පළමුවත් මවුබිම

පළමුවත් මවුබිම! දෙවැනිවත් මවුබිම! තෙවැනිවත් මවුබිම!

ජනපතිගේ දේශපාලන දිවියට වසර හතළිහයි!

මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර හතළිහ සම්පූර්ණ වේ. වසර හතළිහක් හෙවත් දසක හතරක් යනු ජීවිතයකින් සැලකිය යුතු කාල පරාසයෙකි. 1970 ජූනි 07 දා නිල වශයෙන් ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වේ. එතෙක් - මෙතෙක් ඔහුගේ් දේශපාලන ක්‍රියාකරකම් දෙස විමර්ශනාත්මක ව සැලැකිල්ල යොමු කරන විට ප්‍රධාන කරුණු දෙකක් පැහැදිලි වේ. පළමුවැන්න පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු කළ කැපවීම ය. දෙවැන්න රටේ නිදහස වෙනුවෙන් ඔහු කළ වැඩ කොටස ය.

දෙවන නිදහස් අරගලයේ නියමුවා ලෙස ඔහු හඳුන්වනු ලැබේ. වසර හයසියයකට පසු ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලබාගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ගේ පාලනය යටතේ බව පිළිගනු ලැබේ. බ්‍රිතාන්‍ය කිරීටයෙන් නාමමාත්‍රික නිදහසකට උරුමකම් කී ශ්‍රී ලංකාව එවක් පටන් විශේෂ අර්බුද දෙකකට මුහුණ දුන්නේ ය. එකක් දේශපාලන අර්බුදයෙකි. අනෙක ආර්ථික අර්බුදයෙකි. මේ ගැටලු දෙක ම එකිනෙකට සමගාමී ව එකිනෙකා වෙතින් පෝෂණය ලබමින් ප්‍රසාරණය විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ බොහෝ දෙනකු මේ ගැටලු නිසි ලෙස වටහා ගත්තේ නැත. එබැවින් ඔව්හු තාවකාලික පැලැස්තර දමා අර්බුද වසා දැමූහ. එහෙත් ඒවා වඩාත් දරුණු ලෙස යළි - යළි පැන නැංගේ ය. ප්‍රතිඵල අතිශයින් භයානක විය. එහි උපරිම අවස්ථාව ලෙස සැලැකිය හැක්කේ කොටි ත්‍රස්තවාදයේ නැඟී සිටීම ය. දසක තුනක් හෙවත් වසර තිහක් තිස්සේ එම අර්බුදය ශ්‍රී ලංකාව උඩු - යටිකුරු කර සිටියේ ය. ශ්‍රී ලංකාවේ කොටි වනාහී ලොව අංක එකේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෙස සැලකේ. ලෝක පොලිස්කාරයා වූ ඇමෙරිකාව පවා එය පිළිගත්තේ ය.

මහින්ද මහතා ත්‍රස්තවාදය සමඟ ගැටුණේ ය. ඒ ගැන අවධානය යොමු කළ අය මහින්දගේ අවසානය අත ළඟ යැයි කල්පනා කළහ. ත්‍රස්තවාදය අවි බලයෙන් මර්දනය කළ නො හැකිය යන මතය ලෝක ප්‍රවාදයක් බවට පත්ව තිබිණි. අන්තර්ජාතික ප්‍රජාවගේ උපදේශය වූයේ සාකච්ඡා කරනු යන්න ය. සාකච්ඡාවල ප්‍රතිඵලය මහින්ද මහතා දැනගෙන සිටියේ ය. එහි අතුරු ඵලයක් ලෙස අඛණ්ඩ හා බරපතළ යුද්ධයක පැටලෙන්නට මහින්ද මහතාට සිදු විය. ඔහු රටේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමක පවත්වා ගනිමින් ම යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළේ ය. මේ වනා හී ලෝකයට අලුත් ආදර්ශයක් හා පාඩමක් බව බොහෝ දෙනා කියති.

මහින්ද මහතා ත්‍රස්තවාදීන් කැටුව ගනුදෙනු කළේ එක් ආකාරයකට ය. අන්තර්ජාතික ප්‍රජාව හා ගනුදෙනු කළේ තවත් ආකාරයකට ය. ජනතාව සමඟ ගනුදෙනු කළේ වෙනත් ආකාරයකට ය. මේ සෑම අංශයකදී ම ඔහු සාර්ථක විය. දේශපාලන ජීවිතයේ ඇති අත්දැකීම් බුද්ධිය හා පරිණතභාවය මහින්ද මහතාගේ සාර්ථකත්වය පසුපස ඇති ප්‍රබල සාධකයන් ලෙස පෙන්වා දිය හැකි ය. ඔහු පහළ ම ස්ථානයේ සිට කඳු මුදුන තෙක් දුෂ්කර ගමනක යෙදුණු තැනැත්තෙකි. තෙම්පරාදු වෙච්ච චරිතයක් යන යෙදුම මහින්ද මහතා සඳහා යොදණුයේ එම හේතුව නිසා ය.

ඔහු ගේ ගමන් මඟ අතිශය දුෂ්කර බාධාවන්ගෙන් පිරී තිබිණි. ඔහුට මුහුණ දෙන්නට තිබූ අභියෝගවල කෙළවරක් නැත. ඇතැම් විට තම පක්‍ෂයේ ප්‍රධානීහූ ම ඔහු කපා හැරියෝ ය. ඔහුට බාධා කළෝ ය.

මේ සෑම අවස්ථාවක ම ඔහු ළඟ තිබූ ශක්තිය පොදු ජනතාව ය. පුංචි ම මිනිසුන් අතරට ගොස් උරෙනුර ගැටී කටයුතු කිරීමේ නිසග හැකියාව මහින්ද මහතාට තිබේ. පුංචි මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කරති. ඇදවැටුණු විට පොදු ජනයා ඔහුට අතදීමට පැමිණෙති. මහින්ද රාජපක්‍ෂ යනු නිහතමානී හා ඒ තරමට ම එඩිතර වූ නායකයෙකි.

අද මහින්ද මහතා ගැන මුළු ලෝකය ම කතා කරති. ඔහුට සාර්ක් සංවිධානයේ පමණක් නොව ජී – 15 සමුළුවේ ද නායකත්වය ලැබී තිබේ. මහින්ද රාජපක්‍ෂ යනු ශ්‍රී ලංකාවට පමණක් නො ව මුළු මහත් ලෝකයට ම පරමාදර්ශී දේශපාලන චරිතයෙකි.

අපි ඔහුට චිරං ජයතු යැයි කියමු !

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___