ලෝකයට අලුත් පාඩමක් කියා දුන් ආසියාවේ සාඩම්බර නායකයා

ලෝකයට අලුත් පාඩමක් කියා දුන් ආසියාවේ සාඩම්බර නායකයා

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක විසිනි

මහින්ද රාජපක්‍ෂ මහතා බෙලිඅත්ත මහජන මන්ත්‍රීවරයා ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ 1970 දී ය. 70’ මහ මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ළාබාල ම මන්ත්‍රීවරයා වශයෙන් ය. 2005 දී පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට මෙරට දේශපාලනයේ සියලු තල හරහා ගමන් කරමින් ඔහු මනා පරිචයකින් යුතු පරිණත දේශපාලනඥයකු බවට පත්ව සිටියේ ය. වරෙක ප්‍රේමදාස ජනාධිපතිවරයා කළ සඳහනක් ඇසුරින් කියන්නේ නම් ඔහු මනාව තෙම්පරාදු වූ දේශපාලනඥයෙකි.

දකුණේ ඈත ගමක ඉපදී හැදී වැඩී රාජ්‍ය නායකත්වය දක්වා පැමිණි මේ පරිණත දේශපාලනඥයාගේ එම ගැමි මූලය හුවාදක්වමින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රශ්න කළ මෙරට ඉංගී‍්‍රසි පුවත්පත්වලට ලිපි සපයන ඇතැම් ලේඛකයන් අමතක කළ කාරණය ද මෙයයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔක්ස්ෆර්ඩ් - සෝබෝන් අධ්‍යාපනය ලැබූවකු නො වුණ ද ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරණය පිළිබඳ ඔහු සතු හැකියාව දැනට ම මැනවින් ප්‍රකට කර තිබේ.

2005 ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත්වන විට ඔහු හමුවේ තිබුණේ නිදහසින් පසු මෙරට බලයට පත් කිසිම රාජ්‍ය නායකයකු හමුවේ නො තිබුණු අන්දමේ දුෂ්කරම අභියෝගයක් ජය ගැනීම ය. ඒ, ත්‍රස්තවාදය පරාජය කරමින් රට දෙකඩවීම වළක්වාගැනීම යි. දේශීය මෙන් ම විදේශීය සතුරු බලවේගවල ද තීරණාත්මක මැදිහත්වීම් හමුවේ නොසැලෙමින් එකී අභියෝගය සාර්ථකව ජය ගැනීමට ඔහුට හැකි විණි.

ඒ සමඟම ඉතිහාසයේ මෙරට බලයට පත් කිසිදු රාජ්‍ය නායකයකුට මුහුණ දීමට සිදු නොවූ පරිදි, බලශක්ති අර්බුදය, ආහාර අර්බුදය, මූල්‍ය හා ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය යන ගෝලීය අර්බුද ගණනාවකට එකවර මුහුණ දීමට ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සිදුවිය. එකී අර්බුද මෙරටට අවම බලපෑමක් ඇතිවන අන්දමින් කළමනාකරණය කිරීමට ඔහු සමත් විය. මේ සෑම කාරණයකින් ම පෙනෙන්නේ ඔහු සතු මනා රාජ්‍ය තාන්ත්‍රික හැකියාවයි.

ලෝකය දෙස සමබර දෘෂ්ටියකින් බලන්නට හතළිස් වසරක දේශපාලන ජීවිතය තුළ ඔහු ලැබූ අත්දැකීම් ඉවහල් වූ බව පිළිගත හැකි ය. නිදසුනක් ලෙස පලස්තීන සහයෝගිතා සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා ලෙස ඔහු කාලයක් කටයුතු කළේ ය. පලස්තීන ප්‍රශ්නයේදී පලස්තීන ජනයාට විශාල අසාධාරණයක් වූ බව අප කවුරුත් දන්නා කාරණයෙකි. එක් අතකින් ඔවුනට තම භූ®මිය අහිමි විය. අනෙක් අතට කොටු වී සිටි භූමිය තුළ පවා බාහිර උපද්‍රවයකින් තොරව සාමකාමීව ජීවත්වීමේ අයිතිය ඔවුන්ට නොලැබිණි. මේ පසුබිම තුළ පලස්තීන ජනයා අගහිඟකම්වලින් මෙන් ම මන්ද පෝෂණයෙන් ද විශාල ලෙස පීඩා වින්දේය.

පළමු ඊශ්‍රායල් අරාබි යුද්ධයේ දී පමණක් සරණාගතයන් බවට පත්වූ පලස්තීනුවන් සංඛ්‍යාව 750,000 ක් පමණ වේ. මෙතෙක් පලස්තීන ප්‍රශ්නය විසැඳීමේ ප්‍රයත්නයන් ලෙස ඉදිරිපත් වී ඇති යෝජනා සියල්ල පලස්තීන ජනයා රැවටීමේ ප්‍රයත්න ලෙස ඉතිහාසයට එක්ව තිබේ. එවැනි පීඩාවට පත් මිනිසුන් කොටසක් වෙනුවෙන් වූ ව්‍යාපාරයක දිගු කලක් ක්‍රියාකාරීව යෙදෙමින් මේ ප්‍රශ්නයේ යථා ස්වභාවය පිළිබඳ රාජපක්‍ෂ මහතා ලැබූ අවබෝධය ශ්‍රී ලංකාවේ ප්‍රබල ම ප්‍රශ්නය විසැඳීම සඳහා ඔහුට ඉවහල් වූ බව සිතිය හැකි ය.

අපේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතිවූ දෙපිටකාට්ටු, වංචනික මැදිහත්වීම්වල සැබෑ ස්වරූපය නිවැරදිව දැකීමට ඔහුට එම අත්දැකීම් පන්නරයක් වූ බව තේරුම් ගත හැකි ය. ලංකාවේ දෙමළ ජනතාව පලස්තීනුවන් මෙන් පීඩාවට පත්වූ ජනකොටසක් නොවේ. මෙරට දෙමළ ජනයාට වාසභූමිය කිසිවකු විසින් හෝ පැහැර ගනු ලැබීමත් පිළිබඳ ප්‍රශ්නයක් නොවී ය. නිරන්තර රාජ්‍ය ප්‍රහාරවලට ඔවුන් ලක්වූයේ ද නැත. යුද්ධය තුළ යම් යම් පීඩාවන් ඔවුන්ට ඇතිවිණි නම් එසේ වූයේ ද රජය හෝ ආරක්‍ෂක අංශ සිතා මතා සිදුකළ ප්‍රයත්නයන් ලෙස නො වේ. ඕනෑ ම යුද්ධයක දී සිවිල් ජනයා යම් මට්ටමකට හෝ පීඩාවට ලක්වීම යුද්ධයේ යථාර්ථය බැවිනි.

යථාර්ථය පසෙකින් තැබූ ඇතැම් බටහිර රටවල් හා බලවේග කළේ මෙරට දෙමළ ජනයාගේ මානව හිමිකම්, ස්වයං නිර්ණ අයිතිය වැනි දෑ මතුකරමින් ශ්‍රී ලංකාවට චෝදනා කිරීමයි. පලස්තීනුවන් පිළිබඳ හඬක් නො නැඟීමට හෝ ඊශ්‍රායල් ප්‍රහාරයක් සිදුවූ විටෙක නො කරම බැරි නම් දියාරු හෙළා දැකීමක් පමණක් කරන්නට ඔවුන් වගබලා ගත්තේ ය. බල අරගලයේ සැබෑ ස්වරූපය නියමාකාරයෙන් හැඳින ගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමත් වූ බවට සැක නැත.

අන්තර්ජාතික බලවේග සමඟ ගනු - දෙනු කිරීමේදී ඔහු එකවර ගැටෙන සුලු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ ද නැත. අන්තගාමී කණ්ඩායම් තීරණාත්මක ක්‍රියාමාර්ගවලට හවුල් කර ගත්තේ ද නැත. මේ ඇතැම් බාහිර බලවේග ෂසින් ඔහු යුදකාමියකු ලෙස හඳුන්වනු ලැබුවද 2005 දී බලයට පත්වූ වහා ම ඔහු එල්. ටී. ටී. ඊ. ය සමඟ සාකච්ඡාමය විසැඳුම් ප්‍රයත්නයකට සැබෑ උත්සාහයක් දරන ලද බව අමතක නොකළ යුතු ය. ජිනීවා - ඔස්ලෝ වැනි සාකච්ඡා සිදුවූවද එල්. ටී. ටී. ඊ. ය සුපුරුදු පිළිවෙතින් බැහැර නො වී ය.

සාකච්ඡාවලට මුවා වී වෙනදා මෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද රවටා ගැනීමට එල්. ටී. ටී. ඊ. ය අදහස් කරන්නට ඇතත් මෙවර එය අසාර්ථක විණි. මේ ක්‍රියාදාමයේ කෙළවර ඔහු එල්. ටී. ටී. ඊ. ය ඉල්ලා සිටි යුද්ධයට යුද්ධයෙන් ම පිළිතුරු දීමට තීරණය කළේ ඒ වන විටත් තමා බිත්තියට ම හේත්තු කර තිබූ පසුබිමකයි. එහෙයින් මේ යුද්ධය පිළිබඳ බටහිර රටවල් හා ඇතැම් විදේශීය බලවේග රාජපක්‍ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මතු කරන චෝදනාවන්ට සාධාරණ පදනමක් නැත.

ජයග්‍රාහීව යුද්ධය මෙහෙයවන අතර ම, එහි දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන යුද්ධයක් නො වන බව ලෝකයට සාධාරණ හා ප්‍රමාණවත් ලෙස ඒත්තු ගැන්වීමට රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමත් වීම ද විශාල ජයග්‍රහණයකි. “ජාත්‍යන්තර ප්‍රජාව“ ලෙස තමන් හඳුන්වා ගන්නා උදවිය එය එයාකාරයෙන් ම පිළිගත්තා ද යන්න වෙනම කාරණයකි. එහෙත් එල්. ටී. ටී. ඊ. ය යනු දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටින විමුක්ති සංවිධානයක් නොව අතිශය ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් බව සාක්‍ෂි හා සාධක සහිතව ශිෂ්ට ලෝකය හමුවේ ඒත්තු ගැන්වීමට ඔහුට හැකිවිණි. මේ යුද්ධයේ ජයග්‍රහණය කෙරෙහි එය ද පිටුබලයක් වූ බව නොරහසකි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනේ යෙදී සිටි වකවානුව තුළ පාකිස්තානයේ ස්වැට් නිම්නයේ සිදුවූ ත්‍රස්ත මර්දන මෙහෙයුම් තුළ එම ප්‍රදේශයේ පමණක් අවතැන් වූ පිරිස මිලියන 1.8 කි. මෙහි එම මානුෂීය මෙහෙයුමේ අවසන් ක්‍රියාන්විතය තුළ ම අවතැන්වූවන් ලෙස වාර්තා වූයේ ලක්‍ෂ 3 කි.

යුද්ධය නිසා සිවිල් වැසියන් අවතැන් වූ බවට චෝදනා කරන අය සිවිල් ජනයාට වන හිරිහැර, පීඩා අවම වන පරිදි ක්‍රියාකිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වගබලා ගත් බව ද එය මානුෂීය ඛේදවාචකයක් බවට පත්වීමට කිසිදු ඉඩක් නො තබා යුද සමය තුළ අවතැන් වූ පිරිස් වේගයෙන් නැවත පදිංචි කිරීමට ක්‍රියා කළ බව ද අමතක කරයි. අවතැන් ජනයා මුහුණ දුන් යම් යම් ප්‍රශ්න විශාල කොට දක්වමින් ඒවායින් වාසි ලබාගැනීමට උත්සාහ කළ බලවේග පලස්තීන ජනතාව මුහුණ දෙන දුක් පීඩා ගැන කතා නො කරයි.

වඩා විනාශකාරී මෙන් ම අනර්ථකාරී අභියෝගය ජය ගැනීම සඳහා ඊට අඩු පරිමාවකින් විනාශකාරී ක්‍රියාමාර්ගය තෝරාගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තීරණය කළේ දූරදර්ශී හා මනා පරිණත දැක්මකින් යුතුව බව බැහැර කළ යුතු නැත. ඔහු එකී තීරණය නොගන්නට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ආසියා මහාද්වීපයට ම ඉමහත් තර්ජනයක් වන්නටත්, කලාපීය අස්ථාවරභාවයක් නිර්මාණය කිරීමටත්, ඬසැකව ම ඉඩ තිබිණි. අවස්ථානුකූලව ගත යුතු වූ නිවැරදිම තීරණය ගැනීමේ හැකියාව මෙන් ම එකී තීරණය වෙනුවෙන් නොසැලී පෙනී සිටීමේ අධිෂ්ඨානය ද ඔහු තුළ විය.

බලවත් රටවල් දැඩි ලෙස බලපෑම් ඇති කරන පසුබිමක වුව ද උතුරු කොරියාව මෙන් හුදෙකලාව සිටීමෙන් ද ඔහු වැළැකිණි. වර්තමානයේදී උතුරු කොරියාව වෙනුවෙන් පෙනී සිටින්නේ චීනය පමණි. එහෙත්, බලවත් ජාතීන් ශ්‍රී ලංකාවට හතුරුකම් කරද්දී වෙනත් බලවත් මිතුරන් සොයා ගැනීමට ද, පැවැති මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීමට ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමත් විය.

එහි වාසිදායක ප්‍රතිඵල එමට ය. නිදසුනක් ලෙස යුද ජයග්‍රහණයෙන් පසු පවා සැලසුම් සහගතව මෙරටට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයේ දී එහි ඡන්ද 47 න් 29 ක් අපට පක්‍ෂව දිනාගැනීමටත්, ජපානයත් ඇතුළුව රටවල් 6 ක් ප්‍රකාශ නොවූ ඡන්ද ලෙස තබාගැනීමටත් හැකි වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව මෙහෙයවූ බැවිනි. අලුත් මිතුරන් සමීප කර ගැනීමේ ඔහුගේ උපක්‍රමය ප්‍රතිඵලදායක බව මේ කාරණයෙන් ද සනාථ වෙයි.

මේ කාරණය අතීතය සමඟ ගළපා බලන විට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ දී ඉන්දියාව මෙරට ගුවන් සීමාව උල්ලංඝනය කළ විට ඊට එරෙහි වූයේ කවදත් අපගේ මිතුරන් වූ චීනය හා පාකිස්තානය පමණි. ජයවර්ධන ජනාධිපතිවරයාට සමීප සබඳතා තිබූ රටවල් පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ය.

යුරෝපා සංගමය චෝදනා කළේ ඉන්දියාවට නොව ශ්‍රී ලංකාවටයි. ජයවර්ධන ජනාධිපතිවරයා කෘතහස්ත, පරිණත දේශපාලනඥයකු ලෙස ප්‍රකට වුවද මේ කාරණා සම්බන්ධයෙන් ඔහුට නිවැරදි දැක්මක් නොවූ බව මේ නිදසුන්වලින් පැහැදිලි වෙයි. මේ අත්දැකීම් ඔස්සේ පසුවවත් වෙනස්වීමට තරම් නුවණක් ඔහුට නො තිබීමේ ප්‍රතිඵල පසුකාලීනව රටට අත්විඳීමට සිදුවිය.

ඉන් පසු, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පාලන සමය තුළ බාහිර බලවේගවල උපදෙස් හා මාර්ගෝපදේශ අනුව පාලනය ගෙන යන පිළිවෙතක් ක්‍රියාත්මක විය. රටේ ඒකීය භාවයට බලවත් අනතුරක් වූ සටන් විරාම ගිවිසුම ලිව්වේ කා විසින් ද යන්න එජාපයේ ප්‍රබලයන්වත් අදටත් නො දන්නවා විය හැකි ය. වික්‍රමසිංහ මහතා ද ඒ පිළිබඳ යමක් නො කියයි. එම ගිවිසුමට අස්සන් තැබුණේ ද පාර්ශ්ව දෙක දෙතැනක සිටිමින් ලෝකයේ කිසිදු තැනක සිදු නොවූ පරිද්දෙනි.

මේ සෑම කාරණයක් ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉතාමත් නිවැරදිව තේරුම් ගත් බව පැහැදිලි වෙයි. දශක 4 ක ඔහුගේ දේශපාලන අත්දැකීම් ඊට බලවත් සේ ඉවහල් විය. ඔහු නියෝජනය කරන පක්‍ෂය බලයේ සිටියදී පවා ආණ්ඩුවේ ඉහළ තීරණ ගන්නා තලය තුළ ඔහු නො සිටිය ද 2005 දී බලයට පත් වූ පසු, මුල පටන් ලබා සිටි දේශපාලන පන්නරය ඔස්සේ මනා රාජ්‍ය තාන්ත්‍රික භාවයකින් යුතුව ක්‍රියා කිරීමට ඔහුට හැකි විණි. මේ පසුබිම තුළ අද වන විට ඔහු ජාත්‍යන්තර තලය තුළ ද කැපී පෙනෙන නායකයකු බවට පත්ව සිටී.

සාර්ක් සභාපතිත්වය දරමින් ඔහු කලාපයට ප්‍රබල නායකත්වයක් ලබා දුන්නේ ය. ත්‍රස්තවාදය පරාජය කරමින් ඔහු ලෝකයට ලබා දුන් මහඟු ප්‍රායෝගික ආදර්ශය අගය කරමින් රුසියාවේ ලුමුම්බා සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් ද ඔහුට පිරිනැමුවේ ය. වර්තමානයේ දී ඔහු ට් – 15 හෙවත් රටවල් 18 කින් සමන්විත 15 දෙනාගේ කණ්ඩායම නම් සංවිධානයේ සභාපතිත්වය දරමින් ඊට නායකත්වය දෙමින් සිටී. ජාත්‍යන්තර කරලියේ ද කැපී පෙනෙන නායකයකු ලෙස ඔහු පළකර ඇති විශිෂ්ටත්වය දශක හතරක දේශපාලන ජීවිතය තුළ ඔහු ලැබූ අත්දැකීම් හා ගැඹුරු පරිචයේ ප්‍රතිඵලයකි.


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___