කළු සුද්දන් නිසා අපි හැමදාම අනාථ වුණා

කළු සුද්දන් නිසා අපි හැමදාම අනාථ වුණා

මහින්ද රාජපක්ෂ

 

1970 ජුනි 07 වෙනි ඉරිදා ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ ප්‍රකාශනයකින් පාර්ලිමේන්තුව රැස් විය.

එම ප්‍රකාශය නිකුත් කරන ආණ්ඩුකාරයා සම්බන්ධයෙන් මෙසේ සඳහන් වී තිබිණි.

ශ්‍රී ලංකාද්වීපයේ හා තදීය යටතේ දේශයන්ගේ ආණ්ඩුකාර හා සේනාධිනායකධූරීන, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යත් අති උත්තම පටිපාටයේ සාමාජිකයකු වූ විලියම් ගොපල්ලව උතුමාණන් වහන්සේ විසිනි.

එම ආණ්ඩුකාර තුමා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීන් පත් කෙරෙන මහ මැතිවරණය පැවැත්වූයේ 1970 මැයි 27 දාය.

එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 151 දෙනෙක් ද, පත්කළ මන්ත්‍රීවරු 6 දෙනෙක්ද තෝරා පත් වූහ.

බෙලිඅත්ත ආසනයට ඉදිරිපත් වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ අපේ්ක්ෂකයා පරාජයට පත් කරමින් වැඩි ඡන්ද 6,000කට අධික ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලම මන්ත්‍රීවරයා විය.

නව පාර්ලිමේන්තු සැසි වාරය විවෘත කිරීමේ රාජාසන කථාව විලියම් ගොපල්ලව මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුයේ නිදහස් අනුස්මරණ ශාලාවේ ය.

ඉන් පසු යළි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු රැස් වූහ. ආණ්ඩුකාරතුමාගේ රාජාසන කථාවට ස්්තූති යෝජනාව පවත්වනු ලැබූයේ බෙලිඅත්ත ආසනයෙන් තේරී පත් වූ ළාබාල ම මන්ත්‍රීවරයා වන මහේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීවරයා විසිනි.

එම ස්තූති යෝජනාව ස්ථිර කරනු ලැබූයේ තවත් ලාබාලතම මන්ත්‍රීවරයකු වන මහියංගනයේ එඩ්වින් වික්‍රමරත්න මහතාය.

මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ ස්තූති යෝජනාව මෙසේ ය.

මහෙන්ද්‍ර රාජපක්ෂ මයා. (බෙලිඅත්ත)

ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේ දී මා නැගී සිටින්නේ අති ගරු අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් පවත්වන ලද රාජාසන කථාවට ස්තුති යෝජනාව ඉදිරිපත් කිරීමටයි.

ගරු කථානායකතුමනි, 1970 ජනතා ජයග්‍රහණය වනාහි මේ රටේ කෝටියකට අධික දුක් විඳින ජනතාව පසුගිය අවුරුදු පහ තිස්සේ නිහඬව හදවත්හි දරා ගෙන සිට දුක් සුසුම් අතරින් පැන නැගී ඓතිහාසික ජයග්‍රහණයක්. එය මුළු ලොව මවිත කර වූ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයෙන් බිහි වුණු 1970 වේ ජනතා රජයේ ප්‍රථම රාජසන කථාවට ස්තුති යෝජනාව ගෙන ඒමේ භාග්‍යය මට ලැබී තිබෙනවා.

ඒ වනාහි මට නොව දකුණු ලංකාවේ රුහුණු රටේ බෙලිඅත්ත ආසනයේ හතලිස් හය දහසක් පමණ මහා ජනතාවට ලැබුණු භාග්‍යයක්. මෙම භාග්‍යය ලබාදීම පිළිබඳව බෙලිඅත්ත ආසනයේ මහජනතාව ඔබතුමන්ටත් ගරු අගමැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය ටත් ස්තුතිය පුද කරන ලෙස මා අත එවූ සුහද උණුසුම් ආශිර්වාදය මේ ගරු සභාවට ප්‍රකාශ කර සිටීමට පළමුවෙන් මම ඔබතුමාගෙන් අවසරය ඉල්ලනවා.

ස්තුති යෝජනාව පිළිබඳ විවාදය

ගරු කථානායකතුමනි, ලංකාවේ මෑත ඉතිහාසයේ අතිශය වැදගත්, එහෙත් බොහෝ විට අපට අමතක වන එක් අනුස්මරණීය සිද්ධියක් ඔබතුමන්ට සහ මේ ගෞරවණීය සභාවට සිහිපත් කරලීමට මට අවසර දෙනු මැනැවි. 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටින් ගියේ ඔවුන්ට සුවච කීකරුව සිටිනසේ පුහුණු කළ කළු ඉංග්‍රීසි ධනපති නියෝ්ජිත පිරිසකට මේ රටේ පාලනය භාර දීලයි. මේ පිරිස සිංහල දැනගෙන සිටියේ නැහැ. සිංහල රට, සිංහල ඉතිහාසය, සිංහල සංස්කෘතිය දැනගෙන සිටි අයට සීමා වී තිබුණා. ගරුතර සංඝරත්නය, වෙද මහතුන්, රාජ අනුග්‍රහය නොලබ අනාථව අසරණව සිටියා. ඒ පාලක පක්ෂය අතර සිටි එක් දූරදර්ශී ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් මේ අභාග්‍ය සම්පන්න තතත්ත්වය දැක කම්පා වූ හදවතකින් යුක්තව අවිනිශ්චිත අනාගතයක් කරා, එහෙත් ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව, මේ රටේ දුක් විඳින ජනතාව වෙතට 1951 ජුලි 12 වන දින පා නැගුවා.

ගරු කථානායකතුමනි, ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා දිවංගත ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සිරිමතාණන් ය. මම මේ දිනය ලංකා ඉතිහාසයේ අමරණීය දිනයයි කියන්නේ මක්නිසාද ? ධනපති වාදයේ අඳුරු ඡායාව වෙතට ඇදගෙන යමින් තිබූ මේ රටේ ජනතාව සමාජවාදයේ අරුණාලෝකය වෙතට පළමු වරට යොමු කරවූයේ මේ අතිශය වැදගත් දිනයේදී බව මා ප්‍රකාශ කරනවා. එදා බණ්ඩාරනායක සිරිමතාණන් එක්සත් ජාතික පක්ෂයත් තම ඇමති ධුරයත් හැර දමා පෑගෙන මහජනතාවගේ පිළට එක් වූ දවස ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිසිඳුණු දවස යයි මා විශ්වාස කරනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය අවුරුදු 18 තිස්සේ අනිකුත් සියලුම සමාජවාදී බලවේග අනුව එකමුතු වී සමගි වී මේ රටේ පෑගෙන මහ ජනතාව සමාජවාදය වෙතට ඉතා ජයග්‍රාහක අන්දමින් මෙහෙයවා තිබෙන බව මේ ගරු සභාවට සිහිපත් කිරීමට කැමැතියි. මේ නිසයි, ගරු කථානංයකතුමනි, ඒ දිනය ලංකා ඉතිහාසය අමුතු යුගයකට, අමුතු මගකට යොමු කළ අනුස්මරණීය දිනයක් යයි මා විශ්වාස කරන්නේ එදා ගරු බණ්ඩාරනායක සිරිමතාණන් මේ නව යුගය පිළිබඳව අවිනිශ්චිත අනාගතයක් හිසින් ගෙන තම පංක්තිය හැර දමා පෑගෙන මහජනතාව වෙතට පිය නගද්දි එතුමාට ආත්ම ධෛය¸යක් දෙමින් එතුමා පසුපස ගමන් කළ එක් වීර රුහුණු පුත්‍රයකු ගැන ගරු බණ්ඩාරනායක සිරිමතාණන්ගේ වචනයෙන්ම මම මේ සභාවට සිහිපත් කරන්නට කැමතියි. බණ්ඩාරනායක සිරිමතාණන් මෙසේ කියා තිබුණා.

‘මම හිතුවා ඒ මගේ සෙවණැල්ලයි කියලා. පස්සේ බැලූ කොට ඒ ඩී. ඒ. ‘

ගරු කථානායකතුමනි, මගේ දිවංගත පියාණන් එවකට රුහුණු මහජන මන්ත්‍රී වරයායි. ඒ නිසා එතුමා බණ්ඩාරනායක සිරිමතාණන් පසුපස ගෙන ගියේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාව ලංකාව නව යුගයකට යොමු කළ ඒ ඓතිහාසික සිද්ධියේ සැබෑ කොටස්කරුවන් බව ආඩම්බරයෙන් අදත් සිහිපත් කරනවා. ඒ නිසාම බෙලිඅත්තේ මහජනතාව එදා පිළිසිඳ ගත් ජයග්‍රාහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක කොටස්කරුවන් වීමේ භාග්‍යය ලැබූ අයයි. බෙලිඅත්තේ මහජනතාව තමන්ට මෙම භාග්‍යය හිමි කර දුන් ඒ බණ්ඩාරනායක සිරිමතාණන්ගේ සෙවණැල්ල වූ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාණන්ගේ ආදරණීය පුත්‍රයා 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන මන්ත්‍රීවරයා වශයෙන් අද මේ ගරු සභාවට පත් කර එවා තිබෙනවා.

ගරු කථානායකතුමනි, මෑත ඉතිහාසයේ ලංකාව නව යුගයකට යොමු කළ යට ගිය ඓතිහාසික සිද්ධියේ දී බෙලිඅත්තේ මහජනතාව කොටස්කරුවන් වීම පුදුමයක් නොවෙයි. මට වරම් දී එවූ ඒ ජනතාව අනුස්මරණීය ඓතිහාසික අවස්ථා වන්හිදි කොටස්කරුවන් වූ බව ඔබතුමාණන්ට සිහිපත් කිරීමට කැමතියි. සම්බුද්ධ ශාසනයත් ජාතියත් ගළවා ගැනීමේ වීරෝදාර සටනේදී වීර දුටුගැමුණු රජතුමා පසුපස ගිය ගෝඨයිම්බර යෝධ පුත්‍රයා උපන් නෙටෝල්පිටිය ගම මා නියෝජනය කරන කොට්ඨාශයේ පිහිටියක් ලංකා ද්වීපයේ ධර්ම ශාස්ත්‍ර අභාවයට ගොස් තිබුණු වකවානුවක වැලිවිටියේ පිණ්ඩපාතික ශ්‍රී සරණංකර සංඝ රාජයාණන් වහන්සේ කන්ද උඩරටින් විද්‍යා ආලෝකයේ පහන දල්වද්දී දක්ෂිණ ලංකාවේ විද්‍යාලෝකය පතුරුවා හැරිය ගරු සිටිනාමළුවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ඉපදුණු ඓතිහාසික සිටිනාමළුව ගම පිහිටියේත් මා නියෝජනය කරන කොට්ඨාශයේයි. සෙත් කවි හා වස් කවි පිළිබඳ සහජ දක්ෂතා ඇතිව සිටි බරණ ගණිතාචාය¸තුමා, පත්තායමේ ලේකම් තුමා, බැදිගම වීරසිංහ වැනි කවියන්, වාදීහසිංහ බැදිගම රතනපාල හිමි, වැලිපටන්වි, ශ්‍රී දීපංකර හිමි, කරතොට ධර්‍මාරාම නාහිමි වැනි මහ පඬිවරුන් වැජඹුණේද බෙලිඅත්ත අවට ගම්වලයි.

ගරු කථානායකතුමනි, බෙලිඅත්ත ආසනයට නම ලබා දුන් බෙලිඅත්ත ඉතා පැරණි වෙළඳපොළක් බව ඔබතුමාට සිහිපත් කරවන්නට මා කැමතියි. අගනා සිවුමංසන්ධියක් සහ රමණීය උස් භූමියක් පිහිටි දිනපතා වෙළඳ පළක් පවත්නා බෙලිඅත්ත කදිම නගරයක් බවට පත් කළ හැකියි. එහෙත් අද එය නගරයක හොි්ඩුවාවක්වත් දැනගත නොහැකි නිකම්ම කඩපළක් පමණයි. විධිමත් සැලැස්මකට අනුව බෙලිඅත්ත නගරයක් කර දුන හොත් එය බෙලිඅත්තේ මුළු මහත් ජනතාවම ජනතා රජයට සදහටම කෘතගුණ දක්වන කාරණයක් වනු ඇති.

ගරු කථානායකතුමනි, මා නියෝජනය කරන ආසනයෙස් සෑහෙන තරම් කොටසක් ධීවර කර්මාන්තයෙන් යැපෙන දුක්බර අය බව මේ ගරු සභාවට සිහිපත් කර සිටිනවා. දකුණු ලංකාවේ ඉතා ප්‍ර‍්‍රසිද්ධ ධීවර ගම් කීපයක් මේ කොට්ඨාශයේ පිහිටා තිබෙනවා. මාවැල්ල, කුඩාවැල්ල ආදී ඉතා ජනාකීර්ණ ධීවර ගම්වල ජනතාව සිය ජීවිත පරදුවට තබා මුහුද සමග සටන් කොට ඉතා දුකසේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවන ක්‍රමය වාසනාවන්ත කිරීම සඳහා ධීවර සංරක්ෂණ ක්‍රමයක් හා ඔවුන්ගේ මුහුදු යාත්‍රා ගැනීමට ණය පහසුකම් ඇති කිරීම සහ ධීවර ආම්පන්න වල අධික මිල පහත හෙළීම වැනි ක්‍රම වලින් උදව් කළොත්, තංගලු පෙදෙසේ ධීවර ජනතාව ජනතා රජයට කෘතඥ වන බව කිව යුතුයි.

ගරු කථානායකතුමනි, තංගල්ලේ තානායම ළඟ සිට නැගෙනහිර දෙස බලන විට ඈතින් පෙනෙන රැකව තුඩුව තෙක් කවාකාරව විහිදුණු අති රමණීය ස්වභාවික තංගලු වරාය අද මෝඩ වරායක් බවට පත් වී ඇති සැටි තංගලු ධීවර ජනතාව කඳුළු පිරි දෑසින් යුක්තව සිහිපත් කරනවා. එදා ඒ තිබුණු වරායත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයෙන් මුදල් වෙන් කළ ධීවර මධ්‍යස්ථානයත් අද එහි නැහැ. අද එහි තිබෙන්නේ පොල් වැවීමට වුවත් පුළුවන් වැලි ගොඩ ගැසුණු වරායක්. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, අද එම වරාය නැව් නවත්වන මුහුදු වරායක් වශයෙන් නොවෙයි, මුහුද ගොඩ කිරීමේ ව්‍යාපාරයක් වශයෙන් නම් සාර්ථක වී තිබෙන බව මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ගරු කථානායකතුමනි, තංගල්ලට අද සම්පූර්ණ ධීවර කටයුතු මධ්‍යස්ථානයක් සහිතව වරායක් ඇති කිරීම පිළිබඳ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස මේ ගරු සභාවෙන් මා ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි, මා නියෝජනය කරන ආසනයේ වැසියන් බොහෝ කොට ගොවිතැන් බතින් ජීවත් වන අය බව මා කියා සිටිය යුතුයි. කුඹුරු ගොවිතැන සඳහා පුරාතනයේ සිට පැවත එන කුඩා ග්‍රාමීය වැව් වලින් ජලය ලබාගෙන ගොවිතැන් කරන මේ ගොවි මහතුන්ට ඒ පැරණි වැව් හා ඇළ වේලි ක්‍රමවත් සේ සකස් කොට නවීන විද්‍යාත්මක වගා ක්‍රම පිළිබඳ අවබෝධයක් දී උදව් කළ හැකි නම් එය මේ ජනතා රජය බිහි කිරීමට ඔවුන් දැරූ ආයාසයට කළගුණ සැලකීමක් බව මම ඔබතුමන්ට සිහිපත් කරනවා.

ගරු කථානායකතුමනි, අතිගරු අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද රාජාසන කථාවේ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය හා නඩත්තුව රජයට පවරා ගන්නට අදහස් කරන බව ප්‍රකාශ වී තිබුණා. මෙය බෙලිඅත්තේ පැරණි ගම්වල වැව් හා ඇළ වේලිවලින් ජලය ගෙන කුඹුරු වගා කරන ගොවි මහතුන්ට ඉමහත් ප්‍රීතිය ගෙන දෙන්නක් බව මා සඳහන් කළ යුතුයි. රාජාසන කථාවේ ඉදිරිපත් වූ මේ අදහස අනුව තංගලු වෙල්යායේ කර දිය මුහුදට බස්සන ක්‍රමයක් ඇති කළොත් අක්කර 2400 ක් පමණ වූ මේ වෙල්යාය යල මහ දෙකටම සරුවට වගා කරන්නට හැකි වෙනවා ඇති.

ගරු කථානායකතුමනි, බෙලිඅත්ත ආසනයේ ගොවි ජනතාවගෙන් විශාල කොටසක් හේන් ගොවිතැනින් ජීවත් වන අයයි. ඔවුන් කටුසර බෝග වගා කර ගෙන දුකසේ ජීවත් වෙනවා. රුහුණ විශේෂයෙන් කුරහන් ගැන ප්‍රසිද්ධියක් උසුලනවා. රුහුණේ සිංහයා නමින් විරදාවලිය ලබා සිටි දිවංගත ඩී. එම්. රාජපක්ෂ මහතා එවකට හම්බන්තොට ගරු රාජ්‍ය මන්ත්‍රීතුමා තම සාටකය සඳහා තෝරා ගත්තේ කුරහන් පාට බව මෙහි දී මා මතක් කරනවා.

මේ නිසා කුරක්කන් වැනි කටුසර බෝග වගා කරන ගම්බද හේන් ගොවීන්ට පහසුකම් ලබා දුන හොත් ඔවුන් ජනතා රජයට බෙහෙවින් කෘතඥ වෙනවා රාජසන කතාවේ ඉඩම් නැති ගොවීන්ට ඉඩම් බෙදා දීමේ ක්‍රමයක් පිළිබඳව සඳහන් කර තිබීම ගැන සුළු කර්මාන්ත ගෘහ කර්මාන්ත සහ සුළු කාර්මික වැඩපොළවල් ඇති කිරීම සහ දියුණු කිරීම ගැන රාජාසන කතාවෙහි සඳහන් වුණා.

මුළු ලංකාවේ ප්‍රකට අති විසිතුරු චිරාගත ලාක්ෂා කර්මාන්තය රඳා පවතින්නේ මා නියෝජනය කරන ආසනයේ පිහිටි අඟුල් මඩුව නම් ගමේයි. තවද පිත්තල කර්මාන්තය, වළං කර්මාන්තය යනාදි සුළු දේශීය ගෘහ කර්මාන්ත පෞරාණික මුහුණුවරට හා චිරාගත ලක්ෂණ වලට අනුකූලව රැකගෙන එන බෙලිඅත්තේ මහ ජනතාවට රාජාසන කථාවෙහි යට කී සඳහන ඉමහත් ප්‍රීතියට හේතු වන බව කිව යුතුයි.

බෙලිඅත්ත ආසනයේ රක්ෂා විරහිත උපාධිධාරීන් සහ ස්වභාෂා මාධ්‍යයෙන් විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය බලාපොරොත්තු වන තරුණ තරුණියන් විශාල ගණනක් ඉන්නවා. රාජ්‍ය අංශයේ පුරප්පාඩු සියල්ල පිරවීමට සහ රක්ෂා පහසුකම් පුළුල් කරන අලුත් දෙපාර්තමේන්තු ඇති කිරීමට රාජාසන කථාවෙන් ඉදිරිපත් කර ඇති අදහස ගැන බෙලිඅත්ත ආසනයේ තරුණ පරම්පරාව බොහෝ කොට ප්‍රීතිමත් වන බව මාාකිව යුතුයි. ඊටත් වඩා දකුණෙහි තවත් විශ්ව විද්‍යාලයක් පිහිටුවන්නට ඉදිරිපත් කර ඇති අදහස කෙරෙහි මුළු රුහුණම කෘතඥ වන බව කියන්න කැමතියි.

ගරු කථානායකතුමනි, මේ රටේ වර්තමාන තරුණ පරම්පරාව රක්ෂා හිඟය, අවිනිශ්චිත අනාගතය, අවිනිශ්චිත සංස්කෘතික රටාව, යන මේ කරුණු නිසා සුන් වූ අපේක්ෂාවන්ගෙන් පිරුණු හිසින් බරපතළ අසහනයක දැවටී සිටින බව මා සඳහන් කළ යුතුව තිබෙනවා. පසුගිය මහ මැතිවරණයේදී පැහැදිලිව පෙනුණු එක් කරුණක් තමයි මෙම අපේක්ෂා භංගත්වයෙන් අසහනයෙන් පෙළුණු තරුණ පරපුර සෞභාග්‍යමත් අනාගත ලංකාවක් බිහි කරන්නට පොරොන්ද දී සිටි සමගි පෙරමුණ වටා රොක් වී සමගි පෙරමුණ ජයග්‍රහණය කර වන්නට දිවා රෑ වෙහෙස මහන්සි වූ බව.

තරුණයන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන බවටත් තරුණ කටයුතු සහ සුබ සාධක කටයුතු ගැන දෙපාර්තමේන්තුවක් ඇති කකිරීම සඳහා පියවර ගන්නා බවටත් රාජසන කථාවේ ඇති සඳහන මුළු ජනගහනයෙන් අඩකට වැඩි මේ තරුණ පරපුරේ අමන්දානන්දයට හේතු වන බව ඒ තරුණ තරුණියන් වෙනුවෙන් ඒ පරපුරේ කෙනෙකු වන මා සඳහන් කරන්නට කැමතියි.

ප්‍රජාතන්ත්‍රවාදී ජර්මන් ජනරජය, වියට්නාම ජනරජය, කොරියන් ජනරජය, හා වියට්නාම විප්ලවවාදී තාවකාලික ආණ්ඩුව සමග තානාපති සබඳකම් ඇති කර ගැනීම ටත් ඊශ්‍රායලය සමග දැනට ඇති තානාපති සබඳකම් අත්හිටුවීමටත් රාජසන කථාවේ කර ඇති සඳහනද නොබැඳුන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට තිබුණු සඳහන ද අනුව ජනතා රජය අධිරාජ්‍ය විරෝධී විමුක්ති සටන් ගරු කරන දුරදර්ශී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට මහ ජනතාව තුළ ස්ථිර විශ්වාසයක් ඇති බව කිව යුතුයි.

මේ රටේ පොදු ජනතාව, අධිරාජ්‍යවාදය, අනුමත නොකරයි. ධනේශ්වර වාදය අනුමත නොකරයි. සියලු සුරාකෑම් අනුමත නොකරයි. ඔවුන් 1970 දී තුනෙන් දෙක කටත් වඩා වැඩි ආසන ගණනක් ලබා දී සමගි පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයකට පත් කළේ මේ නිසයි. මහජනතාව සමගි පෙරමුණ කෙරෙහි තැබූ මේ උදාර විශ්වාසය අබමල් රේණුවක තරමින් පවා නොසැලෙන සේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට මේ ජනතා රජය වග බලා ගනිතැයි ඔවුහු බලා සිටිති.

ජනතා රජය ඉදිරියේ ඇති ප්‍රතිගාමී, කුමන්ත්‍රණකාරී, අධිරාජ්‍යවාදී, ධනවාදි බලවේග අප විසින් සුළුවෙන් තැකිය යුතු නොවේ. එහෙත් ඒ සෑෑම බාධකයක්ම බිඳ දමමින් සමාජවාදය කරා යන ගමන සහතික කර වීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව මේ ගරු සභාවේදී ප්‍රකාශ කර සිටිනවා.

මේ ගරු සභාවට ආධුනිකයකු වන මට මේ අවස්ථාවේදී මේ ස්තුති යෝජනාව ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දීම ගැන ගරු කථානායකතුමාටත්, ගරු අගමැතිනියටත්, ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමමින් අතිගරු අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ පැවැත්වූ රාජාසන කථාව පිළිබඳ සිතූති යෝජනාව මම මෙසේ ඉදිරිපත් කරමි.

‘අති ගරු උතුමාණෙනි,

පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී ඔබතුමාණන් විසින් පවත්වන්නට යෙදුණු කථාව වෙනුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වන අපි ඔබතුමාණන්ට ස්තුති කරමු. අප වෙත ඉදිරිපත් කරන ලද සියලුම කරුණුවලට අපගේ අවධානය යොමු කරන බවත් අපි ඔබතුමාට ස්ථිර ලෙස ප්‍රකාශ කරමු’


 

මහින්දගේ කතාව ස්ථිර කරමි

එඩ්වින් වික්‍රමරත්න

එඩ්වින් වික්‍රමරත්න මයා (මහියංගන)

ගරු කථානායකතුමනි, අතිගරු අග්‍රාණ්ඩුකාර උභතුමාණන් වහන්සේ විසින් අද දින පවත්වන්නට යෙදුණු රාජාසන කථාව සම්බන්ධයෙන් බෙලිඅත්තේ ගරු මන්ත්‍රී තුමා විසින්ඉදිරිපත් කරන ලද ස්තූති යෝජනාව මේ අවස්ථාවේදී මා ඉතාමත් සන්තෝෂයෙන් ස්ථිර කරනවා. හත් වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රාජසන කථාව වෙනුවෙන් අද වැනි ඓතිහාසික දිනයක ඉදිරිපත් කරන ලද ස්තුති යෝජනාව ස්ථිර කිරීමට මට අවස්ථාවක් ලබා දීම ගැන ඇත්ත වශයෙන්ම මා පෞද්ගලිකව සන්තෝෂ වෙනවා. ඒ අතරම මා වෙත පිරිනමන ලද ඒ මාහැඟි වූ අවස්ථාව මහියංගනයේ ජනතාවට අපේ ආණ්ඩුව දැක්වූ අති විශාල ගෞරවයක් ලෙස මා සලකනවා.

ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී ඔබතුමා වෙත මා ඉතා සන්තෝෂයෙන් මතක් කරන්නට සතුටු එක් වැදගත් කාරණයක් තිබෙනවා. මහියංගනය දුප්පත් ජනතාවක් ජීවත් වන ඓතිහාසික ප්‍රදේශයක් බව ඔබතුමා දන්නවා. එවැනි ප්‍රදේශයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්නට මට අවස්ථාවක් ලබා දුන් අපේ ගරු අගමැතිනියටත්, සෙසු ප්‍රභූන්ටත්, ඒ ප්‍රදේශවාසී ජනතාවටත් මා ස්තූතිවන්ත වෙනවා.

ගරුතර අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් පවත්වන ලද රාජාසන කථාවේ මේ රටේ බහුතර ජනතාව වන දුප්පත් ජනතාවට අනාගතයේදී ඉතාමත් යහපත් කාල පරිච්ඡේදයක් ලබා දීමට උපකාරි විය හැකි වැදගත් කරුණු රාශියක් අඩංගු වී තිබෙනවා. මේ රටේ ජනතාව සමගි පෙරමුණ කෙරෙහි බලවත් විශ්වාසයක් තබා සමගි පෙරමුණට මේ සා විශාල බලයක් ඇති වන පරිද්දෙන් ආණ්ඩු බලය ලබා දුන්නේ මේ ආණ්ඩුව මගින් තමන්ගේ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීමේ සාධාරණත්වය ඉටු කර ගැනීමේ උදාර අදහසිනුයි.

මේ අවස්ථාවේදී මහියංගන ආසනය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කියන්නට ඔබතුමාගේ අවසරය මට ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මහියංගනය අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ ශුද්ධ නගරයක් බව ඔබතුමා දන්නවා. ඒ එසේ වුවත් අද මහියංගනය බෙහෙවින්ම දුක් විඳින ජනතාව වාසය කරන ප්‍රදේශයක් වී ඇති බව තමුන්නාන්සේ දන්නවා. මේ ප්‍රදේශවාසීන්ගේ අමාරුකම් සහ අපහසුකම් අතර ඉඩම් හිඟය පිළිබඳ ප්‍රශ්නය වැදගත් තැනක් ගන්නවා. වාරිමාර්ග ප්‍රශ්නය, අධ්‍යාපන ප්‍රශ්නය, සෞඛ්‍ය ප්‍රශ්නය වැනි නොයෙක් ප්‍රශ්න මේ කොට්ඨාශය කෙරෙහි බලපානවා.

විශේෂයෙන්ම පසු ගිය අවුරුදු පහ තුළ මේ ප්‍රදේශයේ ප්‍රශ්න වඩ වඩාත් උග්‍ර බවට පත්වී තිබෙනවා. එහෙත් පසුගිය කාලය තරම් මේ රටේ ජනතාව හොඳින් කා බී ඇඳ පැළඳ ප්‍රීතියෙන් සිටි කිසිම යුගයක් මීට පෙර කවදාවත් තිබුණේ නැතැයි පසුගිය කාලයේ පැවැති ආණණ්ඩුව නොයෙක් විට කියන්නට යෙදුණා. ඒ ගැන දැන් සඳහන් කිරීමත් කණගාටුවට කාරණයක්. මහියංගනයේ ජනතාව දෙස බැලූ මගේ නෙත් දෙකට හමු වූ දේ හා හදවතට ඇති වූ හැඟීම් සමහරක් කීමට තමුන්නාන්සේ අවසර දෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මහියංගනය ආසනයෙහි ජීවත්වන ඇතැම් දුප්පත් උදවිය අපේ සිංහල සිරිත් විරිත් විදහා දක්වන සිංහල අවුරුද්ද වැනි උත්සව සමයන්හිදි කාලය ගත කරන්නේ කෙසේ දැයි මගේ ඇස් දෙකින් දුටු කරුණු අනුව ගරු කථානායකතුමාටත් ගරු මන්ත්‍රී මණ්ඩලයටත් විස්තර කර දෙන්නට පුළුවනි.

ඇත්ත වශයෙන්ම මතක් කරන්නට පවා කනගාටුයි, සිංහල අවුරුද්ද වැනි උත්සව කාලවලදී පවා ඇතැම් සිහල කුල කාන්තාවන් ජීවත් වන ආකාරය ගැන. වයස අවුරුදු 24, 25 තරමේ කාලය ගවෙන අඇතැම් තරුණ කාන්තාවන්ට පවා හැට්ටයක් බොඩියක් වැනි දෙයක් හෝ අඳින්නට නැතිකම නිසා දිය නෑමේදී අඳින දිය රෙදි වැනි දේ ඇඳගෙන සිය ගෙවලට වී සිංහල අවුරුදු කාලවල සුසුම් හෙලමින් සිටින්නට සිදුවූ බව කනගාටුවෙන් නමුත් මතක් කරන්නට සිදු වී තිබෙනවා.

එහෙත් පසු ගිය රජය කාලයේ කිව්වේ මේ රටේ ගොවියාට නිසි තැන ලැබුණු බවයි. මේ රටේ දුක් විඳින ජනතාවට නිසි තැන ලැබුණු බවයි. එහෙත් මහියංගණය ආසනය දෙස බලන විට නම් තත්ත්වය ඉතාමත් කනගාටුදාඩක බව කිව යුතුයි. පසුගිය අවුරුදු පහේ කාලසීමාව තුළදී ඉතාමත් කනගාටුදායක තත්ත්වයකිනුයි මහියංගනය පළාතේ ජනතාව ජීවත් වුණේ. එම නිසා අපේ ජාතික ජනතා රජයේ ගරු ඇමතිවරුන්ගේ සහ තමුන්නාන්සේගේ විශේෂ අවධානය මහියංගන ආසනයේ දුක් විඳින ජනතාව වෙත යොමු කරන මෙන් මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

අප පළාත්වල වෙසෙන ගොවි ජනතාවට ඉඩමක් කඩමක් නැහැ. ඔවුන් මේ රටේ විශාල ධනපතියන් කන බොන ආකාරය දෙස බලමින් සිය ගෙවලට වී සුසුම් හෙලමින් ජීවත් වෙනවා. මහියංගන ජනතාව එවැනි කනගාටුදායක අභාග්‍යසම්පන්න කාලයක් ගත කරමින් සිටින බව මේ අවස්ථාවේදී මා නැවත වරක් මතක් කරනවා. ඉඩම් ප්‍රශ්නවලදී මෙන්ම වාරිමාර්ග ප්‍රශ්නවලදීද එම ජනතාවට මුහුණ පාන්නට සිදු වූයේ බලවත් දුෂ්කරතාවලටයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී නැතිනම් අධිරාජ්‍යවාදී ක්‍රමයට හැඩ ගැසී තිබුණු යුගයේදී යමක් කමක් තිබෙන මිනිසාට පමණයි හැම විටෙකම තැන ලැබුණේ. එහෙත් අපේ මෙම ජනතා රජය එවැනි ක්‍රියා මාර්ග අනුගමනය කරන්නේ නැතුව මේ රටේ දුප්පත් පොදු ජනතාවට නිසි තැන ලදා දීමටත් දුප්පත් පොදු ජනතාව ගේ සිතුම් පැතුම්වලට අනුව වැඩ කටයුතු කිරීමටත් ඉතා වැදගත් ක්‍රියා මාර්ග ගනු ලබන බව අද දින අග්‍රාණ්ඩුකාර උතුමාණන්වහන්සේ ෂසින් ඉදිරිපත් කරනු ලැබූ රාජාසන කතාවෙන් පැහැදිලි වෙනවා.

ගරු කථානායකතුමනි, මහියංගනය ආසනයේ ජනතාවට සෞඛ්‍ය අංශයෙන්ද ඉතා කනගාටුදාඩක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බව කිව යුතුයි. එම පළළාතේ දුප්පත් කෙනෙකුට හදිසි ලෙඩක් දුකක් සැදුනොත් ඔහු රෝහල කරා ගෙන එන්නට පුළුවන් තත්ත්වයක් නැහැ. වාහනයක් ගෙන ඒම සඳහා සුදුසු අන්දමේ පාරක් තොටක් නැහැ. සැතපුම් 8, 10 දුර සිට කඳ බැඳගෙනයි ලෙඩුන් ගෙන එන්නට සිදු වී තිබෙන්ටෙන්.

උණ ගහක කඳ මැදින් ලෙඩා එල්ලා ගෙන කඳක් ලෙස කර තබාගෙන සැතපුම් 8, 10 දුර ගෙන එන අන්දම මගේ ඇස් දෙකින් දැක තිබෙන නිසායි එම කාරණය මේ ගරු සභාවෙහි මෙන්ම ගරු කථානායකතුමාගේත් අවධානයට යොමු කර වන්නේ. මෙවැනි කනගාටුදාඩක අවාසනාවන්ත තත්ත්වයට මුහුණ පා තිබෙන මහියංගනය ආසනය වැනි දුෂ්කර ප්‍රදේශයක් කෙරෙහි තමුන්නාන්සේලාගේ කාරුණික අවධානය යොමු කරන ලෙස මා නැවත වරක් ඉල්ලා සිටින්නේ එම නිසයි.

ගරු කථානායකතුමනි, පසුගිය රජය මගින් හත්වන ශ්‍රේණියට පමණක් උඋගන්වන පාසල් ඇති කිරීමේ වැඩ පිළිවෙළළක් ක්‍රියාවට පත් කළ නිසා ඇතැම් දුප්පත් අහිංසක දරුවන් තමන්ගේ සහජ බුද්ධිය පවා ඔප් නංවා ගන්නට බැරි තත්ත්වයකට වැටී සිටිනවා. අද මෙම පාසල් ප්‍රශ්නයේදී මුහුණ පාන්නට සිදු වී ඇත්තේ ඉමහත් අපහසුදායක තත්ත්වයකටයි. ගමේ පාසලේ හත් වන ශ්‍රේණිය දක්වා ඉගෙනීම ලබන ළමයාට ඊ ළඟට යා යුතු වන මධ්‍ය මහා විද්‍යාලය කරා යාමට හැටියක් ඇත්තේ නැහැ.

සමහර විට එය දුර බැහැර කම නිසා පැන නගින අපහසුකම විය හැකියි. එසේ නොවේ නම් දුප්පත් කම නිසා ඇතිවන අපහසුකම විය හැකියි. මෙම තත්ත්වය හේතුකොට ගෙන එම අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී තිබෙනවා. කෙටියෙන් කියතොත් ඔවුන්ගේ අධ්‍යාපනය හත්වන ශ්‍රේණියෙන් නතර වී තිබෙනවා. එම නිසා මේ තත්ත්වය වහාම වෙනස් කර පෙර තුබූ පරිදිම අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කරන මෙන් මා මේ රජයෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ සමගම මතක් කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. මේ දුප්පත් දරුවන් ගේ්දෙමව්පියන් ඉතා අසරණ දුප්පත් අය. මේ දුප්පත් දරුවන්ට වුවමනා කරන පොත් පත් ටික ගැනීමටවත් ඒ අයට වත්කමක් නැහැ. රුපියලට දෙකට ලොකු ධනපති මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නට සිද්ධ වී තිබෙන මේ දුප්පත් දෙමව්පියන්ට අසීපයක් වැළඳුණහොත්, මාසයක් ආරෝග්‍යශාලාවක ගත කරන්නට සිද්ධ වුවහොත් අර දරුවන්ට යන කල දසාවක් නැහැ.

ඒ දරුවන්ට කන්නට බොන්නටත් වුවමනා කරන පොත් පත් ටික ලබා දෙන්නටත් නොහැකි වූ විට ඔවුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එවැනි තත්ත්වයක් පවත්නා නිසා විශේෂයෙන්ම ගම්බද ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන ගම් බද ප්‍රදේශ ගැන විශාල ඇල්මක් සහ ආදරයක් තිබෙන මේ රජයෙන් මා එක්තරා ඉල්ලීමක් කරනවා. මේ ගම්බද දුප්පත් දරුවන්ට වුවමනා කරන පොත් පත් නොමිලයේ බෙදා දෙන්න. එයයි මා කරන ඉල්ලීම.

ගරු කථානායකතුමනි, අපේ සමගි රජයේ මේ පළමුවන රාජාසන කථාවෙන් දුප්පත් අහිංසක ගොවීන් බේරා ගැනීමට සමුපකාර ක්‍රමය අනුව විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කියැවුණා. ඇත්ත වශයෙන්ම එදා අපේ දුප්පත් ගොවියා දුප්පත් අහිංසක මිනිසා සම්පූර්ණයෙන්ම ගසා කෑෑමට නැති කිරීමට පසුගිය රජය පෞද්ගලික අංශයේ සමහර උදවියට අවස්ථාවන් සලසා දුන්නා. ඒ කෙසේ වෙතත් අපේ මේ ප්‍රථම රාජාසන කථාවෙන් දුප්පත් ගොවියා දුප්පත් මිනිසා බේරා ගැනීම සඳහා සමුපකාර ක්‍රමය අනුව විධිමත් සැලැස්මක් උඩ වැඩ පිළිවෙළක් ගෙන යන බවට පොරොන්දු වක් දී තිබෙන බව මා සතුටින් මතක් කරනවා.

ඒ සමගම එදා කැප්ටන්ලා නැත්නම් සෙනෙවිලා යනුවෙන් හැඳින් වූ කොටස පවා මේ වාරයේ අපේ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්ති ඉදිරියෙහි දණ ගැසූ බවත් මා සතුටින් මතක් කරන්නට ඕනෑ.

ගරු කථානායකතුමනි, මේ ඓතිහාසික හත් වන පාර්ලිමේන්තුවේ ප්‍රථම රාජාසන කථාව ඉදිරිපත් කළ දිනය ලංකා ඉතිහාසයට පමණක් නොව ලෝක ඉතිහාසයටම වැදගත් දිනයක් වන බව මා ප්‍රකාශ කරන්නට සතුටුයි. මේ දිනය අපේ ගරු නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගේ ප්‍රතිපත්ති මුළු ලෝකයටම පෙන් වූ දිනය වශයෙන් සලකන්නට පුළුවනි.

මා මීට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. අවසාන වශයෙන් මා ඉතාමත් ගෞරවයෙන් තවත් ඉල්ලීමක් කරනවා. දුප්පත් අහිංසක ජනතාවක් ජීවත් වන, දුප්පත් පාසල් දරුවන් කොටසක් සිටින, මහියංගනය කොට්ඨාශය පිළිබඳව ගරු කථානායකතුමා ඇතුළු මේ මුළු සභාවේම අවධානය යොමු විය යුතුයි. බෙලිඅත්තේ ගරු මන්ත්‍රීතුමා විසින් රාජාසන කථාවට ඉදිරිපත් කරන ලද ස්තූති යෝජනාව නැවතත් ගෞරවයෙන් ස්ථිර කරමින් මා අසුන් ගන්නවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___