මුද්‍රණය සඳහා

 
2600 සම්බුද්ධ ජයන්තියට ‘මහින්දාගමනය’ නමින් සිනමා කෘතියක්

2600 සම්බුද්ධ ජයන්තියට ‘මහින්දාගමනය’ නමින් සිනමා කෘතියක්

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමට පෙර සහ උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ සිදුවූ වෙනස්කම් අළලා “මහින්දාගමනය” නමින් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත. 2600 සම්බුද්ධ ජයන්තියට සමගාමීව ලබන වසරේ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් මෙම සිනමා කෘතිය ඉදිරිපත් කෙරේ.

ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය ලැබී තිබේ. ප්‍රවීන නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් නිර්මාණය කෙරෙන “මහින්දාගමනය” සිනමා කෘතිය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමක්, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ දී සිදුකෙරිණි.

මේ මස 19 වැනිදා මෙහි මුහුරත් උළෙල කොළඹ දී පැවැත්වේ. මේ වසරේ නොවැම්බර් මස (1) දා සිට දෙසැම්බර් (31) දා අතර කාලය තුළ රූගත කිරීම් අවසන් කිරීමට නියමිතය.

2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉදිරිපත් කෙරෙන “මහින්දාගමනය” සිනමා කෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (13) සිදුකෙරිණි. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් එහිදී අදහස් පළ කළ අයුරු. මේ අවස්ථාවට එක්වූ ප්‍රවීන නළු නිළියන්ගෙන් කොටසක්ද මෙහි දැක්වේ.

ඡායාරූපය:- සුදත් මලවීර

අනුරාධපුරය, ත්‍රිකුණාමලය, හම්බන්තොට ආදී ප්‍රදේශ මෙන්ම, ඉන්දියාවේ ප්‍රදේශ කීපයක් ද මෙහි රූගත කිරීම් සඳහා තෝරාගෙන ඇති අතර, මෙම කෘතිය ශ්‍රී ලාංකීය ජන සමාජයට නැවුම් අරුතක් ගෙන දෙන්නක් වන බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ ප්‍රකාශ කරති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් මෙම සිනමා කෘතිය එළිදැක්වෙන බව සඳහන් කළ උන්වහන්සේ, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුද මේ සඳහා සහයෝගය ලබාදෙන බව පැවැසූහ.

“මහින්දාගමනය” සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරයි. මෙය බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උපාලි ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

මේ සඳහා රංගනයෙන් දායකවීම විශාල අභියෝගයක් බවත්, හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගනිමින් ඉතිහාස කතාවට හානියක් නොවන ආකාරයට ක්‍රියා කළ යුතු බවත් තැපැල් හා විදුලි සංදේශ ඇමැති ජීවන් කුමාරතුංග මහතා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]