රණවිරු නාමය සදානුස්මරණීය කිරීමට කැප වෙනවා

රණවිරු නාමය සදානුස්මරණීය කිරීමට කැප වෙනවා

පත්මා වෑත්තෑව
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී

ට වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී කටයුතු කරන රණවිරුවන් වෙනුවෙන්, රණවිරු සේවා අධිකාරිය සලසන මෙහෙවර කුමනාකාරද? ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සිදුකෙරෙන සේවය කෙබඳුද? මියගිය රණවිරු පවුල් වෙනුවෙන් සහන සලසන්නේ කුමන ආකාරයටද? යන කරුණු පිළිබඳ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී පත්මා වෑත්තෑව මහත්මිය සමඟ කළ කතාබහකි මේ.

* රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන මෙහෙවර කුමක්ද ?

ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සුරක්ෂිත කරනු වස් ජීවිත පූජා කළ අතුරුදන් හා ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල මානසික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම හා සේවයේ නියුතු රණවිරුවන් හා එම පවුල් වල මානසික ප්‍රබෝධයක් ඇතිවන අයුරින් ක්‍රියා කිරීම රණවිරු සේවා අධිකාරියේ මෙහෙවරයි. සේනාධිනායක ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ රණවිරු සේවා අධිකාරිය පිහිටුවා තිබෙන්නේ ඉහත කී සේවය රණවිරුවන් වෙනුවෙන් දැරීමටයි.

රණවිරු සේවා අධිකාරිය ඒ උතුම් සේවාව ඉටුකරන්නේ දැඩි කැපවීමකින් යුක්තවයි. යුද්ධයේදී මේ රටේ ජනතාව රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ චිත්ත ශක්තිය නඟා සිටුවීමට සුවිශේෂී සේවාවක් ඉටු කළා. යුද්ධයේදී ආබාධිත අතුරුදන් සහ මියගිය රණවිරු පවුල් වෙනුවෙන් ඔවුන්ට තනි වෙන්නට අසරණ වෙන්නට ඉඩ නොදී ඔවුන්ගේ ආත්ම ශක්තිය චිත්ත ධෛර්යය රැක ගැනීමට රණවිරු සේවාව අතිවිශාල කැපවීමක් කරනවා.

* ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය ධූරයට පත්වී රණවිරුවන් වෙනුවෙන් සුබසාධක කටයුතු රැසක් ඉටු කිරීමට පොරොන්දු වුණා.?

එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ පොරොන්දුව ඉටු කළා. ප්‍රථමයෙන් ත්‍රස්තවාදය නිමා කළා. යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් ඉටු කර ඇති සුභසාධක කටයුතු ප්‍රමාණය මෙතෙක් මේ රටේ නායකත්වයට පත්වූ කිසිම ජනාධිපතිවරයකු නොකළ අති විශාල මෙහෙවරක්. ජීවිත පරිත්‍යාගයෙන් ජාතිය වෙනුවෙන් තම තරුණ ජීවිතය කැපකළ ඒ රණවිරුවන්ගේ සේවය තේරුම්ගත් එකම ජනාධිපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

එතුමා කළ ඒ කැපවීම අවංකයි. සෘජුයි. කිසිදු බලවේග හමුවේ තම තීරණය වෙනස් නොකළ එකම නායකයා. එතුමා රණවිරුවන්ට හදවතින්ම ආදරය කරන සංවේදී නායකයෙක්. ඒ රණවිරුවන් පමණක් නොවේ , ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැත්තෑදහසට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් අති විශාල සේවාවක් ආරම්භ කර තිබෙනවා. එම පවුල්වල සාමාජිකයන් සෑම කෙනෙකුගේම ගැටලුවලට විසැඳුම් ලබාදී, ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරදීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

* එම සුබසාධන වැඩපිළිවෙළ යටතේ එන කරුණු කීපයක් ඉදිරිපත් කළහොත්. ?

නිවාස ප්‍රශ්නය විශේෂයෙන් රණවිරු පවුල්වලට තිබූ ගැටලුවක්. සෑම රණවිරුවකුටම නිවසක් ලැබෙන පරිදි ඉඩම් කෑල්ලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඉපලෝගම රණවිරු ගම්මානය දශක තුනක යුද්ධය පැවැති කාලයේවත් ඉදි නොවූ දැවැන්ත නිවාස යෝජනා ක්‍රමයක්. එම නිවාස වැඩපිළිවෙළ මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙමින් පවතිනවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘අපි වෙනුවෙන් අපි’ වැඩපිළිවෙළ යටතේ රණවිරු පවුල් වෙනුවෙන් කාරණා 64කින් සමන්විත දැවැන්ත සුබ සාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම ඉතාම වැදගත්.

ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මැතිනියගේ සේවා වනිතා ඒකකය මගින් රණවිරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් නිවාස ව්‍යාපෘතිය ප්‍රධාන තැනක් ගත් වැඩපිළිවෙළක් බව කිවයුතුයි. එපමණක් නොවේ, රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්න, වෛද්‍ය පහසුකම්, නිවාස ණය, දරුවන් වෙනුවෙන් වූ අධ්‍යාපනික ශිෂ්‍යත්ව මේ සෑම දෙයක්ම රණවිරු සුබසාධන වැඩසටහන් බව කිව හැකියි.

* ආබාධිත රණවිරු සුබ සාධන ව්‍යාපෘතිය යටතේ ආබාධිත රණවිරුවන් සඳහා රණවිරු සේවා අධිකාරිය සිදු කරන සේවය....?

ප්‍රධාන සේවා 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතර සහන ණය පදනම මත ත්‍රිරෝද රථ ලබාදීම, සෞඛ්‍ය පහසුකම් සහිත නාන කාමර ඉදිකර ගැනීම සඳහා ආධාර ලබාදීම, ආබාධිත උපකරණ ලබාදීම, ආබාධිත පුහුණු වැඩමුළු සහ රණවිරු සේවා අධිකාරියට ලැබෙන රණවිරු ගැටලුවලට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම.සිදු කෙරෙනවා.

* මෑතදී රණවිරු දූ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ වැදගත්ම පියවරක් වූයේ රණවිරු පාසල් ව්‍යාපෘතිය ?

ආරක්ෂක අමාත්‍යංශය මගින් එම වැඩපිළිවෙළ ආරම්භ කළා. මුල් ම පාසල කොම්පඤ්ඤවීදියේ පිහිටුවා තිබෙනවා. ඊට අමතරව දීපව්‍යාප්තව එය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී විශේෂයෙන් කිවයුතු දෙයක් වන්නේ එම පාසල් පිහිටුවා තිබෙන්නේ දරුවකුට අවශ්‍ය සියලුම පහසුකම් ඇතිවයි. රටේ ඉහළම පහසුකම් ඇති පාසලටත් වඩා පහසුකම් රණවිරු දරු පාසල් පද්ධතිය වෙනුවෙන් ලබා දී තිබෙනවා.

* රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ මානසික ප්‍රබෝධයක් ඇතිවන අයුරින් රණවිරු සේවා අධිකාරිය ක්‍රියා කරන්නේ කෙසේ ද?

ජීවිත පූජා කළ අතුරුදන් හා ආබාධිතව විශ්‍රාම ගත් රණවිරුවන් හා එම පවුල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මාසිකව එක් රැස් කොට, ඔවුනොවුන් ගේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් හා අවබෝධයෙන් රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති සමඟ සෘජු සම්බන්ධීකරණයක් කිරීම , තවද සංසද සාමාජිකත්වයේ ජීවන තත්ත්වය සමීක්ෂණය සිදුකිරීමද මෙහිදී සිදුකෙරෙනවා.

* රණවිරු ගම්මාන ඇතිකිරීම මේ රජය යටතේ වූ සුවිශේෂී වැඩපිළිවෙළක්, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සේවා වනිතා ඒකක රණවිරු සේවා අධිකාරිය ඇතුළු අංශ කීපයක් සම්බන්ධ වී සිටිනවා. එහි අරමුණ කුමක් ද?

රණවිරු ගම්මානය තුළ රණවිරුවාගේ අභිමානය සහ උත්තරීතරත්වය සුරකින පරිසරයක් ගොඩනැගීම, විවිධ ප්‍රදේශවල සිට පැමිණ, එක ම ගම්මානයක පදිංචිව සිටින පිරිස අතර අන්‍යෝන්‍ය සබඳතාව ගොඩනැගී, කායික හා මානසික වශයෙන් පිරිපුන් රණවිරු දරු පරපුරක් බිහි කිරීම, විවිධ දක්ෂතා ඇති දරුවන් සඳහා වැඩසටහන් හඳුන්වා දීම සහ උදවු කිරීම, රණවිරු කාන්තාවන්ගේ හැකියා ඔප මට්ටම් කර ගැනීමට අවස්ථාව සැළසීම, ගෙවතු වගා කිරීම ආදියට තැන දීම එහි අරමුණයි.

* රණවිරු නාමය සදා අනුස්මරණය කිරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මෙහෙය කුමක් ද?

අප මාතෘ භූමියේත් ජනතාවගේත්, ආරක්ෂාව හා සුබ සිද්ධිය සඳහා කැපවූ යුද නාවික, ගුවන් හා පොලිස් සේවාවේ යෙදී සිටියදී තම ජීවිත පූජා කළ, එසේ ම ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ ආබාධිත, සේවයේ නියුතු අපගේ යුගයේ රණවිරුවන්ගේ වීරත්වය හා අභිමානය ජනතාවගේ සිත් සතන් තුළ සටහන් කර අනාගත පරපුරට එම මහඟු කැපවීම, සම්බන්ධව අවබෝධයෙන් හා හැඟීමක් ඇති වන ලෙස ජනතාව දැනුවත් කරමින් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම මගින් රණවිරු නාමය සදා අනුස්මරණය කිරීම සිදු කරනවා.

* රණවිරුවන්ට ඉඩම් ලබාදීම යටතේ සිදුවෙන්නේ කුමන ක්‍රියාවලියක්ද ?

රණවිරුවන් සහ එම පවුල් සඳහා වාසයට සුදුසු පහසුකම් සහිත රජය සතු හෝ පුද්ගලික ඉඩමක් ලබා දෙනවා. එපමණක් නොවේ, එම ඉඩම් සංවර්ධනය කර දීමත් සිදු කෙරෙනවා.

* මාපිය කැපකරු ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?

අඩු ආදායම්ලාභී රණවිරු පවුල්වල දූ දරුවන්ටත් පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ දූ දරුවන්ටත් රණවිරුවන්ගේ ආබාධිත දූ දරුවන්ටත්, ශිෂ්‍යාධාර ලබාදීමත්, රණවිරු දරුවන්ගේ හදිසි සැත්කම් සඳහා ආධාර ලබා දීමත් සිදුකෙරෙනවා.

* රණවිරු මාපිය සුරැකුම් ගැන යමක් කියනවානම් ?

අසරණ භාවයට පත් රණවිරු දෙමාපියන්ට රුකුලක් වන කැපකරු මාපිය වැඩ සටහන මගින් රණවිරු මාපියන් රැකබලා ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.

* මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට නැවත විවාහ වීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස ?

මිය ගිය රණවිරුවන්ගේ බිරියන් දෙස බලන විට ඔවුන් වැඩි දෙනෙක් තරුණ වයසේ අයයි. ඔවුන් දෙස මානුෂිකව බලා රණවිරුවාගේ වැටුපෙන් වසර දහයක වැටුප් එකවර ලබාගෙන නැවත විවාහවීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

* මියගිය රණවිරුවාගේ බිරිඳ බොහෝවිට අන්‍යයන්ගේ විවේචනයට ලක් වෙනවා. ඇයගේ ආත්ම ගෞරවය මියගිය රණවිරුවාගේ ආත්ම ගෞරවය විනාශ කෙරෙන අවස්ථා තිබෙනවාද?

එය සමාජයේ වරදක්. ඇතැම් පිරිස් ඔවුන් විවේචනය කරනවා. පවුලක බර කරටගත් රණවිරුවා මිය ගිය පසු ඒ බර උසුලන්නේ බිරිඳයි. ඇය ජීවිත ගමනේ යම් ගැටලුවලට මුහුණ දෙන අවස්ථා අප්‍රමාණයි. අප ජනතාව සිතට ගත යුතු කරුණක් විය යුත්තේ රට රැකදෙන රණවිරුවා කෙරෙහි යම් ගෞරවයක් තිබේද, එවැනිම ගෞරවයකින් ඔහු මිය ගිය පසුද දරුවන් සහ බිරිඳ දක්වා ආරක්ෂා කළ යුතු යි.

* මේ රජයෙන් එම පවුල්වල අයට විශේෂ ගෞරව සම්මාන ලබා දුන්නාද ?

ඔව් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මියගිය රණවිරු පවුල්වලට විශේෂ ගෞරව පදක්කමක් පිරිනැමීම ආරම්භ කළා. එම පවුල්වල සාමාජිකයන් සමාජයේ විවිධ වූ කර්තව්‍යයන්ට සම්බන්ධ වූ අවස්ථා වලදී රණවිරු පවුලක සාමාජිකයෙක් බවට හඳුනාගෙන විශේෂත්වයක් කිරීම එම සම්මාන පදක්කම පිරිනැමීමේ අරමුණයි.රණවිරුවා යන නාමයට සුවිශේෂී වූ අර්ථකථනයක් ලැබුණේ වර්තමාන රජයෙන් ? දශක තුනක කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය වසර 3ක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්භීත තීරණයට හැකිවුණා. එම ජයග්‍රහණයත් සමඟ රණවිරුවා මේ රට තුළ පමණක් නොවේ. ජාත්‍යන්තරය තුළද විශේෂ පුද්ගලයකු බවට පත්වුණා.

* රණවිරු සේවා අධිකාරිය රණවිරුවන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කරන විශේෂ සද්කාර්යයන් මොනවාද ?

රණවිරු පවුල් ආරක්ෂා කරමින් , ඔවුන් ගේ නාමය රැක ගනිමින් කළ හැකි සෑම දෙයක්ම කිරීමට විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා ඉදිරිපත් වී සිටිනවා. එය අපට විශාල ධෛර්යයක්. ආරක්ෂක ලේකම්තුමා නිරතුරුවම ඒ සඳහා සහයෝගය ලබා දෙමින් සිටිනවා. එතුමාගේ ඒ ශක්තිය යෝධ ශක්තියක් කරගෙන අප ඉදිරියේ දී තවත් බොහෝ දේ රණවිරුවන් වෙනුවෙන් සිදුකරනවා. රණවිරු නාමය තවත් වසර සියයකටවත් මෙරට ජනතාවට අමතක නොවන තැනට කටයුතු කිරීම රණවිරු සේවා අධිකාරියේ ඉලක්කයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා