ශ්‍රී ලංකාව සමඟ ලෝකයත් සතුටු වෙයි

ශ්‍රී ලංකාව සමඟ ලෝකයත් සතුටු වෙයි

මේ දිනවල ජනාධිපතිතුමාට නෑදෑයන් ගෙන් අඩුවක් නැත. එතෙරින් එන එම නෑදෑයන් ආදරයෙන් පිළිගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සැදී පැහැදී සිටී. ශ්‍රී ලංකාව කවදත් මැද පිළිවෙතේ ගමන් ගන්නා බැවින් එතෙර බලවත් රාජ්‍යයන් පවා අප වෙත දක්වන සැලකිල්ල අති විශේෂිත වන්නේ ය. 2005 දී ජනාධිපති පදවියට පත් මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දුවක් අනුව මාතෘභූමිය නිදහස් කර ගැනීමට සියලු සැලසුම් සකස් කරද්දීත් අසල්වැසි ඉන්දියාව සමඟ මූලික සබඳතා තහවුරු කර ගත්තේ ය. එදා සිට මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ දැවැන්ත කාර්ය භාරයේ දී ජනාධිපතිතුමා සියලු දෙනාට සාවධාන ව සවන් දුන්නේ ය.

විදේශ නෑදෑයන් ගේ ඉල්ලීම්, විවිධ මත, සහ යෝජනා ගැන මධ්‍යස්ථ ව සිතා බැලුවේ ය. කෙසේ හෝ කිසිම විදෙස් නායකයකුට ඔහුගේ් මූලික අරමුණ වෙනස් කරන්නට නොහැකි වූයේ රට වෙනුවෙන් ගත් තීරණය ඒ තරමට ඍජු වූ බැවිනි. ඒ තරමටම සක්‍රීය වූ බැවිනි. රටක අභ්‍යන්තර ප්‍රශ්නයක් විසදා ගැනීමට විදෙස් මිතුරන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය ය. එහෙත් ඒ රටවල න්‍යාය පත්‍රවලට අනුව අපේ රටේ ගමන් මඟ වෙනස් කරන්නට ජනාධිපතිතුමා කිසිම මොහොතක සූදානම් වූයේ නැත. මාතෘ භූමිය මුදා ගැනීමේ උතුම් මෙහෙවර සාර්ථකව ඉදිරියට ඇදෙද්දී අප බලන්නට මිලිබෑන්ඩ්ලා , කුෂ්නර්ලා පෝලිමේ පැමිණියහ. ඒ අය ඇඹිලිපිටිය මාර ගසක් යටට ගෙන ගොස් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා ලෙස ත්‍රස්තවාදයට එරෙහිව කරන්නට යන කාර්ය භාරය පැහැදිලි කර දුන්නේ ය.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ පිල්ලේ නෝනලා පිස්සු නටන විට ඒ පිස්සුවට කට්ටඩිකම් කරන්නට ශ්‍රී ලංකාවේ මහින්ද සමරසිංහ ඇමතිතුමා එතෙර ගොස් සියලු රෝග සුව කොට ශශ්‍රී ලංකාවේ යහපතට ලෝක මතය වෙනස් කර ගත්තේ ය. අනෙක් පැත්තෙන් ප්‍රභාකරන් ගේ මානව හිතවාදය ගැන මෝඩ තර්ක ඉදිරිපත් කළ රාජ්‍ය නොවන සංවිධානවල මතය වෙනස් කරන්නට සියලු දේ ඉටු කළේ ය. අවසානයේ ත්‍රස්තවාදය අන්තයට ම පරාජයට පත් විය. සත්‍යය ජය ගත්තේ ය. අපේ රණවිරුවෝ ලෝකයටම ආදර්ශයක් දෙමින් මාතෘ භූමිය මුදා ගත්හ. එපමණක් නොව ප්‍රභාකරන් යටතේ වහලුන් සේ සිටි දෙමළ ජනතාව ට ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු විවර කර දුන්හ.

දැන් අපි නිදහස් රටක් වන්නෙමු. ත්‍රස්තවාදය සදහටම තුරන් කර ඇත. අපට ජයගන්නට ඇති ආර්ථික සටන කේන්ද්‍රවෙයි. දැන් දියත් කර ඇති අධිවේගී සැලසුම් සාර්ථකව ඉදිරියට ගමන් කරමින් තිබේ. එතෙර නෑදෑයන්ට දැන් රට ගැන ආදරයක් ඇතිවී තිබේ. එදා සිටම ප්‍රභාකරන්ට ජය පතා තමිල්නාඩුවේ සිට සවුදිය පිරූ පිරිසද අප හමුවන්නට පැමිණ සිටිති. ආදරයෙන් ඒ පිරිස පිළිගන්නට බලාපොරොත්තුවෙන් සිටිති. ජනාධිපතිතුමා උතුරට යන ලෙසට ඔවුන්ට යෝජනා කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ලින් පැස්කෝ උතුරට ගියේය. සියලු දේ ගැන සෑහීමකට පත්විය. පිල්ලේ නෝනාට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියා දෙන්නට පැස්කෝ මනා අවබෝධයක් ලබා ගන්නට ඇත.

තමන්ගේ ගෙදරටත් වඩා ශ්‍රී ලංකාවට එදා පැමිණි යෂුෂි අකාෂි ද දැන් ශ්‍රී ලංකාව ගැන පැහැදී සිටී. ආධාර දෙන්නට පොරොන්දු වූවා නොව ආධාර දුන්නේ ය. අකාෂි යනු ජපානයේ මතය අපට ඉදිරිපත් කරන ප්‍රධාන දූතයා වෙයි. ඔහු ශ්‍රී ලංකාව ගැන පැහැදීමෙන් කතා කිරීම යනු සමස්ත ජපානයම ශ්‍රී ලංකාව සමඟ සිටීමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා එතෙර මෙතෙර විවිධ අභියෝග මැද ගත් සියලු ක්‍රියාමාර්ග ඉතාමත් නිවැරදි ඒවා බව සනාථ කර තිබේ. ඒ නිසා ඒවා පිළිගන්නට එතෙර නායකයන්ට සිදුවී තිබේ.

ලෝකයේ විශාලතම අවතැන්වූ පිරිස යළි පදිංචි කරවීමේ ප්‍රාතිහාර්යයට මුහුණ දුන්නේ ද ශ්‍රී ලංකා ආණ්ඩුව සහ රණවිරුවන් ය. රණවිරු ජයග්‍රහණයට වසරක් පිරෙන අද ඔවුන්ගේ හපන්කම් සහ විනයගරුක බව අගයන්නට ලෝක බලවතුන් ඉදිරිපත්වීම රණවිරුවන්ගේ ජයග්‍රහණය තව තවත් උද්දීපනය කිරීමකි. සත්‍යය හැමදාමත් ජයගනී. අරමුණු යහපත් නම් ජාතික ජයග්‍රහණ වලකාලන්නට මොනම ජගතෙකුටවත් බැරි ය. ඒ නිසා අද ශ්‍රී ලංකාව සමඟ ලෝකයම මුළු සිතින්ම සතුටු වන්නේය. සිනා සෙන්නේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා