බෝධිසත්ව පියෙක් මරා දැමූ අජාසත්ත පුතෙක්

බෝධිසත්ව පියෙක් මරා දැමූ අජාසත්ත පුතෙක්

ඔහු මියගියේය. කරදඬු උස් මහත් වූ දරුවන් පස් දෙනකුට පියකු වූ හෙතෙම තමන් නිරත වූ සාමාන්‍ය රැකියාවෙන් විශ්‍රාම ගෙන ඉන් ලද විශ්‍රාමික මුදලින් රුපියල් තිස්පන් දහස ගණනේ දරුවනට දුන්නේ “උඹලා ඔක්කෝටම සමසේ මේ සල්ලි මං බෙදා දෙන්නෙ - මීට වඩා මට උඹලා වෙනුවෙන් කළ හැකි තවත් දෙයක් නැහැ” යැයි කියමිනි.

ඇතැම් දරුවෝ ඔය සොච්චම් මුදල් මට එපා යැයි කී අතර මටත් එපා කියා - ආපසු ඒ මුදල් යළි අත මිට මොලවා ගත් අයත් ඒ අතර වූහ. පියා හොඳ හිතින් දුන් දේ රැගෙන ‘ආඩපාලි’ කී දරුවෝ ද කළගුණ නොදත් දරුවෝද මේ පස් දෙනා අතර වූහ. මේ වියපත් පියාණන් විශ්‍රාම සුවයේය. එහෙත් දරුවන් අතරින් සමහර දරුවන් තම පියාගේ වෛරක්කාරයෝ මෙන් වූහ.

එක් පුතකු පියාට එරෙහිව නැගී සිටි දිනක් එළැඹියේය. සවිබල නොවූ දිරාපත් සිරුරකට හිමිකම් කී පියා සමග උරණව ගිය පුතු පියාගේ එක් ඇසක් එළියට පනින්නට පහර දුන්නේය. හේ වහා රෝහලට ඇතුළත් කළ ද ඒ පිළිබඳව වෛද්‍යවරුන් විමසීමේදී හෙතෙම දුන් පිළිතුර මෙය විය.

“මගේ ඇහේ කෝටුවක් ඇනුණා.”

තවත් දිනක් එළැඹියේය. ඒ - මේ ඊයේ පෙරේදාය. පියා නුරුස්නා දරුවන් අතර සිටි පුත්‍රයා පියා හා උරණව ගියේය. මහලු වූද දුර්වල වූද පියාට තම දෑතේ සවිබල පෙන්වූයේය. පහර පිට පහර දුන්නේය. පුත්‍රයා විසින් තම පියාට එසේ පහර දීමෙන් අනතුරුව ඔහුගේ දෑත පසුපසට හරවා - අඹරවා කඩා බිඳ දා - තවත් පහර දුන්නේය. පියා රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු යළි දෙපයින් හෝ විවර වූ දෑසින් යුතුව නිවෙසට ආයේ නැත. පැමිණියේ මිනී පෙට්ටියක වැතිර ගත් අයුරිනි. සිත් - පිත් නැති දරුවන් ගෙන් ඒ වන විට ඔහු සදහටම නික්ම ගොස්ය.

තවදුරටත් ඔහුට ජීවත් වන්නට ඉඩක් ලැබුණි නම් තමන්ගේ දෙ අත් පිටුපසට හරවා බින්දේ පහර පිට පහර දී ගත නිල් පැහැ ගැන්වූයේ තම පුතු නොවන බවට ඔහු විමසන කවරකුට හෝ ඔහු කියනු නො අනුමානය. කෑගල්ලට නුදුරු ගම් පියසක තෙත් ළය ඇත්තවුන් ගේ හද කකියවන මේ පුවත දිනමිණ ට අසන්නට ලැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා