කරදිය මංගල්‍යයට හම්බන්තොට සූදානම්

කරදිය මංගල්‍යයට හම්බන්තොට සූදානම්

ලක් මෑණියන්ගේ ශ්‍රී නාමය සදානුස්මරණීය ලෙස ලෝක වාර්තා පොත් අතරට එකතු කරමින්, ගොඩබිම ඉදිකළ ලොව සුපතළ මුල්ම වරාය නම් ලද හම්බන්තොට වරාය බිම ජලයෙන් පිරවීමේ ‘කරදියවර මංගල්‍යය’ හෙට (15) උදේ 9.30 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.

වසර දෙදහස් පන්සීයයකට අධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකීය ජාතියේ ආඩම්බරය ඉර හඳ පවතිනාතුරු සුරැකෙන බවට ලොවට කියාපාන රන් සලකුණක් ලෙස මේ දැවැන්ත , යෝධ පියවර හැඳින්විය හැකිය.

පෙර රජ දවසින් පසු මෑත කාලයේ රටේ ඉදිකළ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය මෙය වේ. හම්බන්තොට වරායේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා වැය කළ මුදල රුපියල් කෝටි පන්දහසකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ඉපැරැණි කරගං ලේවාය මුල්කොටගත් හෙක්ටයාර් 2000ක ඉඩක් මේ වරායේ ඉදිකිරීම්වලට අයත්ය.

ලබන වසරේ අප්‍රේල් 15 වැනිදාට මෙහි පළමු අදියරේ වැඩ අවසන් කිරීමට සැලසුම්කොට තිබුණත්, ඊට මාස නවයකට පෙර එය ඉටුකැරැ ගැනීමට හැකිවීම ජාතිය ලැබූ ජයග්‍රහණයකි. හම්බන්තොට නැව් තොටුපළේ පතුල කරදියෙන් පුරවාලීමේ අවස්ථාව කෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් දැකිය හැකි අතර මෙම දුර්ලභ අවස්ථාව දැක බලා ගැනීමට ද මෙහිදී මහජනතාවට පහසුකම් සපයා දී තිබේ. ලොව විශාලතම නෞකාවට වුව පිවිසිය හැකි ලෙස තැනූ මේ වරායට හා හා පුරා කියා පළමු නෞකාව ළඟා වනුයේ ලබන නොවැම්බර් මාසයේ දී ය.

පළමු අදියර අවසන් වීමත් සමඟ වරාය ආශි‍්‍රතව ඍජු රැකියා අවස්ථා හය දහසක්, වක්‍ර රැකියා පනස් දහසක් උදා වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයත් බන්දු වික්‍රම මහතා ‘දිනමිණ’ ට පැවැසී ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට දැනට වරාය සේවාවලින් ලැබෙනුයේ සියයට 10ක දායකත්වයකි. එය සියයට 40 දක්වා ඉහළ නංවා ගැනීම මේ යෝධ ව්‍යාපෘතියේ එක් අරමුණකි.

“ආසියාවේ ආශ්චර්යය” බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙළේ දැවැන්ත දොරටුවක් වන මෙම වරායේ ජලය පුරවන අවස්ථාව දැක බලා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට, වරාය පතුලට බැසීමේ විරල අවස්ථාවද හිමිවන බව පැවසූ සභාපතිවරයා, හැකිතාක් උදෑසනින් වරාය පරිශ්‍රයට පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

උස මීටර් 21 කින් යුත් වරාය ජැටියේ මීටර් 17ක් හෙට දින ජලය පිරවීමට නියමිතය. පළමු අදියර යටතේ, නැඟෙනහිර සහ බටහිර ලෙස කිලෝමීටර් 1.4 ක දිගින් යුත් දියකඩන 2ක්ද, භාණ්ඩ මෙහෙයවීමට සහ නෞකාවලට ඉන්ධන ලබා දීමට මීටර් 600කින් යුතු පර්යන්ත දෙකක්ද ඉදිකර අවසන් ය.

ජාත්‍යන්තර නෞකා මාර්ගයට කිලෝමීටර් 5 ත් 6 ත් පමණ දුරකින් පිහිටි හම්බන්තොට වරාය මඟින් ලබාදීමට සැලසුම්කොට ඇති සේවා අතර ඉන්ධන සැපයීම, එළවළු , පළතුරු ආහාර ද්‍රව්‍ය සැපයීම, ජලය සැපයීම මෙන්ම නෞකා සඳහා කාර්ය මණ්ඩල සැපයීම ද අපේක්ෂිතය. පළමු අදියරේදී කාර්මික වරායක් ලෙස භාවිතා කරන හම්බන්තොට වරාය බදු අය කිරීමකින් තොරව නිදහස් වරායක් ලෙස භාවිතා කෙරේ.

ජාත්‍යන්තර නැව් මාර්ගයට කිලෝමීටර් 6ක් පමණ ඉතා ආසන්නයේ පිහිටි හම්බන්තොට වරායට ජාත්‍යන්තර නෞකා සමාගම්වලින් විශාල ඉල්ලුමක් ඇති බව වරාය අධිකාරිය පවසයි. මෙම ව්‍යාපෘතියට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති නුදුරේදීම අවසන් වීමත් සමඟ ප්‍රදේශයේ යටිතල පහසුකම් සහ තරුණ තරුණියන්ට විශාල රැකියා අවස්ථා උදා වනු ඇත.

දැනටමත් මේ යෝධ ව්‍යාපෘතියේ දෙවන අදියර ද කඩිනමින් නිමාවෙමින් පවතී. වරාය ආසන්නයේ ඉදිවෙන තවත් දැවැන්ත ව්‍යාපෘති අතර නැව්වලට තෙල් සැපයීමේ පර්යන්තයක්, කන්ටේනර් අලුත්වැඩියා කිරීමේ අංගනයක්, ගෑස් බලාගාරයක් , නැව් අලුත්වැඩියා කිරීමේ තටාංගනයක් හා තෙල් පිරිපහදුවක්ද පවතී.

චයිනෝ හාබර් ඉංජිනේරු සමාගම හා සයිනෝ හයිඩ්‍රෝ කෝපරේෂන් සමාගම මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත. නව වරායට නැව් ගෙන ඒමේ පහසුව උදෙසා දැනට මීටර් 10ක් පමණ ගැඹුරු මුහුද මීටර් 17ක් දක්වා හෑරීමට ද බලාපොරොත්තු වෙයි.

මීට වසර 7කට පමණ පෙර තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කය තවත් වසර කීපයකින් ශ්‍රී ලංකාවේ දියුණුම නගර අතරට එක්වනු ඇත. අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළ ඉදිවීමත් සමඟ දේශීයව පමණක් නොව විදේශියව ද හම්බන්තොට දිස්ත්‍රික්කය කාගේත් කතාබහට ලක්වනු නොඅනුමානය.

ගෙවීගිය දුක්කම්කටොලු වලින් පිරි යුගය නිමාකරමින් ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ සලසා දුන් ජනාධිපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම ප්‍රණාමය නැවත නැවතත් හිමිවිය යුතුය. ඒ වෙන කිසිවක් නොව යුද්ධය නිමා නොකළානම් කිසිදිනක අපට මෙවන් ජාතික සංවර්ධන වැඩසටහන් කරා යා නොහැකි වන බැවිනි.


ජලය පිරෙන්නේ මෙහෙමයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දිය කඩනයේ දිග මීටර් 1400කි. 2008 ජූනි මස 15 වැනි දින වැඩ ආරම්භ කළ මෙහි ප්‍රධාන ජැටි දෙකක් ඉදිකෙරෙමින් පවතින අතර එම ජැටි මීටර් එක්දහස් දෙසීයක දිගකින් යුක්ත වේ.

වරාය සහ මුහුද සම්බන්ධ වන මීටර් 12 ක් පමණ කුඩා ඇළක සොරොව්වකින් ජලය පිරවීම සිදු කෙරෙන අතර දවසකට මීටරයකින් පමණ උස ජල තට්ටුවක් පමණක් තටාකයට ඇතුළු කිරීමට පියවර ගෙන තිබේ.

මේ ආකාරයට මුහුදු ජලය පිරවීමට පියවර ගෙන ඇත්තේ ඉදිකිරීම්වලට හානියක් නොවන ආකාරයෙනි. මෙලෙස ජලය පිරවීමෙන් පසු නැව් හතරක් වරායට ඇතුළත් කිරීමට හැකි වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා