මුද්‍රණය සඳහා

 
නේපාල අගමැතිට පුටුව එපා වේ

නේපාල අගමැතිට පුටුව එපා වේ

නේපාලයේ පාර්ලිමේන්තු කාල සීමාව ඉකුත් සිකුරාදා අවසන් වීමට නියමිතව තිබුණු නමුදු ඇතිවිය හැකි දේශපාලන අර්බුදයක් මඟහරවා පාර්ලිමේන්තු කාලය දික්කැර ගැන්මේ පනතකට මාඕවාදී මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම පිණිස අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව නේපාල අගමැති මදාව් කුමාර් නේපාල් පවසා තිබේ.

මේ අතර නව සභාගරජයක් ගොඩනැගීම පිණිස ප්‍රධාන පක්ෂ තුනම සාකච්ඡාවල නියැලී තිබිණ.

මේ අනුව නේපාල කොංග්‍රසය, කොමියුනිස්ට් පක්ෂය හා මාඕවාදී යන පාර්ශව තුන ඉකුත් සිකුරාදා ඔවුන් ඇතිකරගත් එකඟතාව ඉදිරියට ගෙනයා හැකි අයුරු සාකච්ඡා කොට තිබිණ. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම හා මීළඟට ගතයුතු පියවර පිළිබඳ ක්‍රියාත්මක සැලැස්මක් සැකසීම ගැන ද ඔවුහු සාකච්ඡා කළහ.

මීළඟ රජයේ දී මාඕවාදීන් මූලිකත්වය ගනු ඇතැයි ද එහෙත් ඊට කලින් විසඳාගත යුතු ප්‍රශ්න කීපයක් ම ඇතැයි ද අගමැති කාර්යාලයෙන් ප්‍රකාශ වී ඇත.

2006 ඇති කරගත් සාම ගිවිසුමේ බොහෝ කරුණු මේ වන විටත් ඉටු වී නැති හෙයින් පළමුව ඒවා සපුරාගත යුතු බව පැවසී තිබේ.

දහස් ගණනක් වන හිටපු මාඕවාදී සටන්කරුවන් හමුදාවට අන්තර් ග්‍රහණය කිරීම හා මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ තරුණ අංශය තරුණ කොමියුනිස්ට් ලීගය විසුරුවාලීම මෙසේ සාක්ෂාත් නොකළ දේ අතර වෙයි.

අගමැතිවරයා සුළු පක්ෂ සමග ද සාකච්ඡා කැර ඇත. සාම ගිවිසුමෙන් එකඟ වූ කරුණු සපුරාලීමට අමතරව බිහිවන සමගි රජයක නායකත්වය හිමිවිය යුත්තේ කාට ද යන ප්‍රශ්නය ද පවතී. මේ එකඟතාවයන් ඇති කරගැන්මෙන් පසු අගමැතිවරයා ඉල්ලා අස්වනු ඇතැයි සඳහනි.

කෙසේවෙතත් දේශපාලන රික්තයක් ඇති නොවන පරිදි ව්‍යවස්ථා සම්පාදන පාර්ලිමේන්තු කාලසීමාව දික් කැරගැන්මේ එකඟතාව එ.ජා. සංවිධානයේ ප්‍රසාදයට ද හේතු වී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]