ජන ඝාතක භීෂණය මැදින්නිදහස සොයා ගිය පා ගමන

ජන ඝාතක භීෂණය මැදින් නිදහස සොයා ගිය පා ගමන

දෙසතිය සංස්කාරක වසන්තපි‍්‍රය රාමනායක විසිනි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා මගේ හමුව සිදුවනුයේ 1976 වර්ෂයේ ය. ඒ මුල්කිරිගල අතුරු මැතිවරණයේදී ය. එම මැතිවරණයට සහාය වීම සඳහා මිතුරකුගෙන් ලත් ආරාධනාව මත මම එයට සහභාගි වීමී. එම අතුරු මැතිවරණයේ ප්‍රධානතම භූමිකාව නිරූපණය කළේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ය.

එම සබඳතාව අප දෙදෙනා අතර දිගින් දිගට ම පැවැතිණි. මා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සහකාර කළමනාකරුවකු ලෙස සහ පෙරමඟ සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළ අවධියක් විය. එකල මා විසින් පෙරමඟ සඟරාවට ලියන ලද ලිපියක් හේතු කරගෙන එවක පැවැති පාලනය විසින් මා එම තනතුරින් නෙරපණ ලදී.

එම ක්‍රියාවට විරෝධය පළකළ මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව තුළ එයට එරෙහිව විශාල හඬක් නැඟුවේ ය. මේ නිසා ම පසුකාලීනව අප අතර සම්බන්ධය තවත් වැඩිවිය.

1988/89 භීෂණ කාලපරිච්ඡේදය රටට උදාවිය. ජනතාව අත්වින්දේ ඉතා ම නරක අත්දැකීම් ය. මගේ විශ්ලේෂණය අනුව එහි ප්‍රධාන අර්බුද කිහිපයක් තිබිණි.

1. මානව හිමිකම් සම්බන්ධයෙන් රට

තුළ ගැටලුකාරි තත්ත්වයක් මතු වීම,

2. ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් වීම.

3. ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න පැන නැඟීම.

4. දැඩි ලෙස ක්‍රියාත්මක වූ පුද්ගලිකකරණය රටට අහිතකර වීම,

5. උතුරු නැඟෙනහිර ප්‍රශ්නය බරපතළ වීම,

මෙවැනි ප්‍රශ්න රටවැසියන්ට ප්‍රබල ලෙස දැනෙන්නට විය. ඔවුහු බොහෝ සේ පීඩා වින්දෝ ය. එහෙත් රටේ විපක්‍ෂය අක්‍රීය වී තිබිණි. කිසිම මන්ත්‍රීවරයකු ඉදිරියට පැමිණියේ නැත. තවද විපක්‍ෂය අනුගමනය කළ සමහර උපක්‍රම නිසා කෑලි - කෑලිවලට බෙදී තිබිණි. මෙවැනි තත්ත්වයක රට ඉදිරියට ගෙන යාම සඳහා බිම් මට්ටමේ ව්‍යාපාරයක් අවශ්‍ය විය.

මේ සඳහා විපක්‍ෂය ඒකරාශී කිරීම කිසිසේත් පහසු නො වීය. මේ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ධම් මට්ටමේ ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ කල්පනා කරමින් සිටියේය. මෙහිදී “පාද යාත්‍රාවක්” පිළිබඳ අදහස මා විසින් ඉදිරිපත් කැරිණි. ඒ පිළිබඳ පසුව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. කුසල් පෙරේරා මහතාගේ ද සහභාගිත්වය ඇතිව “පාද යාත්‍රාව“ පිළිබඳ දීර්ඝ ලෙස කතාබහ කෙරිණි. එහෙත් විපක්‍ෂයේ මෙන් ම ආණ්ඩු පක්‍ෂයේ ද බොහෝ දෙනා වැඩසටහන හාස්‍යයට ලක්කළහ.

”මේක නම් කාගේ හරි ලණුවක්”

”ඕක හරියන්නේ නෑ”

”පළමු දවසින් ම ගහලා ඉවරයක් කරාවි” යනුවෙන් විවිධ මත පළවන්නට විය. මේ සියලු මත තිබුණේ ඍණාත්මකව ය.

එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා නො බියව කියා සිටියේ මෙය අනිවාර්යයෙන් ම කළ යුතු වැඩක් ලෙසට ය. මේ අනුව සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ කතාබහ කෙරුණි. අවසානයේ ගම් මට්ටමට ගොස් ගම් මට්ටමේ පිරිස් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අපි ඇතිකළෙමු. රාත්‍රි‍්‍ර 10 – 12 වනතෙක් ජනතාව සමඟ තතාබහ කර අවශ්‍ය පරිසරය සකසා ගත්තෙමු.

පළමුව පාද යාත්‍රාව යාමට නියමිතව තිබුණේ හම්බන්තොට සිට කොළඹට ය. එහෙත් එය පසුව කොළඹ සිට හම්බන්තොට දක්වා වෙනස් විය. විවිධ බාධා හැළහැප්පීම් මධ්‍යයේ පාද යාත්‍රාවට කොළඹ විහාරමහා දේවි උද්‍යානයෙන් ආරම්භ කරන දිනය උදාවිය. නොසිතූ ජන ගඟක් එදින විහාරමහා දේවි උද්‍යානයට පැමිණ සිටියේ බොහෝ දෙනා මවිත කරමිනි. පසුව පාද යාත්‍රාව කතරගම බලා ගමන් ආරම්භ කළේය. දින ගණනක් කතරගම බලා යන ගමනේදී රටවැසියන්ගේ විශාල පිළිගැනීමක් එයට ලැබී තිබිණි.

මෙය වඩාත් සාර්ථක ම ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් ලෙස ජනතාව පිළිගත්හ. ඒ අනුව පාද යාත්‍රාව කතරගම දක්වා පැමිණෙන විට එයට සහභාගි වූ පිරිස ලක්‍ෂ ගණනක් වූහ.

පසුව පාද යාත්‍රා වැඩසටහන ඉතා සාර්ථක විය. කතරගම දී මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ඇතුළු එම පා ගමනට සහභාගි වූ රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න වැනි නායකයන් අධිෂ්ඨාන කර ගත් දෙයක් තිබිණි. ඒ අණ්ඩු බලය ලැබෙන තෙක් මේ ගමන නො නවත්වා ඉදිරියට ගෙන යන බව ය.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පැමිණියේ පාද යාත්‍රාවෙන් ලද ශක්තිය නිසා ය. එදා ඒ ගමන පිටුපස සිටි අභීත නො සැලෙන නායකත්වය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___