අතුරුදන් වූ සැප රිය සොයා ගනී: බේරුවල නගරාධිපති අත්අඩංගුවට

අතුරුදන් වූ සැප රිය සොයා ගනී: බේරුවල නගරාධිපති අත්අඩංගුවට

වැල්ලවත්ත ප්‍රදේශයේදී මීට මාස දෙකකට පමණ ඉහත දී අතුරුදහන් වූ ලෑන්ඩිකෘෂර් වර්ගයේ සුඛෝපභෝගී ජීප්රථයක් බේරුවල නගරාධිපති මසාහිමි මොහොමඩ් මහතා ලඟතිබී වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායක ද, බේරුවල නගර සභාවේ නගරාධිපති වන මසාහිමි මහතා සමඟ සිටි තවත් එක් පුද්ගලයෙක්ද අත්අඩංගුවට පත්වී ඇත.

නගරාධිපතිවරයා සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම ජීප් රථය පසුගිය ජුනි මස 02 දා වැල්ලවත්ත ධර්මාරාම පාරේ නවතා තිබියදී යම්කිසි කණ්ඩායමක් සොරාගෙන ගොස් ඇති බවට එම ජීප් රථය හිමි ව්‍යාපාරිකයා වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ පිළිබඳ පරීක්ෂණ කළ වැල්ලවත්ත පොලිසිය බම්බලපිටිය මුස්ලිම් පල්ලියක් අසල නවතා තිබියදී නගරාධිපතිවරයා සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම ජීප් රථයේ වර්ණය වෙනස්කර මෝටර් රථයක (කාර් ) අංකයක් යොදා ලියකියවිලි සකස්කොට තිබුණි. මෙම අංකය අයිති මෝටර් රථය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයිති බවද පොලීසිය කීය. මෙම ජීප් රථය නගරාධිපතිවරයා අතට පත්වූයේ කෙසේද යන්න වැල්ලවත්ත පොලීසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති එච්. එම්. බන්දුතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා