කුමන විල්ලුවේ ලිහිණියක වී සැරිසරමි

කුමන විල්ලුවේ ලිහිණියක වී සැරිසරමි

ආකාසෙ මුල්ලක බක්මහේ හඳ කෑල්ලක්. කොහොඹ ගහේ අස්සෙන් බලද්දී හදකෑල්ල දියවෙලා ගිහින්. කහපාටින් ලස්සනට පාට කරපු වටකුරු හඳක් උඩට, උතුරා ගිය කඳුළු ගඟක් ඇදගෙන හැලිලා.

තරුත් කොහේද හැංගිලා...

දරාගන්න බැරි අන්ධකාර දුකක පීඩනය මට උහුලන්න බැරි තරම්.

මං අඬනවා. ඒත් ඒ කඳුළු ඉවරයක් නෑ.

ජීවිතය මේකද? මං අහනවා. කාගෙන්ද මට අහන්න තියෙන්නෙ...? මැදියමේ රාත්‍රිය වුණත් මට වෙලාව කලාව උගන්වන්නෙ නෑ. මං කෙළවරක් නැති තරමට ජංගම දුරකතනයේ ඉලක්කම් ඔබනවා.

එහා පැත්තේ ‘මුතු’ ඉන්නවා. තවත් විටෙක ‘ජගත්’ තවත් වෙලාවකට ‘තනු’

“වනගත පරිසරයක තනිවී ඒ වශීකෘතය විඳගන්න. ඔයාට ඒ වෙනස දැනේවි. යන්න. ඒ සුන්දරත්වය අත්විඳින්න. පරිබාහිර නොවටිනා කිසිම දෙයකට ඔයාගෙ වටිනා ජීවිතය සමඟ අත්වැල් බැඳගන්න දෙන්න එපා. මෙතුවක් කල් හිටපු ඔයා කෝ? ඔයා ඔයාම වෙන්න. ජීවිතය වටහා ගන්න. අඬන්න එපා.”

ඔවුන් හැමෝම මට ප්‍රකාශ කරන්නෙ ආදරයෙන්. මට දැනෙනවා ඒ සැහැල්ලුව. දැන්. ආයෙමත්.

කුමන විල්ලුවේ ඉන්න කුරුල්ලන් රෑනක් මගේ දුකත් පීඩනයත් තටු අස්සේ හංගාගෙන ඈතට පියඹනවා.

ජංගම දුරකථනය අරන්, මේ කුමන විල්ලුවේ තෙතමනය පිරිච්ච අන්දර කලපුව ළඟ වාඩිවෙලා ඉඳගෙන මං ආයෙත් ඔබනවා අර මට හුරුපුරුදු ඉලක්කම්.

“මං ඉන්නෙ කුමන. මේ සෞන්දර්යය පරිසරය මගේ දුක නිවා දමනවා. මං දැන් නිදහස්. ඉන්නෙ සතුටින්. හෝඩුවාව දුන් ඔයාලට පින්. මම, මමමයි. ඉබාගාතේ ගිය මගේ හිත ආයෙත් මං ළඟට ඇවිත්.”

‘මුතු’, ‘ජගත්’, ‘තනු’... ස්තූතියි. ඔවුන්ටත් සතුටුයි මේ වෙනස ගැන. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දේ වෙනස් වීම. එහෙනං, අපි යමු මේ කුමන කුරුලු පාරාදීසය වටා රවුමක්.

මෙහි ජෛව විවිධත්වය, පාරිසරික ලක්ෂණ ගැන විතරක් නෙමේ ඉතිහාසය ගැනත් සොයමු.

කුමන අයිති වෙන්නෙ යාල නැඟෙනහිර ජාතික වන උයනට. 1970 ජනවාරි 2 වැනිදා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරපු යාල නැඟෙනහිර වන උයන 1985 මැයි 5 වැනිදා වසා දැම්මා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයන් නිසා.

නමුත් 2003 මාර්තු මාසෙ 9 වැනිදා ආයෙත් උත්සවශ්‍රීයෙන් විවෘත කළා.

වනජීවී ගවේෂකයෝ, කුමන වන උයනේ කුරුලු වර්ග විතරක් තුන්සියයකට ආසන්නව සිටින බව ගණනය කර තියෙනවා.

එකම තැනකදී මේ තරම් විශාල විදියට කුරුලු ලෝකයේ අපූර්වත්වය නරඹන්න නං ඔබත් එන්න කුමනට. සංචාරක ජලජ පක්ෂීන් මෙහි ඉන්නෙ රංචු වශයෙන්.

දැනගන්නට ලැබුණු විදියට අර ඉන්නෙ පැස්තුඩුවන් සහ වේචර්ස්ලා. අයිබීස්ලා නොසෑහෙන්න ඉන්නව බාගුර කලපුව පැත්තේ. බාගුර කලපුව තමයි මේ වන උයනේ් තියෙන ලොකුම කලපුව. ඕකන්ද කලපුව, ගිරිතල කලපුව, සහ අන්දර කලපුවත් කුමන විල්ලුවේ නම් ලබාපු කලපු.

ඇයි වැව්...? කුමන වැව, ඕකන්ද වැව, තුන්මුල්ල වැව, බක්මී වැව. මේ හැම වැවක් සහ කලපුවක් වටේම යන්න මට ආසයි. ඒත් පුංචි බයක් තියෙනව. අන්දර කලපුව පැත්තට හැන්දෑවකට ගියොත් දිවියෙක් කාරිය බලාගන්න පුළුවන් කියන නිසා.

හිතෙන්නෙ නැද්ද කුමන විල්ලුවට මේ හැටි කුරුල්ලො එන්නෙ ඇයි කියන රහස දැනගන්න...? විශේෂ හේතු හුඟක් තියෙනවා. ජලජ පක්ෂීන්ට වඩාත් යෝග්‍ය පාරිසරික පද්ධතියක් තිබීම එක හේතුවක්.

කුමන විල්ලුවේ කරදිය මිශ්‍ර කලපු ගැඹුරු නැහැ. කුරුල්ලන්ගෙ දෙපා ගිලෙන ප්‍රමාණයට විතරයි මේ කලපුවල වතුර තියෙන්නෙ. එයාලට කෑම හොයාගන්න අපහසුත් නැහැ. කලපු අවට තියෙන ගස් දිහා පොඩ්ඩක් හෙමින් සීරුවේ එබිල බලන්න.

දැක්ක නේද තියෙන කුරුලු කූඩු...? නරක නෑ වැඩේ. කෑම බීම තියෙන නිසා ගෙවල් දොරවල් හදාගෙන, පෙම්වතියනුත් හොයාගෙන, කූඩුගත වෙලා.

කුරුලු පැටවුන්ගෙ සද්දෙ...! කිචි බිචිය සංගීතයක් වගේ. හරි මිහිරියි. ටිකක් විමසිලිමත් වුණොත් අතුපතර දඟතුඟ දදා ඉන්න කුරුලු පැටව් බලාගන්න පුළුවන්. එයාල දෝතට අරගෙන, ඔබේ අත්ලේ උණුසුම දීල, මොහොතකට කුරුලු අම්මෙක් වෙන්න හිතෙන්නෙ නැද්ද...?

මට නං එහෙම හිතෙනව. අණක් ගුණක් නැති මිනිසුන්ගෙන් වෙන්වෙලා ඈතට ඈතට ඈතටම පියාඹන්න.

පොඩ්ඩක් ඉන්න. ඒ කව්ද? බොරු කකුල් කාරයෙක් වගේ හරියට. එයාට කියන්නෙ ‘අලි කොකා’ කියලා. ලංකාවෙ උසම කුරුල්ලා. තද කළුපාට දිග බෙල්ලක් තියෙන නිසා තමයි එයාව හොඳට අඳුනාගන්න පුළුවන්.

පැස්තුඩුුවා දියසායම් චිත්‍රයක් වගේ. අයිබීස්ලාගේ හොට කළුපාටයි. වතුරේ කෑම හොයමින් ඇවිදින ස්පූන් බිල්ලා.

කූඩු හැදීමත්, පැටව් දැමීමත්, කෑම හෙවීමත් ඇර වෙනත් ප්‍රශ්න නැති කුරුල්ලෝ. එච්චරද...? තාරාවෝ. හංසයෝ. දියකාවෝ.

අන්න උකුස්සෙක්. පාත්වුණා වතුරට. ජෙට් එකක් වගේ. උඩට ඉගිල්ලුණා සැණෙන්. මොකෙක්ද ඒ කකුල් දෙකේ පටලැවිල ඉන්නෙ...? හප්පේ ලොකු මාළුවෙක්. පේනව නේද චන්ඩිකම විතරක්...? මෙතන තනියම ඉන්නත් බයයි. ඊළඟ මොහොතේ මගේ ඔලුවටත් පාත්වෙයිද දන්නෑ.

කුමන ඉන්න කුරුල්ලන්ගේ නම් වට්ටෝරුවක් කියන්නද? මං කියපු කුරුළු රාළලා ඇරෙන්න, වටුවන්, සේරුන්, ලිහිණියන්, සිල් වටුවා, රන්පා වටුවා, කැස්වටුවා, ඔලෙයියා, මල්සේරුවා, සියක්කාරයා, කළු පෙඳැති වටුවා, මහ වටුවා, රැවුල් මුහුණු ලිහිණියා... හප්පේ තුන්සියයකට ආසන්නව ඉන්න කුරුලු වර්ගවල නම් ටික කියන්න විතරක් වෙනමම පොතක් ලියන්න වේවි.

යමු. කුඹුක්කන් ඔය පැත්තට.

පේනව නේද ඉන්න කුරුළු සේනාව.

මෙයාලගෙ නම් හොයාගත්තෙ මාර්ගෝපදේශකයෙකුගෙන්.

දුඹුරු මාරාවා, ලෙයාර්ඩ්ස් මාරාවා, සුදුරෙදි හොරා (එයානං දන්නව. අපේ ජම්බු ගහටත් සමහරදාට එනවා) හම්බු කුරුල්ලා, මාළු බකමූණා, යුරෝපීය කුරුලු ගොයා, බ්‍රාහ්මන මයිනා, රතු තොප්පි කොහා, වන හැලපෙතියා, හීන් කොකා, බිම් උකුස්සා, ගෝමර බිම් උකුස්සා, පඳුරු ගොමරිට්ටා, ඉන්දියානු ගොමරිට්ටා, කැලෑ බස්සා, මූකලන් බකමූණා..

තවත් තියෙනව. වඳවීමේ තර්ජනයකට ලක්වෙලා ඉන්නෙ අලිකොකා, අවිච්චියා, දුඹුරු සහ චූටි කෑරලුන් අපිට මෙහිදී හමුවෙනවා. කුරුල්ලන් හඳුනන මාර්ගෝපදේශකයෙක් නැත්නම් ඔබට මේ කුරුල්ලන් හඳුනාගන්නට නොහැකිවේවි. ඒ කාරණයත් මතක තියාගන්න.

“කුරුල්ලන්ට සීමාවුණ කුමන” විදියට මේ වන උයන අර්ථ ගන්වන්න මට හිතෙන්නෙ නැහැ. ඇයි අන්දර කලපුව පැත්තෙ ඉන්න දිවියන්...? දළකාරයින්.

ගහක බෙනයක බැඳපු මීයක් කඩල අත ලෙවකන වලස්සු. කුලප්පු වෙලා දිව්වත් මිනිසුන්ට හිරිහැරයක් නැති ගෝන්නු. එච්චරද...? පෙම්වතියක් වෙනුවෙන් බැණ අඬගහ ගන්නට සූදානම් වෙලා අං පටලවා ගන්න හදන අං මුවෝ. එහෙම වෙලාවට අවට ඉන්නෙ කවුද කියල හිතෙන්නෙ නෑ. එන්න බැරි නෑ එලවාගෙන. ඒ නිසා බලාගෙනයි පරෙස්සමෙන්.

අපි ගමන වෙනස් කරමුද...?

පානම ඉඳල, කුමන කුරුලු රජදහනට ගමන් කරද්දී කිලෝමීටර් කීපයක් ඉදිරියට ගිහින් දකුණු දිසාවට තවත් කිලෝමීටරයක් විතර ගියාම ඔබට සිල් සුවඳක් දැනේවි.

හිත නිවන. සමාධියට පත්කරන. කුඩුම්බිගල වන සෙනසුන.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති මේ සිතුවම්වල අගය ගණනය කරන්න ඔබට පු‍්‍රළුවන්ද? අනුරධපුර සම්ප්‍රදායේ මුල් යුගයට අයිති චිත්‍ර කීපයක් විදියටත් හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ගමන් මග සංගීතයටද? නැත්නම් තෙලිතුඩ හිමි සිත්තරියක්ද? නවකතා කෙටිකතා නිර්මාණ කාරියක්? පරිවර්තිකාවක්? රංගන ශිල්පිනියක්? කිවිඳියක්?

නෑ. ඒ කවුරුත් වූවත් කුඩුම්බිගල වන සෙනසුනත්, ඒ පැරැණි සම්ප්‍රදායේ සිතුවමිනුත් ඔබ ආකර්ශණයට පත්කරාවි. වන සෙනසුන තුළ සමාධිගත වන්නට ඔබට මොහොතකටවත් නොසිතෙන්නේ නම් ඔබ සංවේදී ගැහැනියක් නොවනු ඇති. සරල ජීවිතය ඒ තරම්ම සුන්දර බව ඔබ මේ නිසලතාව මත වටහාගනීවි.

කුඩුම්බිගල අවට පැරැණි වෙහෙර විහාර කිහිපයක් තිබෙන බවත් ප්‍රකාශ වෙනවා. කුඩුම්බිගල සුදර්ශන ලෙනෙන් හමුවන සෙල් ලිපියෙන්, අපේ රටේ දුරාතීතයේ දශමහා යෝධයන් සිටි බවට තහවුරු වන සෙල් ලිපියකුත් තිබෙන බව කියැවෙනවා.

ගමන් මහන්සිය නිසා මෙම ස්ථාන විතරක් නරඹලා ආපහු යන්න හදන්නේ ඇයි...? යන්න. “ඔකඳ” දේවාලයටත් ගියොත් ඔබට තවත් අපූරු දවසක සුන්දරත්වය විඳින්න හැකි වේවි. ජීවිතය කල්දාන්න එපා.

මේ එළඹෙන්නෙ ඔබේ හෝරාවයි. විඳින්න එය. හැමදේම අමතක කරන්න.

කුමන වනෝද්‍යානයේ පිවිසුම් ගේට්ටුවට පෙනෙන දුරින් වමට ඇති මාර්ගයේ ටික දුරක් යද්දී ඔබට හමුවන ‘ඔකඳ’ දේවාලය ළඟ මොහොතක් වාඩිවී සිටින්න.

මෙහි ආගම් භේදයක් නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම පූජනීයත්වයෙන් සලකන තැනක්.

අවුරුද්දකට වතාවක් යාපනයේ ඉඳලා කතරගමට යන ‘පාද යාත්‍රාව‘ මතක නේද? ඒ බැතිමතුන්ගේ නවාතැන් පොලක් මේ ‘ඔකඳ’ දේවාලය. “ශ්‍රී මුරුගන් කෝවිල” ලෙසයි දමිළ අය මෙම දේවාලය හඳුන්වන්නේ.

කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ප්‍රේම සුවයෙන් හිටපු ස්ථානයක් නිසා මෙම ස්ථානය ‘ඔකඳ’ යන නම ලැබුවා කියලත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

ඔව්. ඔබටත් හැකිවේවි ඇයත් සමඟ කුමන ගිහින් කුරුල්ලන්ගේ ප්‍රභාෂ්වර ලෝකයට පිවිසිලා, ඔකඳ දේවාලයටත් යන්නට. නමුත්, එහිදී ඔබ දෙදෙන හිතුවක්කාර ප්‍රේමවන්තයින් නොවිය යුතුයි. කතරගම දෙවියන් සහ වල්ලි අම්මා එහි සිත්සේ හැසිරුණාට ඔබට අවසරයක් නෑ එහි නිදහසින් අයාලේ යන්නට.

‘කුමන’ වනෝද්‍යානයට මම ඇතුළු වුණේ කඳුළක් අරගෙන. කාංසිය සහ පාළුවත් විඳ දරාගෙන. මට ආයෙත් මතක් වෙනව ‘මුතු’, ‘ජගත්’, ‘තනූ’, මිතුරු මිතුරියන්. ඔවුන් මට මගේ ආදරණීය මාර්ගෝපදේශකයින් නොවුණා නම්, මං අදටත් මගේ පුංචි කාමරය තුළ අයාලේ යන සිතිවිලි සමඟ පොරබදන්නියක්.

මං ‘කුමන’ ආහ්ලාද වන දහනින් පිටත්වුණේ සෞන්දර්යයේ අලුත්ම බීජ සිත තුළ ප්‍රරෝහනය කරමින්. ඒවා, දවසක මහ ගස්වී වැඩෙද්දී, මම සෞන්දර්යය පමණක් ජීවිතයට එකතු කරගන්නා ජීවිතය දිහා අපූර්වත්වයෙන් බලන අපූරුම සිත්තරියක් වේවි.

ඇත්තමයි. මං ඔබටත් කියන්නෙ, අසුන්දර මොහොතක් ඔබේ ජීවිතය අඳුරු කළොත්, කුමන වන දහනේ නිහඬ පරිසරයේ සත්ව මිතුරු මිතුරියන් හා තනිවන්න. දෙපා සතුන්ට වඩා ඔවුන් ඔබ සනසාවි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා