විදුදය සරසවියෙන් බිහි වූ අපේ ජාතික නායකයා

විදුදය සරසවියෙන් බිහි වූ අපේ ජාතික නායකයා

මහාචාර්ය සුනිල් ආරියරත්න

සමාජය වෙනස් කරන මිනිසුන් බිහිවනුයේ කලාතුරෙකින් ය. එබඳු පුද්ගලයෝ නායකයෝ ලෙස හඳුන්වති. නායකයන්ගේ ඉතිහාසය, සමාජ පසුබිම හා චරිත ලක්ෂණ විමැසීම අදට මෙන් ම හෙටට ද අතිශය වැදගත් ය.

මීට මාස කිහිපයකට පෙර ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෘත්තාන්තය’ නමින් කෘතියක් රචනා කළෙමි. එය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අඩ සියවසක ඉතිහාසය පිළිබඳ තොරතුරුවලින් සමන්විතය.

කෘතියේ සඳහන් වන සුවිශේෂී චරිත ගැන අවධානය යොමු කිරීමේදී නිතැතින්ම මතකයට නැගෙන චරිතය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. වසර පනහක ජයවර්ධනපුර සරසවි ඉතිහාසයේ ප්‍රධාන ස්ථානය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වේ.

මා මතකය 70 දසකය වෙත දිවයයි. එකල අපි විද්‍යෝදය ශිෂ්‍යයෝ වීමු. අපට එදා නිතැතින්ම මුණ ගැසුණු පුද්ගලයෙක් විය. ඒ මහින්ද රාජපක්ෂ ය. ඔහු නිතරම සිසුන් සමඟ හිතවත්ව කටයුතු කළේය. සහකාර පුස්තකාලයාධිපතිවරයෙක් වූ හෙතෙම බොහෝ ක්‍රියාශීලී ය. බොහෝ හිතවත් ය.

නිතර සිනාමුසු මුහුණින් පසුවීය. මොහුගේ මුහුණුවර අද වුව අපගේ මතකයෙන් ගිලිහී නොයයි.

මා විද්‍යෝදයට ඇතුළු වන විට මහින්ද රාජපක්ෂ මහතා එහි පුස්තකාලයේ රාජකාරී කළ තරුණයෙකි. දකින කා සමග වුව මිත්‍රශීලීව කටයුතු කළ මේ නිහතමානී තරුණයා විශ්ව විද්‍යාලයට සම්බන්ධ වූ ආකාරය ගැන දැන ගන්නට ලැබුණේ පසුකාලීනවය. ඒ මහින්ද ඉලේපෙරුම මහතාගේ ‘මෙය කුරහන් සාටකයේ කතාව‘ නම් කෘතිය ඔස්සේය. එහි සඳහන් වන ආකාරයට එය සැබැවින්ම අපූර්ව සිදුවීමෙකි.

‘තර්ස්ටන් විද්‍යාලයයෙන් ජාතික අධ්‍යාපන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ මහින්ද ජාතික අධ්‍යාපන සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වාඩිවීම සඳහා සූදානම් වූයේය. සරසවි ප්‍රවේශ විභාගයට වාඩිවී උපාධිය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම ඔහුගේ ඉලක්කය විය.

උසස් පෙළ විභාගයට වසර දෙකක් ඉගෙන ගෙන විද්‍යෝදය ප්‍රවේශ විභාගය ගැනීමට මහින්ද තීරණය කළේය. එහෙත් විද්‍යෝදය විශ්ව විද්‍යාල සංග්‍රහයට අනුව එය කළ නොහැකි වැඩෙකි. ඒ සඳහා දෑ අවුරුද්දක්ම ඉගෙන ගත යුතුය.

මහින්ද තර්ස්ටන් විද්‍යාලයයේ තම හිතවත් සිසුහුද කැඳවාගෙන පෙත්සමක් රැගෙන විද්‍යෝදයේ උපකුලපති පලන්නොරුවේ විමලධර්ම හිමි හමුවීමට ගියහ.

මහින්දගේ බලාපොරොත්තුව වූයේ පලන්නෝරුවේ නායක ඛ්ඹ්මි හමුවී කරුණු පැහැදිලි කොට අවුරුද්දකදී ප්‍රවේශ විභාගයට වාඩිවීමට අවසර ගැනීමය.

එහෙත් පලන්නොරුවේ විමලධර්ම හිමියෝ සෙසු පිරිස විද්‍යෝදයේ දොරටුව අසල නතර කළහ.

‘ඔය ලියුම ගෙනාව ළමයට විතරක් මාව හම්බ වෙන්න එන්න ඉඩ දෙන්න’

පෙත්සමත් අරගෙන උපකුලපති හාමුදුරුවන් හමුවීමට ධෛර්යය තිබුණේ මහින්දටය. මහින්ද නායක හාමුදුරුවන් වෙත එළැඹුණේය.

‘ඔය ළමයි ඉල්ලන දේ කරන්න බෑ. අවුරුදු දෙකක් ඉගෙන ගත්තාට පස්සේ තමයි විද්‍යෝදය ප්‍රවේශයට වාඩිවෙන්න දෙන්නේ’

පලන්නෝරුවේ හාමුදුරුවෝ තම නිගමනය දැනුම් දුන්හ.

‘පේරාදෙණියේ නම් අවුරුද්දක් ඉගෙන ගත්තාම විභාගයට වාඩි වෙන්න ඉඩ දෙනවා’

මහින්ද පසු නොබා කීවේය.

‘පේරාදෙණිය නොවෙයි මේ’ පලන්නොරුවේ හිමියෝ පිළිතුරු දුන්හ.

‘ඒක දැනගෙන තමයි අපි ආවේ’

මහින්දත් පලන්නොරුවේ හිමිත් අතර කතාබහ උණුසුම් වන්නට විය. උපකුලපති වූ තමන් හා තර්ක කරන මේ තරුණයා ගැන පලන්නොරුවේ හිමිිට ඇති වූයේ දැඩි කෝපයෙකි. විශ්ව විද්‍යාලයීය මාර්ෂල්වරුන් (විනය නිලධාරීන්) දෙදෙනෙකු පැමිණ මහින්ද රාජපක්ෂව එළියට ගෙන යනු ලැබිණි.

තම පුතා පලන්නොරුවේ නායක හාමුදුරුවන් සමග වාද කරගත් පුවත එදාම ඩී. ඒ. රාජපක්ෂ අමාත්‍යවරයාට දැන ගන්නට ලැබිණි. ඩී. ඒ. රාජපක්ෂ පසුවදාම මහින්ද රාජපක්ෂ කැටුව විද්‍යෝදයට පැමිණියහ. පලන්නොරුවේ හිමි සමා කරවූ ඩී. ඒ. මහින්ද ලවා නාහිමි දෙපා වැන්දවීය.

‘හාමුදුරුවනේ මම මීට පස්සේ මෙයාට ඉගෙන ගන්න සල්ලි දෙන්නේ නෑ’ ඩී. ඒ. රාජපක්ෂ දැඩි තීරණයක් ගෙන තිබිණි. පලන්නොරුවේ නායක හිමිගේ සිත මහින්ද රාජපක්ෂ කෙරෙහි උණු විය.

‘ඇමැතිතුමා පුතාට වියදම් කරන්නෙ නැත්නම් මම මෙයාට විද්‍යෝදයේ රස්සාවක් දෙනවා. ඒ රස්සාවෙන් සල්ලි හොයාගෙන ඉගෙන ගන්න පුළුවන්’ පලන්නොරුවේ නායක හාමුදුරුවෝ මහින්දගේ පිහිටට ආවෝය.

‘අවුරුදු දෙකක් යනතුරු මම විද්‍යෝදය ප්‍රවේශයට වාඩිවෙන්න දෙන්නේ නෑ. ඒත් මේ රස්සාව කරල අවුරුදු දෙක ඉගෙන ගත්තහම මේ විභාගෙට වාඩිවෙන්න පුළුවන්’

පලන්නොරුවේ නායක හාමුදුරුවෝ කීහ.

මහින්දට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ රස්සාවක් ලැබිණි. ඒ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාලාධිපති තනතුර ය.

(‘මෙය කුරහන් සාටකයේ කතාවයි’

පිටු 48, 49, 50)

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිත ගැන ලියන විට ඔවුන්ගේ ගුණය ම වර්ණනා කිරීමට යෑම යථාර්ථයෙන් බැහැරවීමක් ලෙස සල්මන් රුෂ්ඪි දක්වා තිබේ. මහත්මා ගාන්ධිතුමා සිය ළමා අවදිය පසුකර ඇත්තේ දඩබ්බර ලෙසය. ඔහු සම වයසේ කොල්ලෝ සමඟ ගුටි ඇන ගත්හ.

දුම් උරන්නට පටන් ගත්හ. මහත්මා ගාන්ධිතුමාගේ ළමා හා යොවුන් අවදි විවිධ ගැටුම්වලින් සමන්විත විය. මහින්ද රාජපක්ෂ මහතාගේ ළමා අවදිය ද තරුණ අවදිය ද අභියෝග වලින් පිරී තිබූ බව ඉතිහාසයට එබී බලන විට පෙනේ.

ඔහු වරෙක හිතුවක්කාරී ය. වරෙක දැඩි අධිෂ්ඨානයෙන් යුතුය. නිර්භීතභාවය හා අභියෝගවලට මුහුණදීමේ හැකියාව හැමවිටම ඔහු ළඟ තිබිණි. මහින්ද රාජපක්ෂ යන චරිතය නායකත්ව කුසලතාව උපතින්ම රැගෙන ආ පුද්ගලයකු ලෙස මට හැඟේ. ඔහු සතු පෞරුෂය ද ඊට නිදසුන් ය. බොහෝ නායකයන් අතර ද ඔහු කැපී පෙනෙයි. දරා ගැනීම හා ඉවසීමත් සූක්ෂ්ම කල්පනාකාරයකු වීමත් ඔහුගේ චරිතයේ විශේෂ ලක්ෂණ ය. සංස්කෘත මහා කාව්‍යයන්හි වීර චරිතය නිරූපණය කරන්නේ ද එම ගුණයන් සහිතව ය.

විද්‍යෝදයේ සහකාර පුස්තකාලාධිපති ධුරය ලැබූූ මහින්ද රාජපක්ෂ මහතා ඉතා ක්‍රියාශීලී ලෙස රාජකාරී කළේය. ඔහු විශ්ව විද්‍යාලයත් සමග බොහෝ සමීප විය. මේ සමීපභාවයට ඔහු දේශපාලන පවුලකින් පැමිණි අයකු වීම බාධාවක් වූයේ නැත.

විශේෂයෙන්ම එවක රජයේ ඇමැතිවරයෙකුගේ පුතකු ලෙස විශ්ව විද්‍යාලයට පිවිස සිටියද මහින්ද රාජපක්ෂ සිය පියාගේ බලතල හෝ වෙනත් වරප්‍රසාද මත කටයුතු කළේ් නැත.

ඔහු කා සමගත් බෙහෙවින් ප්‍රියමනාප විය. නිහතමානී විය. අද ශ්‍රී ලංකාවේ ජනාධිපති වී සිටියද අප එදා ඔහුගෙන් දුටු ඒ නිහතමානී ගතිගුණ ඔහු කෙරෙන් අංශු මාත්‍රයක් හෝ ගිලිහී නැත. බලයට පැමිණෙන කා හට වුව පරමාදර්ශ කොට සැලකිය හැකි තත්ත්වයක් ඔහු කෙරෙන් විද්‍යමාන වේ.

විශ්ව විද්‍යාලයේ ගත කරන කාලය තුළ එතුමාට පරම්පරාවෙන් උරුම වී තිබූ දේශපාලන කටයුතු වෙනුවෙන් ද කාලය කැප කළේය. ඒ බොහෝ සංයමයකින් යුතුවය. එවක විශ්ව විද්‍යාලයක වෘත්තිය සමිතියක් පිහිටුවීම ඉතාම අසීරු කාර්යක් වී තිබිණි. ඊට හේතුව වූයේ විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනා උපකුලපති වරයාගේ ඥාතීන් වීමය. එමනිසා වෘත්තිය සමිති පිහිටුවීමට හෝ එහි සාමාජිකත්වය දැරීමට බොහෝ් දෙනා මැළි වූහ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා සුප්‍රකට වෘත්තිය සමිති නායකයකු වූ නීතිඥ බාලතම්පෝ මහතා සමග විද්‍යෝදයේ ප්‍රථම වෘත්තීය සමිතිය පිහිටුවාලීමට කටයුතු කළහ.

ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් එතුමාට බෙලිඅත්ත ආසනයට තරග කිරීමට අවස්ථාව ලැබිණි.

එතුමාගේ් ඡන්ද ව්‍යාපාරයට උදව් උපකාර කළ පිරිස අතර එවක විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වූ මහින්ද විජේසේකර මහතාද විය.

විශ්ව විද්‍යාලයක ආචාර්යවරු සමග 300 – 400 ක පමණ කාර්ය මණ්ඩලයක් සිටිති. ඔවුන් අතර එදා අප දුටු සුවිශේෂීම කැපී පෙනෙන චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන විය.

අද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ එතුමාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය විද්‍යෝදය විශ්ව විද්‍යාලය ඔස්සේ වැටී තිබීම අපට මහත් ගෞරවයකි.

තවදුරටත් කිව යුත්තේ තමාගේ ගමන් මාර්ගයට මුලදී ශක්තිමත් අඩිතාලමක් සැපයූ ආරම්භක ස්ථානය වූ විද්‍යෝදය එතුමා කිසි දිනක අමතක කර නැති බවය. අදට ද විශ්ව විද්‍යාලය වෙනුවෙන් කළ හැකි උපරිම සේවයක් එතුමා අපට සිදු කිරීම ඉතා සුවිශේෂීය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ අර්බුදයන් සහ වෙනත් විශේෂ අවස්ථාවලදී එතුමා විද්‍යෝදය මාතාවගේ සැබෑ පුතකු ලෙස අප සමග සිටීම සතුටටට කරුණකි.


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___