මුද්‍රණය සඳහා

 
විපතට පත් වූවන්ට වන්දි දෙන්න ඩොලර් බිලියන 20ක්

මෙක්සිකෝ තෙල් කාන්දුව:

විපතට පත් වූවන්ට වන්දි දෙන්න ඩොලර් බිලියන 20ක්

සිවු වසරකින් ගෙවන්න බ්‍රිටිෂ් සමාගම එකඟ වෙයි

එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවෙමින් පවතින දරුණුම පාරිසරික හානියට හේතුවී තිබෙන මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුවට වගකිවයුතු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම ඉන් විපතට පත් වූවනට වන්දි ගෙවීම සඳහා ඩොලර් බිලියන 20 ක් ලබාදෙන බව පෙරේදා ප්‍රකාශ කළේය. මෙය මෙම තෙල්කාන්දුවට අදාල ක්‍රියාවලිය පිළිබඳව කුපිතව සිටින එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ලත් ජයග්‍රහණයක් ලෙසද සැලකේ.

වසරකට ඩොලර් බිලියන පහ බැගින් සිවු වසරකදී වන්දි වශයෙන් ඩොලර් බිලියන 20 ක් ලබාදීමට කැමැත්ත පල කළ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම, 2010 වසරට නියමිත වන්දියද වසර අවසාන වීමට පෙර ලබාදෙන බව කියා තිබේ. මෙසේ මහා වන්දියක් ගෙවීමට සිදුවීම නිසා මේ වසරේදී සමාගමේ කොටස් හිමියන්ට ප්‍රතිලාබ ලබාදීමක් සිදු නොවන බව එහි සභාපති වරයා ප්‍රකාශ කැර ඇත.

තවද මේ විපත නිසා රැකියා අහිමි වූ තෙල් අටුලු සේවකයන් වෙනුවෙන් ද ඩොලර් මිලියන 100ක් වෙන් කරන බව සමාගම කියා ඇත. වන්දි ලබාදීම කඩිනමින් හා සාධාරණව සිදුකරන අතර එය ප්‍රමුඛ නීතිවේදියකු හා විනිසුරුවන් තිදෙනකුගෙන් යුත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ සිදු කැරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]