සම්බාන් යාත්‍රා තොටුපොළ

සම්බාන් යාත්‍රා තොටුපොළ

පසුගිය සතියෙන්...

ලංකාව සහ නැඟෙනහිර ඉන්දියා දූපත්, මලය අර්ධද්වීපය, චීනය, දකුණු ඉන්දියාව, හා අරාබිය බඳු රටවල් අතර මධ්‍යතන යුගයේ දී සබඳතාවන් පැවැතුණි. එකල නැගෙනහිර ඉන්දියා දූපත්, මුල්‍ය අර්ධද්වීපය වැනි ප්‍රදේශවල විසූ බෞද්ධයන් සහ මෙරට බෞද්ධ ජනතාව අතර කිට්ටු සබඳතාවක් පැවැති බවට සාක්ෂි පවතී. “ලියෝර් තාමුර්ට්ඨ” නමැති සුප්‍රසිද්ධ බෞද්ධ රාජ්‍යයක් මේ ප්‍රදේශයේ තිබුණු වගට සාක්ෂි පවතින වග ද විචාරකයෝ පවසති.

ශ්‍රී දළදා සමිඳුන් අත්පත් කර ගැනීමට මාන බැලූ චන්ද්‍රභානු නමැති ජා රජෙක් 13 ශත වර්ෂයේ දී මෙරට ආක්‍රමණය කර පලාගිය බවට ද තොරතුරු ඇත. 14 වැනි ශත වර්ෂයෙන් පසුව මහම්මත් ආගම පැතිර ගොස් ඇත. මෙම දූපත්වල විසූ මහිල්වරු නැගෙනහිර ඉන්දීය සාගර ප්‍රදේශයේ සිටි ප්‍රධානතම මුහුදු ගවේෂකයන් හා අති දක්ෂ යාත්‍රිකයන් බවට පත්ව ඇත. මැලේවරු නිතර ලංකාවට පිවිසියහ.

මේ ප්‍රදේශයේ ලාංකිකයන් සහ මොවුන් අතර සබඳතාව වැඩි දියුණු විය. උඩරට රාජධානියේ රජවරු තම ආරක්ෂක භට හමුදාවට මැලේ ආරක්ෂකයන් තබා ගැනීමට පෙළඹීමෙන් එකල මැලේවරු සහ ලාංකිකයන් අතර තිබුණු සබඳතාව තහවුරු වේ. මහනුවර රජු ආරක්ෂාව සඳහා මැලේ රෙජමේන්තුවේ තබා ගෙන සිටි වග මේජර් ජෝන් ඩේවි සිය වාර්තාවන්හි සඳහන් කර ඇත.

තත්කාලීන අන්තර් දේශීය මුහුදු මාර්ග වැටී තිබුණේ ලංකාවේ දකුණු දිග සහ ගිණිකොට දිග වෙරළාසන්නවය. මැලේ ජාතිකයන් සහිත හම්බන් යාත්‍රා මෙම තොටුපොළට පැමිණි නිසා මෙතනට හම්බන්තොට යන නාමය ලැබුණු බැව් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු පළ කළහ.

ක්‍රම ක්‍රමයෙන් මෙම කොටුව අවට ජනාවාස ගොඩ නැගිණි. මෙරට මුහුදු බඩ පළාත් පෘතුගීසීන්ගෙන් අල්ලා ගත් ලන්දේසීහු හම්බන්තොට ගාල්ල පාලන ප්‍රදේශයේ නැඟෙනහිර කෙළවරේ සේනාංක මධයස්ථානයක් ඉදිකළහ.

මෙකල හම්බන්තොටින් උඩරට රාජ්‍යය ලුණු සපයාගත්තේය. ලුණු නිසා උඩරට ආක්‍රමණය කළ හැකි වග ලන්දේසීහු අවබෝධ කර ගත්හ. මෙම සේනාංක මධ්‍යස්ථානයෙහි මැලේ රයිෆල් රෙජිමේන්තුවක් සහිත ලන්දේසි සේනාංකයක් ඔව්හු ස්ථාපිත කළහ. මෙතැන කොමාන්ඩොවරයෙකු ද නතර කළහ. ඒ සමග හම්බන්තොට වරාය අසල විවිධ කාර්්‍යාල ගොඩනැගිලි නිල නිවාස ද ඔව්හු ඉදිකළහ.

1798 දී පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම අපේ රට ආක්‍රමණය කළේය. එතැනින් ආරම්භ වූ බ්‍රිතාන්‍ය යුගය තුළ හම්බන්තොට වරායක් වශයෙන් ද නාගරික ජනාවාස මධ්‍යස්ථානයක් වශයෙන් ද සංවර්ධනය විය.

ලබන සතියට...

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා