මුද්‍රණය සඳහා

 
මහරගම ගණිකා නිවසක් වටලා සැක 33ක් අල්ලයි

මහරගම ගණිකා නිවසක් වටලා සැක 33ක් අල්ලයි

මහරගම - පමුණුව දේවාල පාරේ කුලියට ගත් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිස් තුන් දෙනෙකු (33) අත්අඩංගුවට ගත් බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. අත්අඩංගුවට පත්වූවන් අතර ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු, අනියම් සම්බන්ධතා පැවැත්වූ ජෝඩු දහ තුනක්, කළමනාකරු හා සහායකයන් තිදෙනෙක් වන බව පොලිසිය කියයි.

පොලිස් උපාය දූතයකු ගැනුම්කරුවකු සේ යොදවා කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් වූ ජෝඩු අතර කථිකාචාර්යවරයෙක්, උපාධිධාරී ගුරුවරියන්, ව්‍යාපාරිකයන් හා ඇඟලුම් සේවිකාවන් වන බව පොලිසිය කියයි.

මෙම මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් ගෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබා ගෙන ජංගම දුරකථන මගින් ගණිකාවක් සපයන බවත් එයට අමතරව කාමර කුලිය වශයෙන් රුපියල් හත්සිය පනහක මුදලක් ලබාගන්නා බව හෙලිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ජෝඩු දහතුන අවවාද කර මුදා හැරීමට පොලිසිය පියවර ගෙන ඇත. අත්අඩංගුවට පත් ගණිකාවන් දෙහිවල, මංඩාවල හා මොරටුව පදිංචිකරුවන් බව පොලිසිය කියයි. එම කාන්තාවන් තිදෙනා, කළමනාකරු හා සහායකයන් තිදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස් මත පොලිස් සැරයන් (13696) සමන් (46236) කිරිවත්තුඩුව (20373) වීරසිංහ පොලිස් කොස්තාපල් (36416) කරුණාරත්න (75665) චාමික (19289) වසන්ත (51906) සුනන්ද යන මහත්වරු පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]