මුද්‍රණය සඳහා

 
සුදර්ශනී මැතිනියට ඒ පරිත්‍යාගය කරන්න මම සූදානමින් හිටියා

සුදර්ශනී මැතිනියට ඒ පරිත්‍යාගය කරන්න මම සූදානමින් හිටියා

ඩුලිප් විජේසේකරගේ ජීවිතයට එබී බැලීමක්

සියනෑ කෝරලයේ අද දවසේ නැඟී එන “දේශපාලන තරුව“ ලෙස අප කතානායකයා හඳුන්වා දුන්නොත් වඩා යුක්ති යුක්ත වනු ඇත. සාම්ප්‍රදායික පවුල් දේශපාලනය ඔස්සේ දේශපාලන ප්‍රවේශය ලබාගෙන ඇති හේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්, පළාත් සභා ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරමින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දක්වා මේ ගමන ඔහු මේ වන විට පැමිණ ඇත. හේ නමින් ඩුලිප් විජේසේකර වේ. මේ දිනමිණ “දියවන්නාවේ නෑදෑයෝ” ඔස්සේ අපි ඩුලිප් විජේසේකරගේ ජීවිතයට එබී බැලූ අයුරුයි...

* අපේ කතාබහ අරඹමින් ප්‍රථමයෙන් ඔබේ සම්පූර්ණ නම පැවැසුවොත්...?

”මගේ සම්පූර්ණ නම ගනේපොලආරච්චිගේ ඩුලිප් පණ්ඩුල පෙරේරා විජේසේකර...”

* එතකොට උපන් දිනය, උපන් ගම පිළිබඳ තොරතුරු කොහොමද...?

”මගේ උපන් දිනය 1966 වර්ෂයේ පෙබරවාරි මස 5 වැනිදා. උපන් ගම ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ආසනයේ පැපිලියවල කියන සුන්දර ගම...”

* මව්පියන් පිළිබඳ තතු කොහොමද...?

”මගේ පියාගේ නම ගනේපොල ආරච්චිගේ හඩ්සන් පෙරේරා විජේසේකර. මගේ මවගේ නම හේමලතා මුණසිංහ. මගේ මව්පියන් මේ පැපිලියවල ගම්කාරයෝ. මගේ පියා 1954 වර්ෂයේදී කොළඹ ආනන්ද මහා විදුහලෙන් ගෙදර ආපු දවසේ ඉඳලම කෙළේ දේශපාලනය. එතුමා 1960 අවුරුද්දේ දොම්පේ වෑකේ ගම්කාර්ය සභාවේ සභාපති ලෙස කටයුතු කළා. ඒ දවස්වල දොම්පේ ශ්‍රී. ල. නි. ප. සංවිධායක පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා. එතුමාත් සමඟ මගේ පියා මුළු ජීවිත කාලයේම කෙළේ දේශපාලනය තමයි...”

* පවුලේ සහෝදර සහෝදරියන්ගේ තොරතුරු කොහොමද...?

”අපේ පවුලේ අයියා, මම, ඊළඟට නංගිලා දෙන්නෙක් නිවුන්නු. ඊළඟට නංගි. ආපහු මල්ලි. ඔක්කොම හයදෙනයි. අම්මයි තාත්තායි ඔක්කොම අට දෙනයි. මේ අය අතුරෙන් මගේ බාලම සහෝදරයා රවි විජේසේකර දැන් දොම්පේ ආසනයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා...”

* අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ...?

”පළමු ශ්‍රේණියේ සිට දිගටම උසස් පෙළ දක්වා මමත් අයියත් අධ්‍යාපනය ලබන්නේ කොළඹ වෙස්ලි විදුහලෙන්. එහිදී උසස් පෙළ කරලා එතැනින් මහනුවර ත්‍රිත්ව විදුහලේ නේවාසිකව සිට මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කළා පල්ලේකැලේ ගොවිපොළේ. ඉන්පසුව මම හේලීස් ආයතනයේ රැකියාවක් කළා. ඔය අතරේ මගේ පියා මව දිගටම ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා සමඟ දේශපාලනය කළා. එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි වූ පසු 1980 සිට මගේ පියා දොම්පේ ආසනයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළා. 1985 වර්ෂයේදී අනුර බණ්ඩාරනායක මහතාට දොම්පේ ආසනය පියා බාර දුන්නා. ඒත් එතුමා සමඟ දිගටම දේශපාලනය කළා...”

* 1988 – 89 භීෂණය ඔබේ පවුලටත් තදින් දැනුණා. විශේෂයෙන් ඔබේ පියා කම්බිකොටුවේ රාළහාමි එජාප ආණ්ඩුවේ රාජ්‍ය මැරයන් විසින් ඝාතනය කරනු ලබන්නේද මේ කාලයේ. ඒ පිළිබඳව යමක්...?

ඩුලිප් - කේෂානි විවාහ වූදා...

”1988 – 89 කාලයේදී එජාප ආණ්ඩුව ජවිපෙ මර්දනය කරන මුවාවෙන් අපේ ශ්‍රී. ල. නි. ප. පාක්ෂිකයන් මර්දනය කරන්න ගත්ත වෙලාවේ අපේ මේ නිවසේ නීතිඥ මහත්තයෙක් නවත්තගෙන පැහැරගෙන යන තරුණයෝ වෙනුවෙන් ඔවුන්ව නිදහස් කරගන්න කටයුතු කළා. ඒ කාලයේ මේ අල්ලපු වැටේ තරුණයෝ 15 වැඩිය එජාප භීෂණය තුළ නැති කළා. ඝාතනය කළා. ඒ ජීවිත වෙනුවෙන් පියා මේ නිවසේ එසේ නීතිඥ මහත්තයෙක් නතර කරගෙන කටයුතු කරන විට එය ඉවසාගෙන සිටිය නොහැකි වූ දොම්පේ එවකට එජාප නායකත්වය මගේ පියාව වෙඩි තියා මරා දැම්මා. මමත් මගේ සහෝදරයත් ඒ වෙනකොට නිවෙසේ සිටියේ නෑ. පියාගේ උපදෙස් මත කොළඹ හිටියේ. මගේ පියාව මේ නිවසට ඇවිත් අරගෙන අර ඉස්සරහ වත්තට අරගෙන ගිහිල්ලා වෙඩි තබා මරා දැම්මා....”

* ඔබ පියාගේ ඝාතනයෙන් පසු දේශපාලනයට එන්නේ...?

”පියාගේ ඝාතනයෙන් ටික කලකට පසු 1991 ප්‍රාදේශීය සභාවලට තරග කරන්න එවකට සංවිධායක අනුර බණ්ඩාරනායක මහතාගෙන් ආරාධනා ලැබුණා. තාත්තට වූ දේ දරුවන්ට වේවි කියන බිය නිසා මගේ මව 1991 ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් වී මන්ත්‍රීවරියක් ලෙස දොම්පේ ප්‍රාදේශීය සභාවට පත්වී අවුරුදු 6 ක පමණ කාලයක් කටයුතු කළා. 1999 වර්ෂයේ පැවැති පළාත් සභා මැතිවරණයට උපාලි ගුණරත්න දොම්පේ අපේ හිටපු සංවිධායකතුමාගේ ඉල්ලීම පිට මම ඡන්දය ඉල්ලුවා. ඒ ඡන්දෙන් මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස මුල් වරට පත් වුණා.

අවුරුදු 5 ක් කටයුතු කළා. 2004 පැවැති මහ මැතිවරණයට තරග කරන්න හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය මට අවස්ථාව ලබා දුන්නා. ඒ ඡන්දෙන් මම 13 වැනියා හැටියට ලැයිස්තුවේ ආවේ. 10 දෙනයි මන්ත්‍රීවරු තේරුණේ. ඒ ඡන්දයෙන් දොම්පේ ජනතාව මට ඉහළ ඡන්ද සංඛ්‍යාවක් අරන් දුන්නා. මගේ පියා “කම්බිකොටුවේ රාළහාමිගේ” නමට “කම්බිකොටුවේ පුතාට” ඒ ඡන්ද ලැබුණා.

ඡන්ද 40,326 ක් බුලත් කොළයට දොම්පෙන් ඡන්ද වැටුණා. මහ මැතිවරණයෙන් මාසෙකට පසුව තිබුණේ 2004 පළාත් සභා මැතිවරණය. ඒ මැතිවරණයෙන් ලංකාවේ අපේක්‍ෂකයෙක් ආසනයකින් ගත්ත වැඩිම මනාප ප්‍රතිශතය මට ලැබුණා. අනතුරුව මම පළාත් සභා ඇමැතිවරයෙක් ලෙස පත්වීම ලැබුණා. පළාත් ඇමැතිවරයෙක් ලෙස මට වසර 3 1/2 යි කටයුතු කරන්න ලැබුණේ.”

* හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාව කොටි ඝාතනය කිරීමත් සමඟයි ඊළඟට ලැයිස්තුවේ සිටි නියෝජිතයා ලෙස ඔබට පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ. ඒ පිළිබඳව මතකය අවදි කළොත්...?

”2008 වර්ෂයේ අප්‍රේල් 6 වැනිදා ඉතාමත්ම අවාසනාවන්ත දවසක්. අපේ පක්‍ෂයට ලොකු ශක්තියක්ව සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ අභීත නායකත්වයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාව කොටි ඝාතනය කළා. ඒ පුරප්පාඩුවට තමයි මම 2008 මැයි 5 වැනිදා පාර්ලිමේන්තු ගොස් දිවුරුම් දුන්නේ. මම මාසයක් පාර්ලිමේන්තු ගියේ නෑ. මොකද ජෙයරාජ් ඇමැතිතුමාගේ බිරිය සුදර්ශනී මැතිනියට මේ මන්ත්‍රීකම අරන් දෙන්න කියා මම ජනාධිපතිතුමාට කීවා. නමුත් ඇයට එය අරන්න දෙන්න එහෙම ක්‍රමයක් නැති නිසා මම පාර්ලිමේන්තු ගියා. ජෙයරාජ් ඇමැතිතුමා වෙනුවෙන් සුදර්ශනී මැතිනියට ඒ මන්ත්‍රීකම පරිත්‍යාග කරන්න මම කැමැත්තෙන් සිටියා. ඒ දෙය සුදර්ශනී මැතිනිය පසුගිය මහ මැතිවරණයේදී රැස්වීම්වල පවා කියා තිබුණා...”

* ඔබ දැන් ආසන සංවිධායකවරයෙක්. එහෙම නේද...?

 සිය පවුල...

”ඔව්. අතිගරු ජනාධිපතිතුමාගේ නියමයෙන්, බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාගේ ආශීර්වාදයෙන් මම දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ශ්‍රී. ල. නි. ප. සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා. මට දැන් “දොම්පේ” වගේම “බියගම” ත් එක හා සමානයි. “දොම්පේ” මගේ උපන් දේශපාලන භූමිය. “බියගම” මගේ මැතිවරණ කොට්ඨාසය. මේ දෙක තුළම ජනතාව නිසා අද මම ශක්තිමත් දේශපාලන ගමනක් යන්න ආරම්භ කර තිබෙනවා...”

* අනාගතයේදී කවදා හෝ දවසක ඔබ දේශපාලනඥයෙක් වෙනවා කියන සිතුවිල්ල ඔබට කුඩා කල තිබුණද...?

”නැහැ. එහෙම විශේෂ සිතුවිල්ලක් තිබුණේ නෑ. නමුත් මගේ මේ නිවසේ උදේ නැගිට්ට වෙලේ ඉඳන් කතා කරන්නේ දේශපාලනය. රෑ නින්දට යන්නෙත් දේශපාලනය කතා කරමින්. ඒක මේ ගෙදර සාමාන්‍ය දෙයක්. 1980 මගේ තාත්තා දොම්පේ සංවිධායක වූ දවසේ සිට තාත්තා සමඟ දේශපාලනය වෙනුවෙන් සෑම තැනකම ගියා. මම තමයි තාත්තත් එක්ක වැඩිපුරම සම්බන්ධ වෙලා දේශපාලනයට ගියේ.

* ඔබ කෘෂිකර්ම ක්ෂේත්‍රයට, සත්ව පාලනයට විශේෂ කැමැත්තක් දක්වන මහජන නියෝජිතයෙක්. ඒ ගැන මොනවා හරි පැවැසුවොත්...?

”මම ඉතාමත් ආසාවෙන් කරන කටයුත්තක් තමයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වීම. ගහකොළ සමඟ සතා සිවුපාවා සමඟ මගේ තියෙන බැඳීම වැඩියි. කෘෂිකර්මයේ සියලු අංශ පිළිබඳව මා දැනුවත්. ඒ යන්ත්‍ර සූත්‍ර පිළිබඳව විශේෂ දැනුමක් මට තිබෙනවා. මගේ පියාත් ඉතාමත් හොඳට වගා කටයුතු කරපු කෙනෙක්. වත්තේ එළදෙනගෙන් කිරි දොවා දාලා තමයි මම අදත් පාර්ලිමේන්තු යන්නේ. කුඹුරේ වැඩ කටයුතු, කැත්ත උදැල්ලේ වැඩ කටයුතු අපට අරුමයක් නෙවෙයි. රජයේ අනුග්‍රහයෙන් හෝ වෙනත් තැනක පැවැත්වෙන වප් මඟුලකදී හෝ ඉස් ඉස්සෙල්ලාම කෙවිට අරන් හාන්න හරක් බානයි නගුලයි අතට ගන්නේ මම...”

* “දොම්පේ ජනතාවයි” “කම්බිකොටුවේ දේශපාලනයයි” අතර මොකක්ද මේ තියෙන බැඳීම...?”

”දොම්පේ ජනතාව මගේ පියාට කම්බිකොටුවේ රාළහාමිට දැක්වූයේ අසීමිත ආදරයක්. පියාව එජාපය ඝාතනය කළත් ඒ ආදරය අදත් අපිට නොඅඩුව තිබෙනවා. ඡන්දෙ කාලයට ගෙදර බිරිය දරුවෝ ගැන, කෑවද කියා අපි හොයන්නේ නෑ. රාත්‍රී 12 – 01 යි ගෙදර එනකොට. දොම්පේ ජනතාව අපේ ගෙදරට ඉස්සරහ දොරෙන් ඇතුල්වෙලා කෑම මෙසේ තියෙන දෙයක් කාලා පස්සා දොරෙන් පිටවෙලා යන සංස්කෘතියක් තියෙන්නේ. අපේ නිවෙස්වල ගේට්ටුවලට, දොර ජනෙල්වලට ඉබි යතුරු, ලොක් නෑ.

දවසේ පැය 24 පුරාම නිවෙස ජනතාව වෙනුවෙන් විවෘතයි. “කම්බිකොටුවේ රාළහාමිගේ” දේශපාලනය වුණේ දොම්පේ ජනතාවට සියනෑවේ ජනතාවට කන්න දීමයි. ජනතාවට කන්න දීලා අසීමිත සතුටක් තාත්තා වගේම අපත් ලබනවා. ඒ දේ මතක තියෙන දොම්පේ ජනතාව අවුරුදු 54 ක් පුරාවට හැමදාමත් කම්බිකොටුවේ දේශපාලනය සමඟ බැඳී සිටිනවා. තාත්තා අද අප අතර නැතත් මගේ මෑණියෝ අදටත් බත් තම්බනවා, තේ හදනවා. ඇය අදටත් දොම්පේ ජනතාවට සංග්‍රහ කරනවා. කන්න, බොන්න දෙන්න සූදානමින් සිටිනවා...”

* බිරියක් ලැබීම කිසියම් පුද්ගලයකුගේ ජීවිතය ශක්තිමත් වීමක්. අලුත් වීමක් වෙනවා. ඔබේ දයාබර බිරිය කේෂානී එදිරිසිංහ ඔබට හමුවන්නේ...?

 ඩුලිප්ගේ පියා -
හඩ්සන් පෙරේරා විජේසේකර

 ඩුලිප්ගේ මව -
හේමලතා මුණසිංහ

”කේෂානීගේ උපන් ගම කැලණිය. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. ඇය යක්කල ආයුර්වේදයේ ඉගෙන ගෙන අනතුරුව ඇගේ පුහුණුවීම් කාලයේ (ට්‍රේනිං පීරියඩ්) ආවේ ගාල්ලට. එතකොට මම ගාල්ලේ හේලීස් ආයතනයේ වැඩ. ඒ කාලයේ අපි දෙදෙනා හමුවීමෙන් තමයි අප අතර සම්බන්ධයක් ඇතිවන්නේ. එක පැත්තකින් අපි ඥාතියෝ. ඒ සම්බන්ධයයි අපේ ඇසුරයි එකට එකතුවෙලා තමයි අපි දෙදෙනා 1999 ඔක්තෝබර් 20 වැනිදා විවාහ වෙන්නේ.

කේෂානී මට හමුවුණේ 1990 වර්ෂයේදී. අවුරුදු 9 ක් පුරා අපේ ආදර සම්බන්ධය දිගටම ගලාගෙන ගියා. ඒ කාලය තුළ මම දැක්කා ඇය මා තේරුම් ගන්නා ආකාරය. විශේෂයෙන් දේශපාලනය කරන පවුලකට සම්බන්ධ මම ඉදිරියේදී දේශපාලනයට යොමුවීමේදී වුවත් ඇයගෙන් ලැබුණු ශක්තිය, ධෛර්යය ඉතා ඉහළයි. ඇය වැනි මා තේරුම් ගත් බිරිඳක් නොසිටියේ නම් ලොකු අවුල් ජාලාවක් පවුල තුළ ඇතිවන්න තිබුණා. බිරියත් පොදු වැඩවලදී මා හා එකට කටයුතු කරනවා.

දැන් කේෂානීටත්, මටත් දරුවන් තිදෙනෙක් ඉන්නවා. ලොකු පුතා. ඊළඟටත් පිරිමි දරුවන් දෙදෙනා නිවුන්නු. ලොකු පුතා ඔයිඳු ඊසර කොළඹ රාජකීය විදුහලේ පහ වසරේ. නිම්සර සහ දිම්සර දෙදෙනාම තුන වසරේ රාජකීය විදුහලේ...”

* ඔබේ දේශපාලනයේ ඔබ ගුරුකොට ගන්නේ කවුද...?

”මූලිකව බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේ සිට දොම්පේ ආසනයේ ජනතාව “කම්බිකොටුවේ රාළහාමි” ලෙස ආදරයෙන් හැඳින්වූ මගේ පියා මගේ මුල්ම දේශපාලන ගුරුවරයා ලෙස මම හඳුන්වා දෙන්න කැමැතියි. පියාගේ දේශපාලනයට තමයි ජනතාව ගරු කරන්නේ... ඒ වගේම දොම්පේ හිටපු මහජන නියෝජිත ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතාව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි.

* ඔබේ ලග්නය මොකක්ද?

”මගේ ලග්නය සිංහ...”

* නක්‍ෂත්‍රය පිළිබඳව ඔබේ විශ්වාසය...?

”නක්‍ෂත්‍රය මම පිළිගන්නවා. ඒ දේවල් මම අනුගමනය කරනවා. එවැනි දේ තුළින් ජීවිතයට යම් ශක්තියක් ලබාගත හැකියි.

* ආගමික කටයුතු සම්බන්ධයෙන්...?

”මම හොඳ බෞද්ධයෙක්. ඒ වත්පිළිවෙත් කරනවා. මත්පැන්, දුම්පානය පමණක් නෙවෙයි උම්බලකඩ කෑල්ලක් දාලා ආහාර ගන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය...”

* ඔබේ පියා ගැන ඔබ ඉතා ආඩම්බරයෙන් කතා කරනවා...?

”ඇත්තටම එතුමා ගැන ආඩම්බරයෙන් කතා කළ හැකියි. ඒ හයිය තමයි අදටත් අපට තියෙන්නේ. අප මේ කරන කියන දෑ පිළිබඳව එතුමා උඩ ඉඳන් අපේ දිහා බලාගෙන අපට ආශීර්වාද කරනවා ඒකාන්තයි...”

* ඔබේ පියාගේ පසුපස ඔබ දේශපාලනයට ආ ආකාරයෙන් ඔබේ දරුවන් ද දේශපාලනයට එන්න ඔබෙන් ඇසුවොත්...?

”කිසිදු ප්‍රශ්නයක් නෑ. මගේ දරු තිදෙනාගෙන් ඕනෑම කෙනෙකුට මගෙන් පසු දේශපාලනයට එන්න අවකාශ තිබෙනවා. ඒ අවශ්‍ය දැනුම අධ්‍යාපනය ලබා ගත් පසු ඒ සඳහා දොරටු විවෘතව තිබෙනවා...”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]