බ්‍රි‍්‍රතාන්‍ය අශ්වාරෝහක හමුදාව ගොඩනැගූ කැප්පෙට්ටිපොළ විල්සන් බළකොටුව

බ්‍රි‍්‍රතාන්‍ය අශ්වාරෝහක හමුදාව ගොඩනැගූ කැප්පෙට්ටිපොළ විල්සන් බළකොටුව

1815 උඩරට ගිවිසුම මගින් ඉංග්‍රීසින් හට රට පාවාදීමෙන් පසු ඉංග්‍රීසින් වෙතින් ස්වදේශීකයින් හට එල්ල වූ හිරිහැර පීඩා ඉවසිය නොහැකි වූ තැන හිරු නොබසින අධාරාජ්‍යයට එරෙහිව නැගී සිටි ඌව වෙල්ලස්ස වීරෝදාර ජනතාව මර්දනය කිරිම සඳහා එදා ඉංග්‍රීසීන් විසින් ඌවේ ප්‍රධාන බළකොටු කීපයක් ගොඩනඟා තිබුණි.

ඒවා අතුරින් වැලිමඩ සානුවේ පිහිටා තිබූ බළකොටු දෙකින් ප්‍රධානම බළකොටුව විල්සන් බලකොටුවයි.

ඉංග්‍රීසීන්ගේ අශ්වාරෝහක හමුදාව සඳහාම පිහිටුවා තිබූ මෙය වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයේ අදටත් දක්නට ඇත.

ඌවපරණගම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබු මැක්ඩොනල් බළකොටුව අද දක්නට නොමැත.

හිරු නොබසින අධිරාජ්‍යයට හිසරදයක් වූ ඌව - වෙල්ලස්ස සටන්කාමීන් මර්දනය කිරීම සඳහා මේජර් විල්සන් සෙනවියාගේ අණසක යටතේ ක්‍රියාත්මක වූ මේ බළකොටුව අද ක්‍රමයෙන් අභාවයට යමින් දුර්වල වූ යෝධයකු ලෙසින් දිස්වේ.

අද එම බළකොටුව තුළ ඌව පළාත් පේශකර්ම දෙපාර්තමේන්තුවේ සුළු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර එමගින් එම බළ කොටුවේ පෞරාණික භාවයට හානියක් වී ඇතැයි කීවොත් එය මුසාවක් නොවේ.

දිගින් අඩි 90 ක්ද පලලින් අඩි 40ක්ද උසින් අඩි 15 පමණ වූ මෙය තනි කළුගලින් නිමවා ඇති අතර අඩි 3 පමණ පලලින් යුත් බිත්ති ඉතා ශක්තිමත්ව ගොඩනඟා ඇත. ඓතිහාසික වටිනාකමකින් යුත් මේ බළකොටුව අපේ අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා එය සංරක්ෂණය කර රැක ගැනීමට ජාතිය සතු යුතුකමකි.

ඌව වෙල්ලස්ස කැරැල්ල හා එයට පසුබිම් වූ ඓතිහාසික තොරතුරු පිළිබඳ දිනමිණට කරුණු ඉදිරිපත් කළ ශාස්ත්‍රපති නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියෝ මෙසේ පැවැසූහ.

ඌව - වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් රණවිරුවන් විශාල පිරිසක් වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල හිටියා.

සාමාන්‍ය ඉංග්‍රීසි භටයන් හට මේ කැරැලිකරුවන් මර්දනය කිරීමට නොහැකි වූ නිසා එවකට ආණ්ඩුව රොබට් බ්‍රවුන්රික් විසින් විශේෂිත වූ ආශ්වාරෝහක හමුදාවක් මේජර් විල්සන් යටතේ කැප්පෙටිපොළ ප්‍රදේශයේ පිහිටුවනු ලැබුවා.

විල්සන් බළකොටුවේ පාලකයා වු මේජර් විල්සන් ඔහුගේ බංගලාව ලෙසින් යොදාගෙන තිබුණේ වර්තමාන ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙන හා විහාරස්ථාන ගොඩනැඟිල්ලය. විල්සන් බල කොටුවේ සිට කි. මී. 1 1/2 පමණ දුරින් මෙය පිහිටා තිබෙනවා.

විල්සන් බළකොටුවේ ඉදිරිපස පෙනුම හා එහි දොරටුව දිස්වන අයුරු.

මේජර් විල්සන්ගේ බංගලාව අද විහාරස්ථානයකි. එහි අධිපතිත්ව හොබවන මා එහි පෞරාණික භාවයට හානියක් නොවන ලෙසින් එය රැක ගැනීමට කටයුතු කර තිබෙනවා. ඉංග්‍රීසින්ගෙන් පසු මේ බංගලාව බණ්ඩාරනායක හා ඔබේසේකර වලව්වලට අයත් වී පසුව ද්‍රවිඩ අයකු අතට පත් වීමෙන් පසු 1958 වර්ෂයේ දී පමණ එය ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙන සඳහා මිලදී ගෙන තිබෙනවා.

විල්සන් බළකොටුව ආශ්‍රිතව ‘විල්සන්’ WILLSONS යනුවෙන් තැපැල් කාර්යාලයක් තිබී ඇති අතර එහි තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල අග්‍රාණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ පියාණන් ය.

පසු කාලීනව මෙම විල්සන් බංගලාව අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ බංගලාව ලෙසින්ද සොයාගෙන තිබුණා.

1816 පෙර ඉතා සරුසාර ප්‍රදේශයන් වශයෙන් තිබූ වර්තමාන කැප්පෙටිපොළ ප්‍රදේශය එදා හැඳින් වූයේ කොස්ගහ කුඹුර වශයෙනුයි.

නුවරඑළියේ
චන්ද්‍රජෝති හිමි

1816 දී මේජර් විල්සන්ගේ පාලනයට තනි වූ මේ ප්‍රදේශය විල්සන් තැන්න නමින් හැඳින් වුණා.

තැපැල් කාර්යාලය හැඳින්වූයේ ද ‘විල්සන් නමිනුයි’ 1818 කැරැල්ලත් සමඟ මේ ප්‍රදේශය මුළු මනින්ම විනාශයට ලක් වී පාළුවට යෑම නිසා එය ‘පාළුගම’ නම් විය. පසුව 1950 වර්ෂයේ දී පමණ මේ පාළුගම නාමය කැප්පෙටිපොළ නමින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තනි කළුගලින් නිමවා ඇති අඩි 3 පලල බල කොටුවේ තාප්ප බිත්තිය.

මේ ප්‍රදේශයට කැප්පෙටිපොළ යන නාමය තබා ඇත්තේද ඓතිහාසික කරුණු පදනම් කරගෙනය. එදා ඉංග්‍රීසීන්ගේ දිසාවේ කෙනෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කැප්පෙටිපොළ මොණරවිල විරුවාණන් ඉංග්‍රීසීන්ගේ නියෝගයක් අනුව මේජර් විල්සන්ගේ අභාවයෙන් පසු ඌව - වෙල්ලස්ස කැරැල්ල මැඩලීම සඳහා විශාල ඉංග්‍රීසි හමුදාවන් සමඟ පැමිණ මේ විල්සන් බළකොටුව සමීපය කඳවුරු ලාගෙන සිටි අවස්ථාවක ඔහුගේ සහායකයකු වශයෙන් කටයුතු කළා.

ඌවපරණගම ප්‍රදේශයේ උපන් අයකු වූ බෝඩුරේ ගෙදර සුද්දනාදුරයා නැමැත්තාගේ මැදිහත්වීමෙන් ඌවේ කැරැලි නායකයන් වූ බූටාවේ රටේ රාළ. කිවුල්ගෙදර මොහොට්ටාල හා දඩවින්නේ දිසාව. වීර කැප්පෙටිපොළ මොණරවිල සමඟ කරන ලද සාකච්ඡාවකින් පසු කැප්පෙටිපොළ ෂරුවාණන් ඉංග්‍රීසීන් හා ඉංග්‍රීසීන්ගේ ආයුධ අතහැර කැරැලිකාර සිංහල හමුදාව සමඟ එක්වීමට එකඟ වී ඇත්තේ මේ ඓතිහාසික කැප්පෙටිපොළ ප්‍රදේශයේ දීය.

එය සිහිකිරීම වස් වර්තමාන කැප්පෙටිපොළ මහා විද්‍යාල භූමියේ වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ ජීවමාන ප්‍රමාණය පිළිරුවක් ඉදිකර මේ ප්‍රදේශය කැප්පෙටිපොළ නමින් ප්‍රකාශයට පත්කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා