මුද්‍රණය සඳහා

 
ජාතිය නැගූ රුහුණෙහි මිණි පහන වෙමින් පොඩිපුතු පෙරට එයි ඔබ හැම පරදවමින්

ජාතිය නැගූ රුහුණෙහි මිණි පහන වෙමින්

පොඩිපුතු පෙරට එයි ඔබ හැම පරදවමින්

මහාචාර්ය මැන්දිස් රෝහණධීර

දහදුක් විඳින ජනතාවට සහය දෙමින්

ජාතිය නැගූ රුහුණෙහි මිණි පහන වෙමින්

මියගිය පියාගේ පියවර අනුව යමින්

පොඩිපුතු පෙරට එයි ඔබ හැම පරදවමින්

1970 - මුල්ම ඡන්ද පෝස්ටරයෙන්

1963 වසරේ පුවත්පත් පනත හේතු කොටගෙන රජය බිඳ වැටුණු අවස්ථාවේ ඒ බව මාධ්‍යවල ඉතා ප්‍රසිද්ධියක්දී දැනුම් දී තිබිණි. මම ද මේ සිද්ධිය ගැන තොරතුරු දැන ගැනීමේ අටියෙන් මගේ කුඩා වාහනයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගියෙමි. ඒ අවදියේ පාර්ලිමේන්තුව රැස්වූයේ ගාලුමුවදොර වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ස්ථානයේ ය.

මා එම ස්ථානයේ යම් තොරතුරක් බලාපොරොත්තුවෙන් රැඳී සිටිනවිට බස්නාහිරට මුහුණ ලා තිබූ පඩිපෙළ දිගේ බිමට හොවාගත් දෑසින් යුතුව වේගයෙන් පඩිපෙළ බැස යන සුපුරුදු මුහුණක් නෙත ගැටිණි. මම ඔහු අසලට ගියෙමි. ඒ බෙලිඅත්ත දිසාවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඩී.ඒ. රාජපක්ෂයන් ය. ඔහු මා දුටු විගස වාහනයක් තිබේදැයි විමැසීය.

අප දෙදෙන වාහනය නවත්වා තිබුණු ස්ථානයට ගමන් කරමින් සිටින අතර ඔහු මට අපූරු කතාවක් කියා සිටියේ ය.

“ආණ්ඩුව පරාදයි. අපේ සමහර මන්ත්‍රීලත් ආවෙ නෑ. මටත් ඊයේ කෙනෙක් 50,000ක් දෙන්න පොරොන්දු වුණා. මම බණ්ඩාරනායක මහත්තයගේ ගුණ සිහිකර රජයට ඡන්දය දුන්නා. එහෙම දෙයකට කොහොම හිත හදාගන්ඩ ද?”

ඉන්පසු අප දෙදෙනා මගේ කුඩා වාහනයෙන් ගමන් කරන අතරවාරයේ රටේ ඉදිරි අනාගතය ගැන කතාබහ කරන්නට වීමු. එහිදී ඔහු “මට මීට පසු පාර්ලිමේන්තුවට එන්නට ලැබෙන එකක් නැහැ. මම ගිරුවායට කළ සේවය මෙතැන් සිට ඉදිරියට කළ හැක්කේ මහින්දට පමණයි. එහෙත් ඔහු තරමක් කලබලකාරීයි. ඒ නිසා ඔහු ගැන ටිකක් සොයා බලන්න” යැයි ඉල්ලා සිටියේ ය.

එතුමන් ඉන්පසු ළමයින් ගැනීමට “ආනන්දයට යමු” යැයි කීව නිසා වාහනය ඒ දෙසට පදවාගෙන ගියෙමි. මගේ මතකයේ හැටියට එවකට ආනන්ද විද්‍යාලයේ උගෙනිමින් සිටියේ මහින්දගේ බාල සොයුරන් වූ බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ය. මේ සිද්ධිය මගේ මතකයේ තදින් කාවැදී දැනුදු විටින් විට සිහියට නැගෙයි.

මේ අවදියේ මම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියෙමි. මහින්ද එවකට එම විශ්වවිද්‍යාලයේ ම පුස්තකාලයේ සේවය කරමින් සිටියේ ය. ඒ නිසා අප අතර සබදතාවක් ගොඩනැගී තිබිණි.

1960 අගභාගය වන විට ඩී.ඒ. රාජපක්ෂයන්ගේ අභාවය සිදුවිය. එවකට රටෙහි දක්නට ලැබුණු දේශපාලනය ගැන අවධානය යොමු කරන විට ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය සංගම් කේන්ද්‍ර කරගෙන ඔවුන්ගේ අදහස් ව්‍යප්ත කරමින් සිටි බව මගේ නිරීක්ෂණයට හසුවෙයි. මහින්ද ඒ දිනවල ගංගොඩවිල අවට තරුණයන් සමඟ ආසන්න සබඳතා පැවැත්වීය.

1970 මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාව පැමිණි විට බෙලිඅත්ත ආසනය සඳහා තරග කරන්නට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දිය යුතුයැයි දැන්වීමට මමත් තවත් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු කිහිපදෙනෙකුත් සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවීමු.

ඒ අනුව 1970 මැතිවරණයේ දී තම පියා නියෝජනය කළ බෙලිඅත්ත ආසනයට තරග කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ තරුණයා හට ලැබිණි. විද්‍යෝදය විශ්වවිද්‍යාලයයේ සේවය කළ පුස්තකාලයාධිපති දෙහෙරගොඩ මහතා ඇතුළු ආචාර්යවරු කිහිප දෙනෙක් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාශීලීව සහභාගී වෙමින් රැස්වීම් ගණනාවක් ඇමතූහ. පොදුජන යුගයක් බිහිකිරීමට අවසානයේ කාර්යශූරභාවය හා ජවය ඔහු තුළ තදින් ම ඇති බව අපි බොහෝ කලෙක සිට ම හැදිනගෙන සිටීම එවැනි දායකත්වයක් දැක්වීමට හේතු භූ®ත විය.

මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් රැස්වීම පැවැත්වුණු දිනය මට අද මෙන් මතක ය. එය පැවැත්වූයේ තංගල්ලේ තේක්කවත්තේ දී ය. එදින මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් කටහඬ අවදිකළවුන් අතර මාද සිටි බව ඔහුගේ දේශපාලන දිවියට වසර 40ක් ගෙවෙන මේ මොහාතේ අප ස්මරණය කරන්නේ ආඩම්බරයෙනි.

ඔහු අපගේ ශ්‍රමය අපතේ නො හැරියේ ය. අපගේ වචනවලට අර්ථයක් ලබා දෙනු වස් මහජනයා ගැන ඉතා හොදින් කටයුතු කළේය.

70 මැතිවරණයේ ඔහුගේ අවසන් රැස්වීම පැවැත්වුණු තංගල්ලේ තේක්කවත්තේ ශාලාවක් ඉදිකොට ඇති මුත් එදවස එහි තිබුණේ තාවකාලික වේදිකාවකි. මම එහිදී වේගවත් කතාවක් කරමින් මෙසේ පැවසුයෙමි. “56 මැතිවරණයේදී බණ්ඩාරනායක මහතාට මාතලේට ඉදිරිපත් කළ තරුණ නිමල් කරුණාතිලකගේ ජයග්‍රහණය පොදුජන යුගයේ උදාව සටහන් කරමින් මුලින් ම ප්‍රකාශයට පත්වූවා සේ 70 ජනතා ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරමින් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සනිටුහන් කරනු ඇත.

මගේ ප්‍රාර්ථනාව සඵල කරමින් බෙලිඅත්තට ඉදිරිපත්වූ රංජිත් අතපත්තු පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ළාබාල යෞවනයා පාර්ලිමේන්තුවට පිවිසියේය. මහින්ද රාජපක්ෂ ජයගත් විට ඔබ තංගල්ලේ සිට රබන් ගසන්න මම කොළඹ සිට රබන් ගසන්නම්” මම එදවස තවදුරටත් කීවෙමි.

පෙරදීද මා සඳහන් කළ ලෙස මහින්ද එම පාර්ලිමේන්තුවේ ළාබාල ම මන්ත්‍රීවරයා විය. අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ රාජාසන කතාව පිළිබඳ ස්තුති කතාව කිරීමේ අවස්ථාව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් භාර දෙන ලද්දේ බෙලිඅත්ත නියෝජනය කළ ළාබාල මන්ත්‍රීවරයාට ය. ඔහු ඉතා හොඳින් එම වගකීම ඉටු කළේ ය. මම ද ඔහුට එම කතාව සකස් කිරීමට සහය වූයෙමි.

ඉන් වසර 40ක් ගෙවුණු තැන මහින්ද රාජපක්ෂයන් මෙරට රාජ්‍යය නායකත්වයට පත් විය.

ඔහුගේ රාජ්‍ය කාලය තුළ දී සිදුවූ විශේෂිත සිදුවීම් අතර තිස් වසක් තිස්සේ ඇදී ගිය යුද්ධය සිව්වසක් තුළ දී අවසන් කිරීමට අමතරව දිවයිනේ සිව් දිසාවට ම ඇදීගිය ප්‍රධාන මාර්ග පද්ධතිය නවීකරණය කිරීමත් අලුත් ග්‍රාමීය මාර්ග ඉදිකිරීමත් නව විදුලිබල හා වාරිමාර්ග ක්‍රම ඇති කිරීමත් ප්‍රමුඛ වේ.

මෙයටත් පෙර කිසි කලෙකත් ඇති නො වුණු දීප ව්‍යාප්ත සංවර්ධන යෝජනා ඇති කළ මේ රාජ්‍ය නායකයාණෝ නව ගුවන්තොටුපළවල් හා වරායන් ඇති කිරීමට ද ක්‍රියා කළහ.

අපි මදක් අතීතයට ගොස් ඔහුගේ හඬට සවන් දෙමු.

“ගරු කථානායකතුමනි, තංගල්ලේ තානායම ළඟ සිට නැගෙනහිර දෙස බලන විට ඈතින් පෙනෙන රැකව තුඩුව තෙක් විහිදුණු අති රමණීය ස්වභාවික තංගලු වරාය අද මෝඩ වරායක් බවට පත් වී ඇති සැටි තංගලු ධීවර ජනතාව කදුළු පිරි දෑසින් යුක්තව සිහිපත් කරනවා. එදා එහි වරායත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයෙන් මුදල් වෙන්කළ ධීවර මධ්‍යස්ථානයත් අද එහි නැත. අද එහි තිබෙන්නේ වැලි ගොඩ ගැසුණු වරායක්. එමනිසා ගරු කථානායක තුමනි, තංගල්ලට අංගසම්පූර්ණ ධීවර කටයුතු මධ්‍යස්ථානයක් සහිත වරායක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

(1970 පාර්ලිමේන්තු විවාද 115 වෙනි තීරුව)

හම්බන්තොට වරායක් ඉදිකිරීම මඟින් දකුණු ලකට කිරි ඉතිරිවිය හැකිය යන අදහස මුලින් ම සනිටුහන් වන්නේ මහින්ද රාජපක්ෂයන් මෙයට හතළිස් වසරකට පෙර 1970 ජුනි 14 වෙනිදා පවත්වන්නට යෙදුණු ඉහතින්ද සඳහන් කළ රාජාසන කතාව පිළිබඳ කරන ලද ස්තුති යෝජනාවෙහිදී ය.

1970 මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ජ.වි.පෙ. තරුණයෝ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිය හ. එහෙත් 70 මැතිවරණය අවසන් වූ තැන් සිට ඔව්හු රජයට එරෙහිව කටයුතු කරන්නට පටන් ගත්හ. එහි තර්කානුකූල අවසානය වූයේ ඔවුන් රජයට එරෙහිව 1971 අප්‍රේල් 05 වැනිදා ඇති කරන ලද කැරැල්ලයි. බණ්ඩාරනායක මැතිනිය සාර්ථක අයුරින් මේ කැරැල්ල මැඩපවත්වා රජයට එරෙහි කැරැල්ල ඇති කළ තරුණ ළමයින් පුනරුත්ථාපනය කිරීමට ක්‍රියා කළා ය. ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඇති කරන ලද මධ්‍යස්ථාන අතර විශ්ව විද්‍යාල ද විය.

අත්අඩංගුවට ගැනුණු තරුණයන් නිදහස් කොට පසුව එම විශ්වවිද්‍යාල නැවත විවෘත කෙරිණි. මෙලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලය නැවත විවෘත කෙරුණු දින එම කටයුතු සිදුවන ආකාරය සොයා බැලීමට ආ පිරිස අතර කලක් එම විශ්වවිද්‍යාලය සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගෙන සිටි බෙලිඅත්තේ ළාබාල මන්ත්‍රීවරයා ද සිටියේ ය.

සිසුන් ද ඔහු සමඟ ගමන් කරමින් එක් එක් ශාලාවල පිළිසකර කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කරන්නට විය. මෙලෙස ඔවුන් ගමන් කරන අතර සුමංගල ශාලාවේ පහළ මාලයේ බිත්තියක වූ ලේ පැල්ලම් සියලු දෙනාට ම මැනවින් දක්නට ලැබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]