මුද්‍රණය සඳහා

 
අපි ලංගමට නව පණක් දුන්නා

අපි ලංගමට නව පණක් දුන්නා

රෝහණ දිසානායක
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

ටේ ප්‍රවාහන සේවාවේ සංවර්ධන කටයුතු සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයකු ලෙස මේ දිනවල මාතලේ සංවර්ධන කටයුතු කෙසේද ?

පසුගිය 2004 මැතිවරණ සමයේ මුළු දිස්ත්‍රික්කයම බිඳ වැටී තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගෙන මහින්ද චින්තනය ක්‍රියාත්මක කිරීමට මම විශාල සටනක් කළේ. ඒ මේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය, යටිතල සංවර්ධනය, අධ්‍යාත්මික සංවර්ධනය කරමින් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් උදාකරලීමට යි. මම කරන්නම් කිය කියා ඉන්නේ නෑ. කරල පෙන්නල කියනවා. ප්‍රදේශයේ පාලම් 17 ක් ඉදිකළා. 

සමෘද්ධි හා දිළිඳුකම පිටු දැකීමේ නියෝජ්‍ය ඇමැති ධුරයේ සිට නාගරික සංවර්ධන හා ජලසම්පාදන නියෝජ්‍ය ඇමැති, මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වැනි විවිධ නියෝජ්‍ය අමාත්‍යධුරයන් දරමින් සිටියදී මාතලේ ජනතාව වෙනුවෙන් ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති මේ වන විට අවසන් වී හා අවසන් වෙමින් හා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතලේ සංවර්ධනය සඳහා මිලියන අටසියයක මුදලක් වෙන් කර දුන්නා. මා සතු ජාතික වගකීම හා මගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කළ යුතු වගකීම් සියල්ල ඉටු කරන්නයි සිරගෙවල්වල ලැගලත් මේ තනතුරට ආවේ.

* ලංගම බස් රථ සේවාව නංවාලීම සඳහා ඉදිරියේදී අලුතින් බස් රථ ලබාදීමක් පිළිබඳ පසුගිය දිනවල සාකච්ඡා වුණා. එහි වත්මන් තත්ත්වය කෙබඳුද ?

මේ වන විට දිනකට ධාවනය වන ලංගම බස් රථ ප්‍රමාණය 4700 යි. පුද්ගලික බස් රථ 17000 ක් ධාවනය වෙනවා. මේ රටේ ජනතාව තවමත් ලංගම බස් රථවලට ප්‍රිය කරනවා. කෑලි හැලි හැලී වුණත් ලංගම බස් රථවල ගමන් කරන්න කැමැති පිරිස් ඉන්නවා. ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් හා ප්‍රවාහන අමාත්‍යතුමා හා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා අවම වශයෙන් දිනකට ධාවනය වන ලංගම බස් රථ ප්‍රමාණය 6000 දක්වා වැඩි කිරීමට.

මෙහි මුල් පියවර ලෙස ලබන සතියේ බස් රථ සියයක් ගෙන්වීමට කටයුතු යොදා තිබෙනවා. දැනට ලංගම සේවකයන් 35000 ක් පමණ සේවයේ යෙදිල ඉන්නවා. මේ ශ්‍රමය කළමනාකරණය කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ අතර දිනපතා ලංගම ගිණුමට ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 420 යි. ඒ වගේම අපි දන්නවා ලබන මුළු ආදායමෙන් 20 % ක් පමණ මේ ගිණුමට නොලැබෙන බව. විවිධ අක්‍රමිකතා තිබෙනවා. අඩු තරමේ 10 % ක් වත් එයින් ගිණුමට වැටෙනවා නම් අපට රුපියල් ලක්ෂ 500 ක් ලැබෙනවා. එහෙම නැතුව ලංගම ගොඩගන්න අමාරුයි.

* පසුගිය දා අම්බලන්ගොඩ ඩිපෝවේ සේවකයන් වැඩ වර්ජනයක් කළා. තමන්ගේ මාසික වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්. මෙසේ වැටුප් නොගෙවීම සම්බන්ධ ගැටලු තිබෙනවා නේද ?

තවත් ඩිපෝ කීපයක මෙවැනි ප්‍රශ්න තියනවා. හිටපු අමාත්‍ය ඩලස් මහතාත් මේවා විසඳන්න බොහෝ උත්සාහ ගත්තා. ප්‍රායෝගිකව සේවාව කාර්යක්ෂම නොකර මේ ප්‍රශ්න විසඳන්න බැහැ. අපිත් උත්සාහ කරන්නේ මේ ප්‍රශ්න විසඳගෙන ලංගම ගොඩනඟන්න යි. තවමත් නියමිත වේලාවට වැටුප් ගෙවීමට බැරිවෙන අවස්ථා තියෙනවා. අපි පසුගිය දා නිසි කළමනාකාරීත්වය සඳහා විවිධ පියවර අරගත්තා. නියමිත වේලාවට බස් රථ ධාවනය, කාර්යක්ෂම බව, අන්තර් සම්බන්ධතා ඇති කිරීම, ටිකට් කැඩීමේ යන්ත්‍ර දීම, කාලසටහන් ක්‍රමයක්ඇති කිරීම ආදිය කරනවා. එයින් අපට නිවැරැදි ගමනක් යන්න හැකි වෙයි.

* රටේ බොහෝ නගරවලට සේම අග නගරයේ සිටත් රාත්‍රි බස් සේවාවක් දකින්න නැහැ. ඒ සඳහා යම් වැඩ පිළිවෙළක් තිබෙනවා ද ?

අපි පසුගිය දා රාත්‍රියේ කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළට ගියා. එහිදී අපට දැක ගන්න ලැබුණා බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය වෙනවා රාත්‍රියේදීත්. අපට පැමිණිලි ලැබිල තියෙනවා යුද්ධය නිමා වීමත් සමඟ කොළඹ යාපනය පාරේ අනවසරයෙනුත් බස් රථ ගමන් කරන බව. එයින් අපට තවත් පණිවිඩයක් ලැබෙනවා. බස් රථ වැඩියෙනුත් ධාවනය වෙනවා කියලා. නීති විරෝධී වැඩවලට අපි නීතිමය පියවර ගන්නවා. ඒත් බස් රථ බොහෝමයක් ධාවනය වන බව පැහැදිලියි.

* ප්‍රවාහන ක්ෂේත්‍රයේදී රාජ්‍ය අංශයට පෞද්ගලික අංශය සමඟ තරග කිරීමට හැකියාවක් නැහැ නේද ?

ප්‍රවාහන අමාත්‍යාංශයේ වගකීම ජනතාව රස්තියාදු නොකර ඔවුන්ට නිසි ලෙස ගමනාගමනය ලබාදීමයි. එහිදී සීටීබී ද ප්‍රයිවට් ද ලොරි ද කාර් ද කියල නෑ. කොහොම හරි ප්‍රවාහනයයි අවශ්‍ය වෙන්නේ. එය සංවර්ධනය කිරීමයි අපේ වගකීම. හැබැයි ඔබ කියන විදියට රාජ්‍ය අංශය ශක්තිමත් විය යුතුයි තමයි. ඒත් ඔබට මතක ඇති පසුගිය දා පෞද්ගලික අංශය ප්‍රකාශයක් කළා උසස් පෙළ විභාගය සඳහා යන ළමයින් නොමිලයේ ප්‍රවාහනය කරන බවට. මේක බොහොම හොඳ දෙයක්. මේක තමයි තරගකාරීත්වය. මේ ඔවුන් තරග කරන්නේ රාජ්‍ය අංශය සමගයි.

* දුම්රිය සේවාව සෑහෙන කාලයක සිට පාඩු ලබනවා. මෙය ජනතා සේවාවක් ලෙස මිස ලාබ ලබන සේවාවක් කිරීමට අරමුණක් නැද්ද ?

බස් රථවලින් ප්‍රවාහනය සිදු වන්නේ 24 % ක් පමණයි. දුම්රියෙන් 6 % ක් ප්‍රවාහනය කරනවා. දැනට අපි දුම්රිය එන්ජින් හා පවර්සෙට් ප්‍රමාණයෙන් වැඩි කිරීමට කටයුතු කරගෙන යනවා. අපි අප්‍රේල් මාසේ භාරගන්නා විට දුම්රිය එන්ජින් තිබුණේ 38 යි. මාස තුනක් ඇතුළත අපි එය 62 දක්වා වැඩි කළා. අවුරුදු දහයකට පසු අපි දුම්රිය සේවාව කාර්යක්ෂම කළා. ඒ සඳහා අපට සාමාන්‍යාධිකාරී තුමා ඇතුළු සේවකයන් ලොකු සහයක් වුණා. අපි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරලයි ඒ දියුණුව පෙන්නුවේ.

දැනට ගමනාගමනයේ යෙදෙන 6 % ක මගී ප්‍රමාණය මා ඉහතින් කියූ සංවර්ධනය හරහා විශාල වශයෙන් වැඩි වීමට නියමිතයි. ඒ වගේම අනෙක් පැත්තෙන් ලංගම සංවර්ධන වැඩ පිළිවෙළ නිසා බස් රථවලත් 30 % දක්වා ගමන් කරන මගී සංඛ්‍යාව වැඩි කිරීමටත් ඉදිරියේදී හැකි වෙනවා. මේවා ව්‍යාපාරික අතින් පාඩු යයි කීවත් මම ඒක පිළිගන්නෑ. මොකද මේ හරහා විශාල ලෙස මහජන සේවාවන් සැපයෙනවා. පාසල් දරුවන්ට හා වැටිහිටියන්ට අපි සහන ලෙස මාසික ප්‍රවේශපත්‍ර ලබා දෙනවා. ලක්ෂ 3 – 4 ක මාසික ප්‍රවේශපත්‍ර නිකුත් වෙනවා. එයින් 10 % යි මගීන් ගෙවන්නෙ. දුම්රිය ඉතා අඩු මුදලකටයි ප්‍රවාහන කටයුතු කරන්නේ. මෙයින් ජනතාවට වන සේවය මිල කරන්න පුළුවන්ද ?.

* මේ අතර දුම්රිය සේවාවේ පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් එය නැංවිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා

ඔව්. අපි පවර්සෙට් 20 ක් ගේන්නත් නිතර ධාවනය වන පවර්සෙට්වල පහසුකම් වැඩි දියුණු කරන්නත් කටයුතු කරගෙන යනවා. ඒ අතර ඕමන්තෙ සිට පෙලෙ දක්වාත්, පෙලෙ සිට කන්කසන්තුරේ කිලෝමීටර් 90 ක හා කිලෝමීටර් 56 ක දුම්රිය මාර්ග සාදනවා. මේ දිනවල මඩු මන්නාරම් දුම්රිය මාර්ගය ‘ඉන්දියන් රේල්වේ’ සමඟ එකතු වී සාදනවා. මෙසේ රට තුළ සමස්ත ප්‍රවාහන සේවයම සමබර ලෙස සංවර්ධනය කිරීමයි සිදු වෙන්නේ. එයින් ජනතාවට එහි උපරිම ප්‍රතිඵල ලබාදීමයි අපේක්ෂාව. ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් ප්‍රවාහනය සඳහා මුදල් පොම්ප නොකර අපිම මුදල් උපයා ගැනීමයි සිදු වන්නේ.

* පසුගියදා නැවතත් විධායක ජනාධිපතිධුරය හා විධායක අගමැති ධුරය පිළිබඳ සාකච්ඡා වුණා. ඒ අතර මේ ධුර දෙකටම විරුද්ධ මතයකුත් විධායක ජනාධිපති ධුරයට පමණක් විරුද්ධ මතයකුත් ආණ්ඩු පක්ෂයෙන්ම මතු වුණා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භාරගත්තේ යුද්ධයෙන් අරාජික වූ රටක්. ඒ වන විට ආර්ථිකය කඩා වැටිලා, සම්පත් විනාශ වෙලා ජනතාව අපේක්ෂා භංගත්වයෙන් හා බියෙන් සිටියේ. ජීවිතය ගැන දැඩි අවිනිශ්චිත බවක් තිබුණේ. මෙසේ තිබිය දී තමයි යුද්ධයක් කළේ. යුද්ධයේ අවසාන කාලය වෙද්දී තමයි වියදම් උපරිම වුණේ. ඒත් කිසිදු රාජ්‍ය දේපළක් පෞද්ගලීකරණය වුණේ නැහැ. ඒ වගේම යුද්ධය ජය ගද්දී සංවර්ධන වැඩපිළිවෙළ මූලික අඩිතාලම් වැටිල තිබුණේ. ලෝකයේ ආර්ථික අර්බුද තියෙද්දී තෙල් මිල වැඩිවෙද්දී යුද්ධය පවතින රටක් ලෙසත් අපේ රට එතුමා හැරවුම් ලක්ෂයකට ගෙන ගියා. අපේ රට නොසැලී සිටියා. එදා ඩොලර් 830 ක ඒක පුද්ගල ආදායම අද 2200 වෙලා. මේ නිෂ්පාදන වැඩිවීම නිසයි. මීට සමගාමීව දේශපාලන අතිනුත් එතුමා ජනතාව අතර විශ්වාසවන්ත නායකයා වුණා. ඒ විතරක් ද ඔහු ලංකාවේ පමණක් නොවෙයි ජාත්‍යන්තර නායකයෙක්.

කොන්ද කෙලින් තබාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී එතුමා ප්‍රකාශ කළා ත්‍රස්තවාදයට විරුද්ධ විය යුතුයි කියලා. මේ අතර ඇතැම් අය එතුමාගේ විධායක බලතල වලට දොස් පවරමින් පෞද්ගලිකත්වයට ප්‍රශංසා කරනවා. බලන්න ලෝකයේ සිටි ප්‍රශස්ත නායකයන් වන ලෙනින් ලා මැන්ඩලා ලා අකිනෝලා මාවෝ සේතුං ලා වගේ මහින්ද රාජපක්ෂ නායකතුමා අපේ රටට ඉන්නවා. මෙවැනි නායකයකුගේ බලතල සැහැල්ලුවට ලක් කර ප්‍රතික්ෂේප කිරීම වැරැදියි. මෙවැනි නායකයන්ගේ ගමන වළක්වනවා කියන්නේ රට ආපස්සට හරවනවා කියන දෙයයි.

දැනට ග්‍රාමීය, ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමින් සිදුවන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලි කඩා වැටීමයි ඉන් සිදු වන්නේ. ඒ නිසා තව වසර දොළහක්වත් මේ විධායක ජනාධිපතිවරයා රට පාලනය කළොත් රට මොන තරම් සංවර්ධනය වෙනවාද ?. එයයි විය යුත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවරකට වැඩිය විධායක ජනපතිවීමට නොහැකියි කියන වගන්තිය වෙනස් කරන්න විතරයි තියෙන්නේ. මේ රටේ සංවර්ධනය ආපසු හරවන්න හොඳ නෑ. මෙවැනි නායකයන් අපි ආරක්ෂා කර තබා ගත යුතුයි.

දෙවරක් ජනාධිපති වෙන්න ඉඩක් නැතිවා වගේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටත් අවස්ථා දෙකක් විතරක් දුන්නොත් මේ විචාර කරන අය ඒකට කැමැති වේවිද ? දශක හයක සිට විධායක ජනාධිපතිවරු පාලනය කළත් ධනාත්මක ලෙස විධායක ජනාධිපතිවරයෙක් පාලනය කළේ මේ කාලයේයි. ඇයි ඒ ගමන වළක්වන්න හදන්නේ ?


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]