රුවන් සුදුසුකම් සපුරන තුරු නායකත්වයෙන් ඉවත් වෙන්නේ නෑ

රුවන් සුදුසුකම් සපුරන තුරු නායකත්වයෙන් ඉවත් වෙන්නේ නෑ

- විපක්ෂ නායක

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියකු වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වීමට සුදුසු තත්ත්වයකට පැමිණෙන තෙක් නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති පවුල් වලින් පිටස්තර කෙනකුට පැවරීමට කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් නැති බව පක්ෂ මන්ත්‍රීවරු පවසති.

රුවන් විජේවර්ධන මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වුයේ පසුගිය මහ මැතිවරණයේදී ය. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා සහ පුවත්පත් ආයතනයක හිමිකරුවකු ද වන රංජිත් විජේවර්ධන මහතාගේ පුතණුවන් ය.රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට නවකයකු නිසා ඔහු පක්ෂය තුළ එක්තරා තත්ත්වයකට පැමිණෙන තෙක්, රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බව පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයයි.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළේදී රුවන් විජේවර්ධන මහතාට යම් තනතුරක් ලබා දෙනු ඇති බවටද විශ්වාස කෙරේ. රුවන් විජේවර්ධන මහතා පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස, එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තරමක් දුරට දැන ගැනීමට හැකි වුවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ඒ පිළිබඳව පක්ෂයේ කිසිවකුත් සමඟ සාකච්ඡා කර නැති බවද පැවැසේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා