ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ‘මෙගාස්ටාර්’ වගේ SMS වලින් තෝරන්න බැහැ

දූෂිත ආයතන අතරේ ක්‍රිකට් පරිපාලනය තෙවැනි තැනට

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ‘මෙගාස්ටාර්’ වගේ SMS වලින් තෝරන්න බැහැ

නව තේරීම් කමිටුව හඳුන්වා දෙමින් ක්‍රීඩා ඇමැති කියයි

ක්‍රීඩකයන් තේරීමේදී බලපෑමක් ආවොත් අස්වෙනවා - අරවින්ද

ශ්‍රී ලංකාවේ දූෂිත ආයතන අතරේ තෙවැනි තැන ක්‍රිකට් ආයතනයට හිමිවන බව ක්‍රීඩා ඇමැති සී. බී. රත්නායක මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව හඳුන්වාදෙමින් ඊයේ ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

තම විශ්වාසය පරිදි ශ්‍රී ලංකාවේ දූෂිත ආයතන අතරේ අධ්‍යාපනය පළමු තැන හා පොලිසිය දෙවැනි තැන හිමිකරගන්නා බව ඒ මහතා පැවැසීය.

නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හා එහි කමිටු සාමාජිකයන් වන අමල් සිල්වා, රංජිත් ප්‍රනාන්දු, සබීර් අස්ගර් අලි යන මහත්වරුන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද සිල්වා හා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යන මහත්වරුද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ අභියෝග මැද උපයාදෙන මුදල් වැය කිරීම විනිවිද භාවයෙන් යුතුව සිදුවිය යුතු බවයි.

පසුගිය කාලයේදී ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති විවිධ ගනුදෙනු පිළිබඳ බරපතල විවේචන ඇති බැවින් ඒවා ගැන සොයාබලා වරදක් කර ඇත්නම් වගකිවයුතු අය අධිකරණය හමුවට පැමිණවීමට තමා පසුබට නොවන බවද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

“ක්‍රීඩා සංගම් 52ක් තියෙනවා. මේ හැම එකකම යම් යම් ප්‍රශ්න තිබෙන බව පේනවා. ව්‍යවස්ථානුකූලව ක්‍රීඩා සංගම්වල කටයුතු සිදුවී ඇත්ද යන්න සොයා සිදුවී ඇති වැරදි රටටම හෙලිකරනවා. මහජන මුදල් පාලනයේදී රටේ සමස්ත ජනතාවටම වගකිවයුතුයි” ඇමැතිවරයා පැවැසීය.

මෙතෙක් කල් කටයුතු කළ තේරීම් කමිටුව වසර 9ක් ක්‍රියා කළ හෙයින් අලුත් වෙනසක් සඳහා තේරීම් කමිටුව වෙනස් කළ බව ඇමැතිවරයා හෙළි කළේය.

“අලුත් තේරීම් කමිටුව පත්කළේ ස්වාධීන තීන්දුවකින්. තේරීම් කමිටුවේ අය සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් මගේ නෑ. ඒ අයගේ ක්‍රීඩා දැනුම මත පත්වීම් ලබාදීමට තීරණය කළා.” “ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ මාස 9ක් වැනි කෙටි කාලයක්. එම තරගාවලිය ජය ගැනීමට හොඳම කණ්ඩායම තෝරාදීම තේරීම් කමිටුවේ වගකීමයි. ජාතික ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් “මෙගාස්ටාර්” තෝරනවා වාගේ ඉර්ඉ වලින් තෝරන්න බෑ” ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

හතර දෙනාගේම තීරණ ඒකමතිකයි

ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටින සාමාජිකයන් හතර දෙනාම කණ්ඩායම තේරීමේදී ඒකමතික තීරණ ප්‍රකාශ කරන බව තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවසීය. එහෙත් කණ්ඩායම තේරීමේදී කමිටු සාමාජිකයන් තමා සමග වාද විවාද කිරීම යහපත් දෙයක් බව සිල්වා මහතාගේ අදහස විය.

’ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් කෙටි කාලයක් ඇති නිසා අත්හදා බැලීම් කරන්න වෙලාවක් නෑ. ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළ යුත්තේ අඩුම තරමේ එක්දින තරග පනහකටවත් සහභාගී වූ ක්‍රීඩකයන්. වේගයෙන් පරිනත වූ ක්‍රීඩකයන් සහභාගී කිරීමට පසුබට වෙන්නේ නෑ. කණ්ඩායම අපහසුතාවට ලක් වු අවස්ථාවේදී අභයෝගයට මුහුණ දිය හැකි මැද පෙළ ක්‍රීඩකයන් අපට අවශ්‍යයි.

මගේ ප්‍රමුඛතාව ලෝක කුසලානය දිනා ගත හැකි කණ්ඩායමක් තෝරා දීමයි’ සිල්වා මහතා පැවසීය.

‘සනත් ජයසුරිය වැනි ක්‍රීඩකයන් අපට සිටිය යුතුයි. ඔහුට කුමක් කළ හැකිද යන්න අප දන්නවා. ඔහුගේ අඩුව පුරවන්න කාට පුළුවන් වෙයිද කියා තවම හිතා ගන්න අමාරුයි. තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා එළියට ගැනීමට කටයුතු කළ යුතුයි’ ක්‍රිකට් තේරීම් කමිටුව ස්වාධීනයි. තෝරා ගැනීම් වලට යම් බලපෑමක් ආවොත් තනතුරෙන් ඉල්ලා අස්වෙනවා’ යැයි අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා