මුද්‍රණය සඳහා

 
ප්‍රතාපවත් ජන නායක එන්. එම්

ප්‍රතාපවත් ජන නායක එන්. එම්

ශ්‍රී ලංකා දේශපාලන අම්ඹරයේ ප්‍රතාපවත් ලෙස බැබලුණු මහා පහන් තරුව, මෙයට වසර 31කට පෙර, 1979 අගෝස්තු 14 වැනිදා සදහටම නිවී ගියේ ය. හේ, නමින් ආචාර්ය එන්. එම්. පෙරේරා යි. ඔදවත්, තෙදවත්, නැණවත්, ගුණවත් මහා පුත්‍රයෙකු වූ මොහු වසර 50කට කිට්ටු කාල පරාසයක්, ජනතාව වෙනුවෙන්, විශේෂයෙන්ම, ගොවි – කම්කරු ජනතාවගේ හිතසුව පිණිස අමිල සේවයක් කළ අවංක, සම්භාවනීය නායකයෙකි. හේ, දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැත. අද සිටින දේශපාලනඥයන්ට ඔහු සෑම අංශයකින්ම ආදර්ශයකි.

1906 ජූනි 06 වැනිදා උපත ලද එන්. එම්. පෙරේරා, ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේත්, කොළඹ ආනන්ද විදුහලේත්, අධ්‍යාපනය හදාරා 1930 වන විට, කොළඹ විශ්වවිද්‍යාලයීය කොලීජීයට ඇතුළත්ව, ආර්ථික විද්‍යාවට අදාළ ගෞරව උපාධිය ලබාගත්තේ ය. පසුව, විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්යවරයෙක් ලෙසද සේවය කෙළේ ය.

විනය ගරුක සිසුවෙක්

ආචාර්ය එන්. එම්. පෙරේරා

එන්. එම්. ආදර්ශවත් සර්ව සම්පූර්ණ සිසුවෙකු විය. හේ පොතටම සීමා වුණු ශිෂේ‍යයකු නොවීය. 1925 වසරේ දී, දිවයිනේ ප්‍රධාන බොදු විදුහල ලෙස සැලකෙන, කොළඹ ආනන්ද මහා විදුහලේ ක්‍රිකට් පිලේ නායකයා විය. මොහු විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිලේ ද ප්‍රබල ක්‍රීඩකයෙකු ද විය. එන්. එම්. පෙරේරා, විශ්වවිද්‍යාලයීය කොලිජියේ දී ඉගෙනුම ලබන සමයේ දී මහාචාර්ය ඕ. එච්. ද එස් විජේසේකර ලියූ ‘නගරයෙන් කෙතට’ යන නාට්‍යයේ, ප්‍රධාන චරිතය රඟපෑවේ ය. එවකට, මගේ පියාණන්වූ ඩී. ආර්. ඈපාසිංහ, එන්. එම්ගේ චරිතයට අයත්කොටස පිටපත් කොට ලියාදුන් බවත්, ඔහුගේ රඟපෑම ඉතාමත් විශිෂ්ට බවත් මා සමඟ පවසා ඇත.

එපමණක් නොව, මෙය ආකර්ෂණීය, නිහතමානී චරිතය, සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ අතර, අවාසනාවකට මෙන් එකී දළ සේයා පට විනාශ වීම නිසා එම චිත්‍රපටය නරඹන්නට අපට වාසනාවන් නොලැබිණි. 1930 අග භාගය වන විට වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා ගිය එන්. එම්. ලන්ඩන් සරසවියෙන්, ආර්ථික විද්‍යාව පිළිබඳ පී. එච්. ඩී. සහ ඩී. ඇස්. සී යන ආචාර්ය උපාධි දෙකක් දිනා ගත්තේ ය. මෙකී විශිෂ්ට දස්කම් දැක්වූ එකම ආසියාතිකයා බවට ද එන්. එම්. පත් විය.

‘එංගලන්තයේ අගමැතිවන්නටද ඉඩ තිබුණා’ - හැරැල්ඩ් ලැස්කි

එංගලන්තයේ විශිෂ්ට ආර්ථික මහාචාර්යවරයෙක් වූ හැරල්ඩ් ලැස්කි (Harlod laski) ගේ විශිෂ්ටතම ශිෂ්‍යා බවටද එන්. එම්. පත්විය. තම ගෝලයා ගැන මහා ඉහළින් කතා කළ හැරල්ඩ් ලැස්කි වරක් පැවැසුවේ ‘’එන්. එම්. පෙරේරා, එංගලන්තයේ උපත ලැබුවේ නම්, හේ එංගලන්ත අගමැති පදවිය හෝ මුදල් ඇමැති පදවියට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබුණ බව‘යි. කෙසේ වුවද හේ වසර කීපයක් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැති පදවිය ඉසුළුවේ ය. රටට හිතැති ප්‍රගතිශීලී යෝජනා රැසක් ඔහු දායාද කෙළේ ය. මෙහිලා මැණික් සංස්ථාව ස්ථාපනය කිරීම කැපී පෙනෙන ප්‍රගතිශීලී සමාජ සත්කාරයකි.

උපතින්ම නායකයෙක්

එන්. එම්. උපතින්ම නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කෙළේ ය. ක්‍රීඩා පිටියේ දීත්, දේශනශාලාවේත්, හේ සැම විටම ප්‍රගතිශීලී අදහස් අගය කළ සිසුවෙක් විය. නායකත්වය ඔහුට සංසාරගත පුරුද්දක් විය. 1930 මැද භාගය වන විට, අපි‍්‍රකා - ආසියානු සිසුන්, අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සියුම් සටනක් දියත් කෙළේ ය. අමෙරිකාවේ ඉලිනොයිස් හා විස්කොන්සිස් සරසවි වලින් කෘෂිකර්මයට හා ආර්ථික විද්‍යාවට අදාළ උපාධි ලබාගත්, ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් අවංක සමාජවාදී නායකයෙකු වන පිිලිප් ගුණවර්ධන එංගලන්තයට පැමිණ ‘’ඇෆ්රෝ - ඒසියන්’’ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කෙළේ ය. එම ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් දායකත්වයක් දැක්වූයේ ආචාර්ය එන්. එම්. පෙරේරා සහ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයි, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා යි.

දොස්තර වික්‍රමසිංහ අති විශිෂ්ට, සම්භාවනීය, අවංක, ජනතාවට සේවය කළ කොමියුනිස්ට් නායකයෙකි.ආචාර්ය එන්. එම්. පෙරේරා , ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයේ නායකයා විය. ලංකා සම සමාජ පක්ෂය බිහි වූයේ 1935 වසරේ දී ය. නියම නායකයකුගේ ආත්ම ශක්තිය හේ සතු විය. 1977 වසරේ දී, එක්සත් ජාතික පක්ෂයේ යටියන්තොට අපේක්ෂකයා වූ වින්සන්ට් පෙරේරා අතින් ඡන්ද 2517 කින් එන්. එම්. පරාජයට පත් විණි.

මෙය කෙදිනකවත් ජේ. ආර්. ජයවර්ධන පවා අපේක්ෂා කළ සිදුවීමක් නොවේ. මැතිවරණ සමයේ දී රැස්වීම්වලදී තමාගේ කිට්ටුම මිතුරා වූ එන්.එම්. ගැන හේ මෙසේ සඳහන් කෙළේ ය. ‘’එන්. එම්. ට ඡන්දය දෙන්නයයි ව්‍යංගයෙන් කීවා’’ පෙරේරා දෙන්නෙක් තරග කොරන්නෙ, තමුන්නාන්සේලා උගත්, වියත්. එක්කෙනාව අමතක කොරන්න එපා. අලියට ඡන්දය දුන්නත්, දක්ෂ පෙරේරා ගැනත් හිතලා කොයි පෙරේරා උන්නැහේ වඩා සුදුසුදැයි තෝරා පාර්ලිමේන්තුවට එවන්න’’.

සම සමාජ පක්ෂය

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, 1935 වසරේ දී ලංකා සම සමාජ පක්ෂය පිහිටුවීම, ශ්‍රී ලංකා දේශපාලනයේ විශේෂ සන්ධිස්ථානයක් විය. පිලිප්, කොල්වින්, ලෙස්ලි, එඩ්මන්ඩ්, රොබට්, බර්නාඩ්, ඩොරික් සුසා, විවියන්, කරලාලසිංහම්, විලියම් යන නායකයන් හිරබත් කෑවේ, අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මතයක් ගොඩනැඟීම හේතු කොට ගෙන ය. රොබථ, ඩිලාමෝට් වැන්න වුන්ගේ ආධාරයෙන් සිර ගෙයින් පැන ඉන්දියාවට පැන යාමත්, බ්‍රේස්ග්‍රෙඩල් සිද්ධියත් (ඕපචජඥඨඪපඤඥත ධ්දජඪඤඥදබ) ඇල්ප්‍රඩ් හිච්කොක්ගේ ත්‍රාසය දනවන චිත්‍රපටයක් වැන්න. එන්. එම් ඉන්දියාවේදී බැංකුවක සේවය කොට ඇත.

පරිප්පු මහත්තයා

1930 ගණන්වල මැලේරියාව පැතිරගිය සමයේ දී, කොට කලිසමක් ඇදගෙන, දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල, අංහෙට්ටිගම, උඩබාගේ, ආදී ගම්මානවල ගිරි ශිඛර තරණය කරමින්, එන්. එම්. ඇතුළු සම සමාජ නායකයන් පරිප්පු බෙදූ අන්දම ගැන අදත්, එම පෙදෙස්වල ජනතාව කෘතඥපූර්වකව කතා කරති. මේ අනුව රුවන්වැල්ලේ පරිප්පු මහත්තයා, 1936 දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සභා මන්ත්‍රීනිය වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි පරදා රුවන්වැල්ලෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා පත්විය. 1947 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා, පාර්ලිමේන්තුවට ආභරණයක් විය. 1947, 1952, 1956, 1960 (මාර්තු) 1960 (ජූලි) 1965, 1970 යන වසර වලදී රුවන්වැල්ල යටියන්තොට ජයගත් එන්. එම්. 1977 දී පරාජයට පත්විය.

අති දක්ෂ කථිකයා

1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය මැඩලීමට රජයට සම්පූර්ණ සහයෝගය දුන් ලංකා සමා සමාජ පක්ෂ නායකයා, එදා පාර්ලිමේන්තුවේ දී කළ කතාව මට කෙදිනකවත් අමතක නොවේ. එවකට මා ‘දිනමිණ’ පාර්ලිමේන්තු වාර්තාව පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සිට වාර්තා කෙරුවෙමි. ඔහු, ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ගැනත්, ලේ වැගිරීම් තමා හා තම පක්ෂය එකසේ ලා ප්‍රතික්ෂේප කරන බවත් ජනතාව ආරක්ෂා කිරිම ජනතාවගේ නිදහස අගය කරන බවත් ඉතාමත් ව්‍යක්ත, චතුර ලෙස ඉංග්‍රීසි බසින් ප්‍රකාශ කෙළේ ය.

මුළු පාර්ලිමේන්තුවම මීයට පිම්බාවක් මෙන් ඉතාමත් විනය ගරුකව එම කතාවට සවන් දුන්හ. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අපූරුවට බස හසුරුවන එන්. එම්. බර්නාඩ්, කොල්වින්, දොස්තර වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් වූ ඩඩ්ලි, ජේ. ආර්. සහ අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගෞරවයට සැමදා පාත්‍ර වුණේ ය. එන්. එම්. හදවතින්ම ක්‍රිකට් හා ටෙනිස් යන ක්‍රීඩාවලට ආදරය කෙළේ ය.

ආනන්ද විදුහල, විශ්වවිද්‍යාලය සහ එන්. සී. සී ක්‍රිකට් සමාජයට හේ තරග කළ අතර, දිනපතාම වගේ ටැනිස් ක්‍රීඩා කරන්නට ව්ඛ්ඛ් ක්‍රීඩා පිටියට පැමිණීම සිරිතක් විය. මගේ ජීවිතය මා ලද ඉහළම භාග්‍යයකි, ඔහු සමග කීපවරක්ම ටෙනිස් ක්‍රීඩා කිරීම, එන්. එම් ගේ ඉතාමත් වටිනා ගුණයක් වූයේ හේ කෙදිනකවත්, තම දේශපාලනය ක්‍රීඩාවට මුසුකර නොගැනීමයි. 1977 – 1978 වසර වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාවේ සභාපතිවරයා ලෙස හේ අමිල සේවයක් ඉටු කෙළේ ය. මෙම විශිෂ්ට නායකයා 1979 අගෝස්තු 14 වනදා අප අතරින් සදහටම සමු ගත්තේ ය. ඔබතුමාගේ ගුණ සුවඳ අදත් මේ ධරනීතලය පුරා පැතිර පවතී. දෙස්, විදෙස් අතර ඉහළම සම්භාවනීයත්වයට පත්වුනු ආචාර්ය එන්. එම්. පෙරේරා, වචනයේ පරිසමාප්ත අරුතින්ම රන් හදවතකින් යුක්ත උතුම් සත් පුරුෂයෙකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]