණි වෙසක් තොරණ ඉතිහාසය තුළ තොරණ ශතකයක් ඇඳීමේ භාග්‍යය ලද චිත්‍ර ශිල්පියා පුෂ්පානන්දය. ඔහුගේ නමට ඉදිරියෙන් ගෞරව නාම කිසිවක් නැතත් නම කියූ පමණින් කුඩා දරුවෙක් වුවද ඔහු හඳුනයි.

ගාල්ලේ වැලිගම සී. බී. සර්ලීන් මාතාවටත්, දයානන්ද දෙනිපිටිය පියාටත් දාව උපන් පුෂ්පානන්ද දෙනිපිටියට සහෝදර සහෝදරියන් පස්දෙනෙක් වෙති. පියාගේ අඩි පාරේ යමින් පින්සලට හිත ගිය ඔහු මෙන්ම තොරණ කර්මාන්තයේ යෙදෙන දීපානන්ද හා ආනන්ද සොයුරන් හා ග්‍රේටා, චන්ද්‍රා, පද්මා යන සොයුරියන් මෙම දෙනිපිටිය සිත්තර පවුලේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

නම – පුෂ්පානන්ද දෙනිපිටිය

තාත්තා - දයානන්ද දෙනිපිටිය

අම්මා - සී. බී. සර්ලීන්

ඉපදුනේ – වැලිගම

අධ්‍යාපනය ලැබුවේ – වැලිගම සිද්ධාර්ථ මහා විදුහල

වෘත්තිය - තොරණ චිත්‍ර ශිල්පී

මුල් වරට චිත්‍ර ඇන්දේ – 1977 දී තොටළඟ තොරණ සඳහා

මේ වන විට නිර්මාණය කර ඇති තොරණ සංඛ්‍යාව - 100 කි.

සේවා කාලය – වසර 33 කි.

මෙවර හැඩ කළ තොරණ - බොරැල්ල, නවලෝක, තොටලඟ, කොට්ටාව, කිරිබත්ගොඩ, ගාලු මුවදොර

දායයකත්වය දක්වන වෙනත් ක්ෂේත්‍ර - විහාර හා මුර්ති බිතු සිතුවම් නිර්මාණය

නිමකරන ලද විහාර කර්මාන්ත - මෝදර ධවල සිංහාරාමය, පිටකොටුව බෝධිරාජාරාමය, මට්ටක්කුලිය ශශ්‍රී වික්‍රමාරාමය, අලුත්ගම ස්වර්ණබිම්බාරාමය ඇතුළු විහාර 15 කි.

වැලිගම සිද්ධාර්ථ මහා විදුහලින් අකුරු කළ පුෂ්පානන්දට පින්සල හා පාට පැලටය අතහැර රජයේ රැකියාවක් තෝරාගැනීමට උවමනාවක් ආරම්භයේ පටන්ම තිබී නැත.

ඒ නිසාම දෝ අසනීප වීම නිසා පියාගෙන් ගිලිහෙන වගකීමට උරදීමට ඔහුට සිදුවෙයි. පුෂ්පානන්ද මිතුරෙකුගේ සහයෙන් කොළඹට පැමිණීමට තීරණය කරයි.

පුෂ්පානන්ද දෙනිපිටිය තොරණ චිත්‍ර ශිල්පියා බිහිවීමට පාර කැපෙන්නේ එදා කොළඹ ආ ගමන නිසාය. ඔහු එම අතීතය මෙලෙස සිහි කරයි.

”මම මෝදරට ඇවිත් ධවලසිංහාරාමයේ විහාර බිතු සිතුවම් කර්මාන්තයට සම්බන්ධ වුණා. එතැන බිතු සිතුවම් නිමකිරීම භාරව හිටියේ දයා ජී. සේපාල මහතායි. ඔහු තමයි මගේ ගුරුවරයා. මම අතේ හුරුවට චිත්‍ර ඇන්දත් එතුමා සමඟ වැඩ කිරීමට ලැබීමෙන් පසුව තමයි මේ විෂය පිළිබඳව බොහෝ දේවල් දැන කියා ගන්න ලැබුණේ.”

මෝදර තොටලඟට අසල්වැසි ගමකි. එහි ඉදිවන විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කරන දක්‍ෂ චිත්‍ර ශිල්පීන් දෙදෙනා පිළිබඳ පුවත අසල ගමට යාමට එතරම් කාලයක් ලැබෙන්නේ නැත.

තොටලඟ තොරණ සමිතියේ සාමාජිකයන් ඔවුන් සොයාගෙන ධවලසිංහාරාමයට පැමිණෙයි. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට කීර්තිමත් ඉතිහාසයක් සහිත තොටලඟ තොරණේ චිත්‍ර ඇඳීමේ අවස්ථාව පුෂ්පානන්දලාට පැවරෙයි.

මුලින්ම මම තොටලඟ තොරණට සම්බන්ධ වුණේ 1977 දී. ඒ තමයි මම හා හා පුරා කියලා තොරණකට මුලින්ම චිත්‍ර ඇන්ද අවස්ථාව. තොරණ ලස්සනට අපි ඇන්ද නිසා කාගෙත් හිත ගියා. අපිට දිගටම තොරණ ඇඳීමේ අවස්ථාව ලැබුණා.”

එලෙස වසර පහක් ඉදිරියට තොටලඟ තොරණ සඳහා චිත්‍ර ඇඳීම ඔවුන් කරගෙන යන විට ප්‍රධාන චිත්‍ර ශිල්පී දයා ජී. සේපාල මහතා අසනීප වීම නිසා තොරණේ පූර්ණ වගකීම පුෂ්පානන්ද දෙනිපිටිය වෙත පැවරෙයි. 1983 වසරේ තොටලඟ ඉදිවූ වෙසක් තොරණ පුෂ්පානන්දගේ සිතැඟියාවන් අනුව ඉදිවූ මුල්ම තොරණයි.

තොරණ ඉදිකිරීමට බොහෝ දෙනෙක් සම්බන්ධ වුවත් තොරණේ උපත නැතහොත් මූලික සැලසුම නිමැවෙන්නේ චිත්‍ර ශිල්පියා අතිනි. ගෙවුණු 33 වසරක චිත්‍ර ශිල්පී දිවිය තුළදී පුෂ්පානන්ද අතින් තොරණ සියයක් ඉදිවී ඇත. මෙවර වෙසක් වාරයේදී ඔහුගේ අතින් තොරණ හයක් (06) නිමැවෙයි. බොරැල්ල, නවලෝක, තොටලඟ, කොට්ටාව, කිරිබත්ගොඩ, ගාලු මුවදොර යන ප්‍රදේශවල ඉදිවන තොරණ ඒ අතර වේ.

වෙසක් තොරණ වසරකට වරක් ඉදිවී සැදැහැතියන් තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවා ගැලවී ගියද ඔහුගේ නාමය සදා ජීවමාන කරවන උවසු උවැසියන්ගේ වන්දනාවට පාත්‍රවන විහාර බිතු සිතුවම් හා කර්මාන්ත 15 ක් පමණ ද, මේ කාලය තුළදී පුෂ්පානන්ද දෙනිපිටිය අතින් ඉදිවී ඇත. මෝදර ධවලසිංහාරාමය, පිටකොටුව බෝධිරාජාරාරාමය, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමය, අලුත්ගම ස්වර්ණබිම්බාරාමය ඒ නිමැවුම් අතරින් ද ප්‍රමුඛ වෙති.

ඔහුගේ දිවිය ආලෝක කරන සහකාරිය වූ චින්තා කල්‍යාණි මෙනෙවිය දෙනිපිටිය හට මුණගැසෙන්නේ ද මෝදර ධවලසිංහාරාමයේ බිතු සිතුවම් කර්මාන්තයේ යෙදුනු අවදියෙහිය. අද ඔවුන් කුෂිනා කේතුමාලී, දක්‍ෂිණා රන්දිමාලි යන දියණිවරුන්ගේ හා රිද්ම ප්‍රවීණ පුතනුවන්ගේ මවුපියන්ය.

ගිලන් වූ සමාජයක හිඳිමින් බෝසත් සමාජයකට සිහින දකින මේ චිත්‍ර ශිල්පියා නිරතුරුව සැරිසරන්නේ ජාතක කතාවල පිටු අතරය. කිසි දිනෙක නොදුටු දෙව්ලොව හා රජගහ නුවරවල අසිරිය සැදැහැතියන්ට මවා පෙන්වන පුෂ්පානන්දගේ නිර්මාණයන් ද අතුරු අන්තරාවලට මුහුණපෑ අවස්ථාවන් අඩු නොවේ.

දෙනිපිටිය ඇඳී බොරැල්ල තොරණ...

පිටකොටුව බෝධිරාජාරාමය අසල ඉදිකෙරෙන තොරණ සඳහා වරක් ඔහු අතින් නිමැවුණු නාරිලතා මලක් පසුබිම් කර ගත් තොරණ එවැනි ඇබැද්දියකට ලක්වූ අවස්ථාවකි. ප්‍රදර්ශනය සඳහා තොරණ සවිකිරීමේදී කලාව ගැන වැටහීමක් නොමැති උසස් පොලිස් නිලධාරියෙක් එම සිතුවම් ප්‍රදර්ශනය කිරීමට ඉඩ දිය නොහැකි බවට බලපෑම් කළ හෙයින් ඔහුට පසුව එම රූප සටහන්වල වෙනස්කම් කිරීමට සිදුවූ බව ඔහු හාස්‍යයෙන් සිහි කරයි.

පෙනෙන තරම් රසවත් බවක් තොරණ කර්මාන්තය තුළ නොමැත. ශිල්පීන් ගණනාවකගේ කුසලතාවයෙන් මාස ගණනාවක් දුක් මහන්සියෙන් ඉදිකෙරෙන තොරණ අගය කෙරෙන ක්‍රමයක් තවමත් දක්නට නොමැති වීම නිසා ඔවුන් බොහෝ දෙනෙක් තම කර්මාන්තය ගැන කතා කරන්නේ කනගාටුවෙනි.

තොරණ ඉදිකිරීම සඳහා කැපවුණු සමිතිවල නිලධාරීන් හා දානපතියන් මෙන්ම ශිල්පීන් ද සිය මෙහෙවරින් ආශීර්වාදයක් ලබන්නේ මහජනයා ඉදිරියේ එය ප්‍රදර්ශනය වනු දැකීමෙනි. එහෙත් සමහර අවස්ථාවලදී අයහපත් කාලගුණික තත්ත්වයන්ට මැදිවීමෙන් තොරණ ප්‍රදර්ශනයකට වරම් නොලබාම අභාවයට යති. චිත්‍ර ශිල්පියෙකුට තමන් අතින් ඉදිවූ තොරණ කඩාවැටීම තරම් අභාග්‍යසම්පන්න අත්දැකීමක් තවත් නැත. එක් වසරකදී තමන් අතින් නිමැවුණු ;තාරණ තුනක්ම කඩා වැටීමෙන් පුෂ්පානන්දටද එම අභාග්‍යයට මුහුණ පෑමට සිදුවූයේය.

සෑම දෙයක්ම අනිත්‍යය වන ලෝකයක ඩිජිටල්කරණය ඉදිරියේ පුෂ්පානන්දලාගේ අනාගතය ද අවිනිශ්චිත වී ඇත. මේ අනතුර නිසා අලුතින් චිත්‍ර ශිල්පීන් නොඇෙඳන තොරණ කර්මාන්තයේ අවසන් පුරුක් නියෝජනය කරන්නේ පුෂ්පානන්දලාය. ඔවුන්ගෙන් පසු අපි කෙසේ වෙසක් තොරණ නරඹමුද?


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]