රටේ මහත්තයාගේ රට සභා

රටේ මහත්තයාගේ රට සභා

ලංකාවේ පැරැණි පවුලක්

ශ්‍රීලංකාවේ අවුරුදු කීපයක් වාසය මේජර් පෝබස් සහ චාල්ස් ප්‍රිඩම් යන මහත්වරුන් විසින් ලියනු ලැබූ ග්‍රන්ථයන්හී පැරැණි රට සභා ගැන මෙසේ සඳහන් වී තිබේ.

පැරණි ගම්සභා මෙන්ම පැරණි රට සභා ද නිදහස් ආයතන විය. යනුවෙන් 1841 දී “ ලංකාවේ එකළොස් වසක් යන හිසින් මේජර් පෝබස් ලියූ ග්‍රන්ථයේ සඳහන්ව ඇත. සෑම රට සභාවකටම එම රටෙහි නොහොත් දිස්ත්‍රික්කයෙහි ඇති හැම ගමක් වෙනුවෙන්ම නියෝජිතයෙක් සිටියේය. රට සභා නියෝජිතයන් වශයෙන් පත්කරනු ලැබූයේ බුද්ධිමත් පුද්ගලයන් බව මේජර් පෝබස් මෙන්ම චාල්ස් ප්‍රිඩම් මහත්වරුන්ද සඳහන් කර තිබේ.

ඉංග්‍රිසීන් විසින් පනවනු ලැබූ කිසිම නීතියකට රට සභා ගැන සඳහන් කර නොතිබුණද 1833 නේ “අධිකරණ බලපත්‍රය” සම්මත වීමත් සමඟ රට සභා අනුමතියෙන් අවලංගු විය. සෑම රට සභභාවකම ප්‍රධාන නිලධාරීහු සිවු දෙනෙක් වූහ. ඔවුහු නම් මොහොට්ටාල,බද්දේරාළ, රට සභා ලේකම්, සහ උදිය රාළ නම් තැනැත්තන්ය. බද්දේරාළ යනු පහත් කුලවල මිනිසුන් යයි සම්මත වූවන් විසූ ගම්භාරව සිටි රට සභා නිලධාරියාය. උදියරාළ නම් රට සභාවේ ප්‍රධාන පනිවුඩකරුය.

1957 - 58 , කාලයේදී පමණ අභිනවයෙන් පිහිටුවීමට යෝජනා කොට තිබූ රට සභාවලට මෙන් නොව පැරැණි රට සභාවලට විශේෂයෙන්ම තිබුණේ අධිකරණ බලතලය. රට සභා මඟින් වැඩි සැලකිල්ලක් දක්වනු ලැබුයේ කුලය, විවාහ හා සමාජ තත්ත්ව පිළිබඳ ප්‍රශ්ණ සම්බන්ධයෙනි.

යමෙකු විසින් තම කුලයට නොගැලපෙන අන්දමේ දෙයක් කළ බවට හෝ විවාහ චාරිත්‍ර උල්ලංඝනය කළ බවට හෝ තම සමාජ තත්ත්වයට නොගැලපෙන අන්දමින් හෝ පටහැනි අන්දමින් හෝ යම් කිසිවක් කළ බවට රටේ මහත්මයාට හෝ රට සභා නිලධාරියකුට හෝ චෝදනාවක් ලැබුණවිට . ඒ ගැන රට සභාව මගින් ක්‍රියා කරන ලදී. වරදකරු වසන ගමට ගොස් මොහෙට්ටාල හෝ බද්දේරාළ විසින් මූලික විභාගයක් පවත්වයි.

විත්තිකරුට විරුද්ධව කරන ලද චෝදනාව සත්‍ය යැයි ඔප්පු වුවහොත් ඔහුගේ ඥතිහූ හා ඒ ගම වැසියෝ රට සභා නිලධාරීන් ඉදිරියට පමුණුවනු ලබති. විත්තිකරු හෝ ඔහුගේ ඥාතීන් සමඟ හෝ කිසිම සම්බන්ධකමක් තබා නොගන්නා ලෙස ඔහුගේ කුලයේ තැනැත්තන්ට නියෝග කරනු ලැබේ.

ඔහුට හෝ ඔහුගේ ඥාතීන්ට හෝ සේවය නොකරන ලෙස රජකයන්ට බෙරවා කුලයට කම්හල් කරුවන්ට හා කුඹල් කුලයට ද අණ කරනු ලැබේ. විත්තිකරුට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා අසත්‍ය එකක් වුවහොත් මේ තහනම් පමුණුවනු ලබන්නේ පැමිණිලි කරුට විරුද්ධවය. අනතුරුව චෝදනා කරනු ලැබ සිටින තැනැත්තා “දැකුමක්” (ත්‍යාගයක්) ද රැගෙන රටේ මහත්තයා වෙත ගොස් චෝදනාව විභාග කිරීම සඳහා රට සභාව කැඳවීමට දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටිති.

එවිට රටේ මහත්මයා විසින් මොහොට්ටාලට මේ වග දැන් වූ විට හේ ගම්වාසි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කළයුතු කටයුතු කොට විභාගය සම්බන්ධයෙන් ඒ ගම අවට ගම්වල නිලධාරීන්ටද දැනුම් දෙයි. නඩුව විභාග කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ඒ ඉදිරිපිට තොරණක්ද ඉදි කරණු ලැබේ.

මේ සඳහා ගම්වාසීහු ද වෙහෙස මහන්සි වී වියහියදම් ද කරති. සාමාන්‍යයෙන් විභාගය පවත්වනු ලැබේ. ඉන් ඉක්බිති විත්තිකරු විසින් පවත්වනු ලබන භෝජන සංග්‍රාහයට සහභාගිවන සියලු දෙන ඔහු සමඟ එකට කෑම අනුභවකොට ඔහු වරදින් නිදොස් කරනු ලැබේ.

මොහොට්ටාලගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ විභාගයකදී දෙනු ලැබූ තීන්දුව වෙනස් කිරීමේ බලය රටේ මහත්මයාට තිබුනි. එහෙත් ඔහු විසින් එම බලය පාවිච්චි කරන ලද්දේ ඉතා කලාතුරකිනි. ගම්සභා මඟින් දෙනු ලැබූ තීන්දුවලට විරුද්ධව රට සභාවන්ට ඇපෑල ගත හැකිව තිබූ බව මේජර් පෝබස් මෙන්ම චාල්ස් ප්‍රිඩම්ද සඳහන් කර තිබේ.

රට සභා සතු පාලක බලතල නොවීය. අය බදු එකතු කිරීම ආදී නොයෙකුත් පාලන කටයුතු කරනු ලැබුවේ රටේ මහත්මයා ප්‍රධාන නිලධාරීන් විසිනි. ඒ සම්බන්ධයෙන් මණ්ඩලයක් වශයෙන් රට සභා කටයුතු නොකරන ලදී. රට සභාවක් මණ්ඩලයක් වශයෙන් කටයුතු කළේ සිය අධිකරණ බලතල ක්‍රියාවෙහි යෙදීමේදී පමණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා