මහින්ද නිසා! තීන්දුවක් ගත්තා හොඳ දේට අත උස්සනවා

මහින්ද නිසා! තීන්දුවක් ගත්තා හොඳ දේට අත උස්සනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් විසිනි

එතුමා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මන්ත්‍රී අබ්දුල් කාදර් යැයි කියූ කල නොදන්නේ කවුද ? මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර හතළිහක් පිරීම ගැන අබ්දුල් කාදර් මන්ත්‍රීතුමාටද අදහසක් තිබේ.

මහින්ද රාජපක්ෂ යනු මහා දැවැන්ත චරිතයෙකි. එදා ගිරුවාපත්තුවෙන් 1970 දී පාර්ලිමේන්තුවට පත්වුණේ ළාබාල ම මන්ත්‍රීවරයා ලෙස ය. ඔහු පාර්ලිමේන්තුවට ආ දා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. තරුණ මන්ත්‍රීවරයෙකු විදිහට එතුමා එදා සිට නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කළේ ය. එදා එතුමා පාර්ලිමේන්තුවේ රාජාසන කථාව පවත්වමින් සිය දැවැන්ත නායකත්වය ප්‍රදර්ශනය කළේ ය.

මහින්ද ජනාධිපතිකම දක්වා ගමන් කළේ අතිශය දුෂ්කර මාර්ගයක ය. එතුමාට පක්ෂයෙන් ද අඩම්තේට්ටම් සිදුවිණි. ඒවා සියල්ල ම ඉවසා දරාගෙන නොසැලී ඉදිරියට ඒමට තරම් ධෛර්යක් හා අධිෂ්ඨානයක් ඔහුට තිබිණි.

ඔහු දුප්පත් ජනතාව වෙනුවෙන් හඬක් නැඟීමට කටයුතු කළේ ය. 1989 වකවානුව තුළ රටේ ම පැවැති භීෂණයට එරෙහිව කටයුතු කළේ ය. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට යෑමට ද පියවර ගත්තේ ය. එවකට හිටි පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ප්‍රබල හඬක් නගමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාර, පා ගමන් ආරම්භ කළේ ය. එතුමා ගේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්විය. එහෙත් අද එය බොහෝ දෙනකුට අමතක ය.

1994ට පසු ඔහුට ලැබුණු කම්කරු ඇමැතිකම හා ධීවර ඇමැතිකම මේ රටේ දුප්පත් ජනතාව නගාසිටුවීමට මාර්ගයක් කරගත්තේ ය. කම්කරු ඇමැතිවරයා වශයෙන් සිටියදී තරුණ තරුණියන්ට නව රැකියා වරම් ලබාදීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේ ය. වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටුවා තරුණයන්ගේ හැකියාවන් ඔප් නැංවීමට කටයුතු කළේ ය. එම වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුවන තරුණ තරුණියන්ට වඩාත් ගෞරවනීය රැකියා අවස්ථාවක් ලබාදීම සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමට පිඹුරුපත් සැකසුණේත් එතුමාගේ කාලයේදී ය. ඒ සියල්ලම කළේ මේ රටේ තරුණ තරුණියන්ට ගෞරවණීය රැකියාවක් ලබාදීම සඳහා ය. මහින්ද රාජපක්ෂගේ හැටි එහෙම ය.

එතුමාට ලැබුණු ධීවර ඇමැතිකම ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉතා මැනවින් භාවිතා කළේ ය. නව තාක්ෂණ ක්‍රමවේද හදුන්වා දෙමින් ඔවුන්ගේ රැකියාව ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ධීවරයා ශක්තිමත් කළේ ය. ඒ සඳහා ධීවරයන්ට හා ධීවර කටයුතු පිළිබඳ වඩා ඇල්මක් දක්වන අයට එම විෂය පිළිබඳ හැදෑරීමට සාගර විශ්වවිද්‍යාලයක් බිහිකිරීමට එතුමා සමත් විය. එතුමා සිටි ඇමැති තනතුරුවල එම ක්ෂේත්‍රයේ ඉහළට ම යාම සඳහා විශ්වවිද්‍යාල දෙකක් නිර්මාණය කළේ ය. එතුමා ජනතාව වෙනුවෙන් සෑම දෙයක් ම කළේ සත්භාවයෙන් ය.

2005 දී ඔහු ජනාධිපතිවරණයට එනවිට මා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ. එතුමාගේ මහින්ද චින්තනයේ සඳහන් යුද්ධය නිමා කිරීම පිළිබඳ මා කවදාවත් හිතුවෙ නැහැ. යුද්ධය ඉවර කරන්න පුළුවන් කියලා. මා නම් හිතුවේ නැහැ. නමුන් එතුමා ඒ භාරදූර කාර්යයට අණ දුන්නා. එතුමා යුද්ධය කරගෙන යන්න අණ දුන්නේ නැත්නම් කාටවත් මේක කරන්න බැහැ. එතුමාගේ සහ මුළු ශ්‍රී ලංකාවේ ම වාසනාවට යුද්ධය නිමා කිරීමට හැකිවිය. ඒ සියල්ලට ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගතවුණේ වසර තුනහමාරක් වැනි කෙටි කාලයෙකි.

එහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය යුද්ධයට එරෙහිව කථා කළේය. එහෙත් කිසිදෙයකට සැලෙන්නේ නැතුව ධෛර්ය සම්පන්න ලෙස මහින්ද රාජපක්ෂ මහතා අභියෝගය භාරගෙන කටයුතු කළේ ය. අනෙක මහින්ද චින්තනයෙන් ජනතාවට ලබාදෙන්න පොරොන්දු වූ සියලු පොරොන්දු කඩිනමින් ලබාදීමට එතුමා පියවර ගෙන තිබේ. සංවර්ධන කටයුතු කඩිනම් කර තිබේ.

අද ප්‍රධාන මාර්ග කාපට් වෙයි. අතුරුමාර්ග කොන්ක්‍රීට් වෙයි. ගුවන් පාලම් ඉදිවෙයි. මේ සියල්ල සංවර්ධනයේ අරුණලුයි. ඒවා අද ජනතාව භුක්ති විඳිති. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙලත් මේක තමයි ඇත්ත. එජාපය හැමදා ම පැරදුණේ් ඉක්මනට වැඩක් කරන්න බැරිකම හා තීරණයක් ගන්න බැරිකම නිසායි. මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ගෙවුණ වසර හතර තුළ ගුවන් පාලම් කීයක් හැදුණද? විදුලිබලාගාර කීයක් හැදුවද? මේක තමයි සංවර්ධනය. එක්සත් ජාතික පක්ෂය නිකම් පොඩි ප්‍රශ්නයක් අල්ලගෙන කියවන එක විතරයි කරන්නේ. එම නිසයි මා මෙවර පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ ඉදගෙන රජයට සහය පළ කරන්නේ.

අද ජනාධිපතිතුමා රට කරන්නේ වසර හතළිහක දේශපාලන අද්දැකීම් සමඟ ය. එතුමාගේ පරිණතභාවය ලෝකයට ම විදහා පා තිබේ. අද ලංකාව ආර්ථිකය අතින් ශක්තිමත් වෙමින් තිබේ. එයට හොඳ ම උදාහරණය ආනයනික වාහනවල තීරු බද්ද සියයට 50කින් අඩු කිරීමෙන් ම පෙනෙයි. මෙසේ කරන්නේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නයි. තව ටික දවසකින් බඩු මිල පහත දැමීමට රජය කටයුතු කරයි කියලා හිතන්න පුළුවන්.

ජනාධිපතිතුමාගේ දේශපාලන දිවියට හතළිහයි. මගේ දේශපාලන දිවියට වසර පනහයි. නමුත් මම දැකලා නෑ මෙරට දේශපාලන ඉතිහාසය තුළ මේවගේ හිනා මුසු මුහුණින් සිටින ආකර්ෂණීය නායකයෙක්. මහින්ද රාජපක්ෂ මහතා හමුවට යන ඕනෑ ම කෙනෙකුට සිනහ මුසු මුහුණින් පිළිඅරගෙන ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි ය. අද ශ්‍රී ලංකාවට උදාවෙලා තිබෙන්නේ ස්වර්ණමය යුගයෙකි.

මම ළඟදි ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දියානු මාධ්‍යවේදීහු පිරිසක් මා හමුවී ශ්‍රී ලාංකික දෙමළ හා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව රජය කටයුතු කරනවාදැයි ඇසූහ. මා එහිදී කියා සිටියේ දැන් සිංහල, දෙමළ මුස්ලිම් ජාතිභේදයක් ලංකාවේ නැතයන්න ය. සියලුම දෙනා ඉතා සාමකාමීව සමගිව සිය ව්‍යාපාර කටයුතු කරගෙන යනවා ඇත්ත එය වේ. අපේ සමහර නායකයෝ ජාත්‍යන්තරයට ගිහින් ශ්‍රී ලංකාවේ සිංහලයන් දෙමළ ජනතාවට කරදර කරනවා යැයි කියති. ඒ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැත. ඔවුහු බලය ලබාගැනීමට රට පාවා දෙති.

මහින්ද රාජපක්ෂ මහතා කවදාවත් රට පාවාදී නැත. එතුමා හැමදාම කිව්වේ පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම කියාය. එහෙම කියපු නායකයෙක් මේ රටේ තවත් නැත. එතුමාගේ නායකත්වයේ වෙනස එය වේ. එතුමා හැමදාම රටට ආදරය කරන කෙනෙකි. පක්ෂයට ආදරය කරන කෙනෙකි. රටේ ජනතාවට ආදරය කරන කෙනෙකි. එතුමාගේ දේශපාලන දිවියේ වසර 40ම ගතකළේ මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්.

ඕන ම කෙනකු වයසට යනවිට පිං කරන්න වැඩියෙන් කැමති වේ. මාත් වයසට යන්න - යන්න ජනතාවට හා රටට වැඩක් කිරීමට කැමැති ය. අද මම නිවැරදි තීන්දුවක් ගෙන සිටිමි. ඒ රජය ගෙනයන සෑම හොඳ වැඩකට ම සහයෝගය පළ කිරීම ය. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කටයුත්ත සිදුකළ යුතු ය.


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___