මුද්‍රණය සඳහා

 
සරත් ෆොන්සේකා වැරැදිකරු වෙයි: ‘ජෙනරාල් නිලයෙන්’ පහකරයි

සරත් ෆොන්සේකා වැරැදිකරු වෙයි: ‘ජෙනරාල් නිලයෙන්’ පහකරයි

සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධ චෝදනාවලට වැරැදිකරු වූ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැනට ඔහු දරන ජෙනරාල් නිලයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැරීමට ඊයේ (13) යුද්ධාධිකරණය නියෝග කෙළේය.

විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව රැස්වූ ප්‍රථම යුද්ධාධිකරණය, ඔහු සක්‍රීය සේවයේ සිටිය දී දේශපාලන කටයුතුවල යෙදීමට අදාළව නඟා තිබූ චෝදනා දෙකටම වැරැදිකරු බවට තීරණය කෙළේය.

විත්තිකාර ෆොන්සේකා මහතාට එරෙහි දඬුවම, සේනාධිනායකවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අනුමැතියට යටත්ව, නියම කර තිබේ.  නඩු විභාගය අවසානයේ ෆොන්සේකා මහතා චෝදනාවලට වැරැදිකරු බව යුද්ධාධිකරණයේ සභාපතිවරයා විවෘත අධිකරණය අමතමින් ප්‍රකාශ කෙළේය.

මේ අනුව ‘ජෙනරාල්’ යන නිල නාමය මින්මතු භාවිතා කළ නොහැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෆොන්සේකා මහතාට එරෙහිව පැවැති නඩු විභාගයේ දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සාක්කි දුන්හ.

ෆොන්සේකා මහතාට ලබා දී ඇති දඬුවම ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ඇතැයි යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති) මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරුන් ගෙන් සමන්විත යුද්ධාධිකරණය මේ චෝදනා විභාග කළේය. රියර් අද්මිරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මෙහි විනිශ්චයකාර නීතිඥවරයා ලෙස කටයුතු කෙළේය.

මෙයට අමතරව තවත් යුද්ධාධිකරණයක් හමුවේ ෆොන්සේකා මහතාට එරෙහිව ඇති සෙසු චෝදනා විභාග කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]